ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ


රාජපක්ෂ රෙජීමය තුළ දක්ෂිණාංශිකයන්ගේ සිට වාමාංශිකයන් දක්වා ද ජාත්‍යන්තරවාදීන්ගේ සිට ජාතිවාදීන් දක්වා ද එකට එක් වී සිටීම බොහෝදෙනෙක් දකින්නේ ධනාත්මක ලෙසිනි. ඒ නිසා එම එක් රොක්වීම බොනපාට්වාදී ස්වරූපයක් ලෙස යමෙකුට දැකිය හැකිය. එසේනම් වැළිකඩ බන්ධනාගාරයට ඇත්තේ ද බොනපාට්වාදී ස්වරූපයක් බව කිව හැකිය. බන්ධනාගාරය තුළ සිටීන්නේ ද විවිධ අදහස් දරන විවිධ පුද්ගලයන් ය. එහෙත් ඒ සියළු විවිධත්වයන් පරදා එක් පොදු සාධකයක් බන්ධනාගර රුදවියන් තුළ පවතී. ඒ නිසාම එය තුළ ජීවත්වන්නේ ධනපති සිවිල් නීතිය කඩ කළ හෝ කඩ කළා යැයි චෝදනා ලැබ හෝ ධනපති විනිශ්චයාතන විසින් දඩුවම් ලෙස රදවා තැබූවන්ය. ඒ අර්ථයෙන් ඒ තුළ බොනපාට්වාදී ස්වරූපයක් නොපවතී. මහින්ද රාජපක්ෂ රෙජීමයට බොනපාට්වාදී ස්වරූපයක් නැත්තේත් ඒ අන්දමින්ම ය. රාජපක්ෂ රෙජීමය තුළ විවිධ මතිමතාන්තර දරන්නන් සිටීයත් ඒ තුළ ඇති මහා පොදු සාධකය අනුව මහින්ද රාජපක්ෂ පාලනය බොනපාට්වාදී රෙජීමයක් වශයෙන් හැදින්වීමට වඩා මා වඩාත් ලොල් කරන්නේ එය ආඩි හත්දෙනාගේ කැද හැලිය ලෙස හදුනා ගැනීමටය.

මර්වින් සිල්වා රාජ්‍ය සේවකයන් ගස් බදිමින් රාජ්‍යයේ සිවිල් නීතිය කඩ කළත් යහ පාලනය ගැන කතා කරන මිලින්ද මොරගොඩට ඒවා අදාළ නොවේ. “ඔන්න ඔය මොකක්ද පනතක් ආව තමා ඒත් ඒක අපි පරද්දල දැම්මා” යැයි තොරතුරු දැන ගැනීමේ පනත ගැන පරිසර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සැහැල්ලුවෙන් පැවසුවත් කොළඹ මහ නගර සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන බව බැරූරුම් ලෙස පැවසීමට මිලින්ද මොරගොඩට හැකිවී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන දුමින්ද සිල්වා කොළඹ පාතාළයේ ප්‍රධාන නායකයකු වී ඇතත් මිලින්ද මොරගොඩ ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයේ වාසිය ගැන සිරස රූපවාහිනියෙන් ජනතාවට පැහැදිලි කරයි. විවිධ පුද්ගල චරිතයන් තමන්ටම ආවේනික වූ විවිධාකාර ආඛ්‍යානයන් පාමින් රාජපක්ෂ රෙජීමය තුළ යහතින් පැවත්ම තහවුරු කර ගැනීමට හැකිවී ඇත්තේ මේ උභතෝකෝටීකය නිසාය. ඒ තුළ ශක්තිමත් දේශපාලන මතයක් වෙනුවෙන් ගොනුවීමක් දක්නට නැතත් විවිධ අදහස් දරන්නන්ගේ තක්කඩිකම මහා පොදු සාධකය ලෙස ඉස්මතුවී තිබේ.

