Sinhala story Blog

පෙබරවාරි 23, 2014

කිබිසිනි -මෙහෙම වෙන්න ඉඩ දීලා ඔබ බලාගෙන ඉන්නවා ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:37 පෙ.ව.

ඔවුන් තිදෙන ඉන්නේ සිරකාමරයක යැයි හඳුනාගන්නට අපහසු නොවිණ.

තමන් තවත් අපූරු ගමනක පැමිණ ඇතැයි වටහා ගත් තාත්තාගේ මුහුණේ සිනාවක් පැතිර ගියත් ලීලා සමඟ සිටින මිස් සුරම්‍යා දැක තාත්තාගේ දෑස් විසල් විය. ඔහු යමක් කියන්නට යද්දී අහල කාමරයක දොරක් හැරී වැසෙන හඬ ඔවුනට ඇසිණ.

“මම ඔබට එව්ව රහසිගත වාර්තා ඔබ කියෙව්ව ද?” පිරිමි කටහඬක් කෙඳිරිගාන ස්වරයකින් අසයි.

අහල කාමරයේ කතාබහට සවන් දෙනවාට වඩා ලීලාට තාත්තා වෙතින් දැනගන්නට ඇති කරුණු කාරණා බොහොමය හනිකට අහන්නට අවශ්‍යයය. එහෙත් ඇයගේ වෙනස් වූ ඉරියව්වෙන් ඇයගේ නොඉවසුම් ගතිය හඳුනාගත් තාත්තා නිහඬව ඉන්න යැයි තොල් වලට ඇඟිල්ලක් තබා සංඥා කළේය.

“මම කියෙව්වා,” සංසුන් හඬකින් දුන් ප්‍රතිචාරයක් ඔවුනට ඇසිණ.

“වැඩි කාලයක් ඉතිරිවෙලා නැහැ,” කෙඳිරිගාන අය කියයි.

“නැහැ.”

“මෙහෙම සිද්ධ වෙන්න ඉඩ දීලා ඔබ බලාගෙන ඉන්නවා ද?”

ඔබ?”

“කොහොම ද දන්නෙ නිශ්චිතවම ඔබ හරියටම හරි කියලා?” තවත් කටහඬක් සද්දය වැඩි නොකරමින් එහෙත් හැඬිල්ලකින් මෙන් ඇසුවේය. “මේ වගේ ඛේදනීය වාතාවරණයක දී, මුළු ලෝකයම විනාශ වෙලා යන්න අවදානමක් තියෙද්දී, ඔයා කොහොම ද ඔයාගේ අදහස් වලම එල්ලිලා ඉන්නෙ?”

“අනුගමනය කරන්න ඕනැයි කියල මම විශ්වස කළ යුත්තෙ එහෙම නම් කාගේ අදහස් ද?”

“ඔයා කොහොම ද දන්නෙ ඔයා නිවැරදි යැයි කියල? කොහොම ද ඔයා දන්නෙ? කාටවත් බැහැ තමන්ගෙ දැනුම ගැන සහතිකයක් තියා ගන්න! කාටවත්ම බැහැ! ඔයා වෙනකාටවත් වඩා වැඩියෙන් හොඳ නැහැ.”

“ඉතින් එහෙම නම් ඔබට මාව අවශ්‍ය කුමකට ද?”

“ඔයා කොහොම ද අනුන්ගේ ජීවිත එක්ක සූදු කෙළින්නෙ? ජනතාවට ඔබේ දැනුම ඕනෑ වෙද්දී අපිට කියා නොදී ඉන්න තරම් ඔයා ආත්මාර්ථකාමී වෙන්නෙ කොහොම ද?”

“එයාලට මගේ අදහස් අවශ්‍ය යැයි කියා ද ඉතින් ඔබ අදහස් කරන්නෙ?”