රාජ්‍ය සේවකයන්ට අදාළව ක්‍රියාත්මක වන ආයතන සංග්‍රහය අනුව රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පක්ෂ දේශපාලන කටයුතු වල යෙදීමට නොහැක. අමාත්‍යංශයක ලේකම් ධූරයක් වැනි අතිශය බලසම්පන්න තනතුරක් දරන්නෙකුට පක්ෂ දේශපාලනයේ යෙදීමට කොහොමටවත් බැරිය.එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කොළඹ මහනගර සභා මැතිවරණයේ දී පාලක එක්සත් ජනතා නිදහස් සංධානයට පක්ෂව දේශපාලන කටයුතු වල යෙදෙන්නේ යහ පාලනය ගැන කතා කරන්නා වූ මිලින්ද මොරගොඩ සමගය. සිරස රූපවාහිනියෙන් න්‍යායාත්මකව කතා කරන යහ පාලනය ප්‍රායෝගික ජීවිතයේ දී අමතක කරන මොරගොඩ එහිදී අශිෂ්ඨ ග්‍රාම්‍ය පාලන ක්‍රමයක ස්වරූපය ඉවසා සිටීයි. එහිදී දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මිලින්ද මොරගොඩ හැසිරෙන්නේ මර්වින් සිල්වාට ද නොදෙවැනි ලෙස නොදියුණු හා අශිෂ්ඨ ලෙසිනි.

මේ උභතෝකෝටීකය පැන නගින්නේ රාජපක්ෂ රෙජීමයේ අතනින් මෙතනින් හෝ තෝරාගත් එක් තැනකින් දෙකකින් හෝ පමණක් නොවේ. රෙජීමයේ සමස්ත ස්වරූපයම මේ අන්දමේ හෝ වෙනත් අන්දමක හෝ උභතෝකෝටීකයක් තුළ ගිලී පවතී. එහෙත් මර්වින් සිල්වා හෝ රෙජීමයේ වෙනත් සාමාජිකයකු හෝ ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවදී සම්ප්‍රදායන් කඩ කළ විට අඩු වශයෙන් මිලින්ද මොරගොඩ හෝ ඒවා ප්‍රශ්න කරන්නේ නැත. ඔහු එසේ මුනිවත රුකීම ඔහුගේ අදහස් ප්‍රචාරණය කරන මාධ්‍යවේදීන් හෝ ඔහුගේ අදහස් වලට ආගම් භක්තියෙන් සවන් දෙන කිසිවෙක් හෝ ප්‍රශ්න කරන්නේ ද නැත. ඒ අර්ථයෙන් එය මිලින්ද මොරගොඩගේ ගේ හෝ වෙනත් අයකුගේ හෝ ප්‍රශ්නයක් වන්නේ ද නැත. රාජ්‍යයේ ස්වරූපය, ආකෘතිය හා එහි ඉලක්කයන් පදනම් වී ඇති සමාජ භාවිතාව දේශපාලනයේ හෘද සාක්ෂිය තීන්දු කරන බැවින් මේ උභතෝකෝකයට හේතු වන්නේ ද රාජ්‍යයේ ස්වරූපය, ආකෘතිය හා ඉලක්කයයි.

Thank Indika Dissanayake
1978 දී ලාංකික සමාජයේ සිදුවූයේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතු සමාජ ප්‍රතිසංස්කරණයකි. එය 1815 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ලාංකික සමාජයේ ඇති කළ ප්‍රතිසංස්කරණයන් හා ඒකමතික වේ. එහෙත් ඉංග්‍රීසීන් මෙරට සමාජයේ රිද්මය තේරුම් නොගෙන කටයුතු කළ අයුරින්ම1978 ප්‍රතිසංස්කරණයන් මගින් ද මෙරට සමාජයේ රිද්මයට බලපෑම් කළේය. ඒ නිසා එය සමාජයේ ආකෘතියට මෙන්ම සමාජයක් පදනම් වන හර පද්ධතියට ද කළ බලපෑම බරපතල ය. 1978 සමාජ ප්‍රතිසංස්කරණයන් ධනේශ්වර ඉතිහාසයේ එතිහාසික ප්‍රගමනයේ ප්‍රතිඵලයකි. ඒ නිසා එය වැළැක්විය නොහැක්කක් වුවත් ලාංකික සමාජයේ ධනේශවර සංවර්ධනයේ ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණයක් බව නොරහසකි. කිසියම් හෝ හේතුවක් නිසා ලාංකික ධනේශ්වර පන්තිය 1978 ප්‍රතිසංස්කරණයන් හදුන්වා දුන්නේ එවැනි ප්‍රමිතියකින් නොවේ.ධනේශ්වර පන්ති කතිකාවකින් තොරව සිදු කළ ඒ ප්‍රතිසංස්කරණයන් නිසා ලාංකික සමාජයේ පවුරු පදනම් වලට සිදුවූ හානිය අති මහත් ය.

මේ හානියේ බරපතලම සාධකය වන්නේ සමාජයේ පන්ති ස්ථරයට සිදුවූ හානියයි. ඒ නිසා සම්ප්‍රදායි ධනපති හා පීඩිත පන්තිය ආකෘතිමව වෙනස් වී ඒවාට ලූම්පන් ස්වරූපයක් ලැබුණි. එසේම අතිවිශාල මධ්‍යම පන්තියක් ද නිර්මාණය වුණි. ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ අයහපත් බලපෑම නිසා බිහිවූ ලූම්පන් ස්ථරය මෙන්ම නව මධ්‍යම පන්තිය ද සමාජ සංවර්ධනයේ දී කිසියම්ම හෝ දායකත්වයක් දරන්නේ නැත. එහෙත් මෙම පන්ති ස්ථරයන් සමාජ ප්‍රගමනයට කරන්නා වූ හානිය බරපතලය. ප්‍රශ්නකාරී තත්ත්වයන් මැද වුවත් ලාංකික පාලක පන්තියේ ආධිපත්‍ය පැවතුණේ සම්ප්‍රදායි ධනේශ්වර පන්තිය මත වුවත් 2005 දී පාලක පන්තියේ ආධිපත්‍ය ලූම්පන් ධනේශ්වරයේ ආධිපත්‍යයට නතු වුණි. ඇත්ත වශයෙන්ම එය ලූම්පන් වෙළෙද අරමුණකින් යුත් ධනය ඇති පන්තියක් මිස ධනපති පන්තියක් නොවේ. ධනපති මුහුණකින් යුත් ශරීර හැඩරුවක් ඊට තියෙන්නට පුළුවන් වුවත් එහි මොළය ක්‍රියා කරන්නේ සම්භාව්‍ය ධනපති අර්ථයෙන් නොවේ. එය මුළුමනින්ම කොල්ලකාරී අරමුණු වලින් යුත් ස්වාර්ථයම ප්‍රාර්ථනා කරන්නා වූ අවස්ථාවාදී එකතුවකි.ලාංකික රාජ්‍යයේ බලය ධනපති පන්තියෙන් ගිලිහී ධනය ඇති මුත් කොල්ලකාරී අරමුණු වලින් යුත් පාදඩ ස්ථරයකට හිමිවීම එතිහාසිකව සිදුවූ බරපතල වැරද්දකි. මේ නිසා ධනේශ්වර සංවර්ධනයට කිසිම ප්‍රතිලාභයක් අත් වන්නේ නැත.

මේ තත්ත්වයට සමාන්තරව සමාජයේ ආධිපත්‍ය අතර මැදි ස්ථරයටත් ලූම්පන් පීඩිත පන්තියටත් නතුවීම රාජ්‍යයේ ස්වරූපය තවදුරටත් වෙනස් කිරීමට හේතු වුණි. ඒ නිසා පාලක පන්තියේ හැසිරීම් පාලිත පන්තියට බරපතල නොවූ අතර පාලිත පන්තියේ හැසිරීම පාලක පන්තියට බරපතල නොවුණි. පාලක හා පාලිත පන්තීන් දෙකෙහිම පන්ති ස්වරූපය වෙනස් වීම නිසා ඒ පන්තීන් දෙකම කටයුතු කළේ අවස්ථාවාදී කොල්ලකාරී අරමුණු වලින් මිස සමාජ වගකීමක් දරන්නා වූ බරපතල පන්ති අරමුණකින් නොවේ. ඒ නිසා ලාංකික පාලක පන්තිය මෙන්ම පාලිත පන්තිය ද කොයි ආකාරයේ විසුළු ආඛ්‍යානයන් දැක්වුවද ඒවා තවමත් බරපතල සංවේදී කාරණාවන් බවට පත්වී නොමැත.