“කිසිම කෙනෙක් සම්පූර්ණයෙන් හරි හෝ වැරදි නැහැ! කළු සුදු කියලා දෙයක් නැහැ! සත්‍යය ගැන ඔයාට මොනොපොලියක් නැහැ!” කටහඬ අයිති තැනැත්තාගේ ස්වරය හැඬුම්බර බැවින් තවත් වැඩි වෙයි.

“ඔයාට යාන්තමෙන් හරි වගකීමක් ගැන අංශ්‍ර මාත්‍රයක හැඟීමක් තියෙනවා නම්,” ඔහු කියයි, “එහෙනම් මෙවැනි ඛේදනීය අවස්ථාවක දී ඔයා ඔයාගේ තනි විනිශ්චයක් ගැන පමණක් විශ්වාසයක් තියාගන්නෙ නැහැ! ඔයා අපිත් එක්ක එකතුවෙලා ඔයාගෙ අදහස් විතරක් ගැන සලකන්නෙ නැතිව අනිත් අයගේ අදහස් ද සලකලා බලන්න ඕන. අපිත් කියන දේ නිවැරදි වෙන්න පුළුවන් යැයි පිළිගන්න ඕන! ඔයා අපේ සැලසුමට උදව් කරාවි! ඔයා …”

නිහැඬියවක් පැතිරිණ. කවුදෝ පුටුවක් තල්ලු කරමින් නැඟිටින හඬ ගලා ආවේය. කාමරයේ එහාට මෙහාට අඩි තබන සද්දය ඔවුනට ඇසිණ.

“.. ඔයාගෙ හෘදය සාක්ෂිය!” හැඬුම්බර කටහඬ යාප්පු වෙයි. “මම මෙහෙ ආවේ ඔයාගේ හෘදය සාක්ෂියට අභියාචනා කරන්න! දහසක් මිනිස්සුන්ගේ ජීවිත එක්ක ඔයා කොහොම ද ඔයාගේ මනස ඊට වඩා අගයකින් යුතු යැයි කියන්නෙ? මිනිස් ජීවිත අහිමි වෙමින් පවතිනවා – දෙයියන්ගේ නාමයෙන්,” කතා කරන්නා උරණ විය, “එහාට මෙහාට ඇවිදින එක නවත්තන්න!” යැයි ඔහු ගුගුලේය.

අඩි තබන සද්දය නැවතිණ. “ඒක ඕඩර් එකක් ද?”

“නෑ, නෑ!” අනෙක් තැනැත්තා යාප්පු වෙයි. “ඒක ඕඩර් එකක් නෙමෙයි. අපිට අවශ්‍ය නැහැ ඔයාට ඕඩර් දෙන්න .. ජිම්, පොඩ්ඩක් බලාගෙන.”

“ලෝකය හැකිළෙමින් පවතිනවා,” හැඬුම්බර කටහඬ නුරුස්සුම් බවකට හැරී ඇත. “මිනිස් ජීවිත අහිමි වෙමින් පවතිනවා -ඉතින් ඔයාටයි පුළුවන් ඒක නවත්තන්න! කවුද හරි කවුද වැරදි කියලා හොයන එකෙන් ඵලක් තියෙනවා ද? අපි වැරදි යැයි කියලා හිතුවත් ඔයා අපි එක්ක එකතු වෙන්න ඕන, ඔයාගෙ මනස කැප කරන්න ඕනෑ එයාලගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන්!”

“මොකක් පාවිච්චි කරලා ද මම එයාලව බේරගන්නෙ?”

“ඔයා කවුරු කියලා ද ඔයා හිතන්නෙ?” යැයි හැඬිල්ලකින් යුතුව යාදින්නා මුරගෑවේය.

“ඔයා දන්නවා මම කවුද කියල.”

“ඔයා ස්වාර්ථවාදියෙක්!”

“ඔව්.”

“ඔයා මොන විදියෙ ස්වාර්ථවාදියෙක් ද කියලා ඔයා දන්නවා ද?”

ඔබ දන්නවා ද?” පිළිතුරු දුන් ස්වරය තියුණු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.