මේ නිසා මර්වින් සිල්වාට මෙන්ම මිලින්ද මොරගොඩට ද ඇති තරම් විහිළු තහළු කරමින් තම පැවත්ම ස්ථාවර කර ගැනීමට සමාජ වලංගුභාවයක් ලැබී තිබේ. මර්වින්ගේ කටයුතු මෙන්ම මිලින්දගේ කටයුතු ද තවදුරටත් ලාංකික සමාජය බරපතලව ප්‍රශ්න කරන්නේ නැත. ඒ නිසා මේ දෙදෙනාම තමන් කරන්නා වූ කටයුතු සමාජ සංවර්ධනයේ ලා කිසිම දායකත්වයක් නොකළත් දිගටම ඒ කටයුතු කිරීමට පසුබට වන්නේ ද නැත. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තමන්ගේ හෘදය සාක්ෂියට එකගව වන්නට පුළුවන. දෙදෙනාම තමන්ගේ කටයුතු බරපතල යැයි විශ්වාස කරනවා ඇත. එහෙත් ධනේශ්වර අර්ථයෙන් මේ දෙදෙනාම “ප්‍රෙඩී සිල්වලා” මිස අනෙකෙක් නොවේ.

එහෙත් ධනය ඇති පන්තියත්, ලූම්පන් පීඩිත පන්තියත් හා අතර මැදි පන්තියත් මිලින්ද මොරගොඩ වටා එක් වෙමින් සිටීන්නට මේ මොහොතේ වැඩි ඉඩකඩක් පවතී. මේ පන්ති ස්ථරයන් සියල්ලටම ඇත්තේ කොල්ලකාරී වෙළෙද අරමුණු මිස අනෙකක් නොවේ. ඒ නිසා රාජ්‍යයේ බලය දරන පාලක පන්තිය හා එක්වීම හැර වෙනත් විකල්පයක් මේ ස්ථරයන්ට නොමැත. නමුත් ප්‍රතිවිරෝධාත්මක වූ ද උභතෝකෝටීකයක් වූ ද සමාජ තත්ත්වයන් මතු කරමින් ඊනියා සංවර්ධන අරමුණු ගැන මිලින්ද මොරගොඩ මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශයන් ගැන සම්භාව්‍ය ධනපති පන්තිය තුළ සියුම් සිනහවක් මතු වී ඇති බව නොරහසකි.

එහෙත් රාජ්‍යයේ ආධිපත්‍ය තම පන්තියෙන් ගිලිහී ඇති නිසා ධනපති පන්තියට ඒ සිනහවෙන් ඔබ්බට කළ හැකි වෙනත් සමාජ කාර්යක් ඉතුරුවී නොතිබීම මේ මොහොතේ ලාංකික සමාජය මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයයි. ඒ අර්ථයෙන් රාජ්‍යයේ ආධිපත්‍ය නැවත සම්භාව්‍ය ධනපති පන්තිය නතු කර ගැනීමෙන් මෙහා වෙනත් විකල්ප විසදුමක් ඉතුරු වී නැත. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණයන් හුදු මුහුණු මාරුවකින් කළ හැක්කක් නොවේ. 1978 දී උඩු යටීකුරු කළ ආර්ථිකය නැවත මහ පොළොව මත සිටුවා තැබීමත් ඊට සමාන්තරව සමාජ සැකැස්ම යළි සකස් කිරීමත් වහා සිදුකිරීම ධනපති සමාජ ප්‍රගමනයේ අවශ්‍යම කාර්යයකි. ඒ සදහා අති විශාල සංවාදයක් අවශ්‍ය වන්නේ ය. මේ මොහොතේ දී ලාංකික ධනපති පන්තිය එක් රොක් විය යුත්තේ මිලින්ද මොරගොඩ වැනි දේශපාලනික විරූපීන් පරාජය කිරීමට පමණක් නොවේ. මේ දේශපාලනයේ පන්ති විරූපිය වෙනස් කිරීමට මේ මොහොතේ එක් රොක් වීම ධනපති පන්තිය මත පැටවී ඇති බරපතලම කාර්ය භාරයයි.

එවැනි දේශපාලන ප්‍රතිසංස්කරණයකින් තොරව මිලින්ද මොරගොඩලා පරාජය කිරීම අර්ථ විරහිතය.

7 thoughts on “ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ

  1. අලුතෙන් දෙයක් එක්කරන්නට නොමැත , කිව යුතු දේ එලෙසින්ම කියා ඇත

  2. @ ශාන්

    2005 ලුම්පන් ධනපති පංතිය යැයි ඔබ හදුන්වන ස්ථරය අතට රාජ්‍ය බලය ගොනු වීමත් සමග ධනපති රාජ්‍ය්ය පිස්සු නටන්නට පටන්ගෙන තිබෙන බව කීම නිවැරදියි.ඒත් ප්‍රශ්නය මතු වෙන්නේ ඔබ ඊලගට ගොඩ නගන තර්කයේදීයි.

    //එහෙත් රාජ්‍යයේ ආධිපත්‍ය තම පන්තියෙන් ගිලිහී ඇති නිසා ධනපති පන්තියට ඒ සිනහවෙන් ඔබ්බට කළ හැකි වෙනත් සමාජ කාර්යක් ඉතුරුවී නොතිබීම මේ මොහොතේ ලාංකික සමාජය මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයයි. ඒ අර්ථයෙන් රාජ්‍යයේ ආධිපත්‍ය නැවත සම්භාව්‍ය ධනපති පන්තිය නතු කර ගැනීමෙන් මෙහා වෙනත් විකල්ප විසදුමක් ඉතුරු වී නැත//

    ලංකාව මුහුන දී සිටින්නේ ධනපති රාජ්‍යය ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රම වලට අනුව නිසි ලෙස පවත්වා ගෙන යා නොහැකි වීමේ ප්‍රශ්නයකද?නැතිනම් ධනපති රාජ්‍යය නැමැති ප්‍රශ්නයටද?විකෘති ක්‍රමවේද වලින් හෝ රාජපක්ෂ පාලනය ක්‍රියාවේ යොදවමින් සිටින්නේ සම්භාව්‍ය ධනපති පංතිය බලයේ සිටින විටදීද ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කල නව ලිබරල් ප්‍රතිසංස්කරන සමුදායයි.කොලඹ පැල්පත්වාසීන් එලවා දැමීඹ ගැන අද කතාකරන එජාපය හෙට බලය අත පත් වූ කල්හි ගනු ලබන පියවර කවරක්ද?පැල්පත්වාසීන්ගේ ජීවන තත්වය ඉහල නැංවීම ඉලක්ක කොට ගත් ඔවුන් මත තැබූ ප්‍රතිපත්තියක්ද?වෙලදපොල බලවේගයන්ට ඉඩම් කොල්ලකෑමට ඉඩ දී “ආර්ථික වර්ධන වේගය” ඉහල නංවන ආකාරයේ ප්‍රතිපත්තියක්ද?කොලඹදී හො වේවා මීගමු කලපුවේදී හෝ වේවා උතුරු නැගෙනහිරදී හෝ වේවා ඉඩම් කොල්ලයේ හරය එකකි.එය රාජ්‍යයක් ලෙස ධනපති රාජ්‍යයේ ස්වරූපය සමග බැදී තිබෙන ප්‍රශ්නයකි.ප්‍රශ්නය ලෙස ගත යුත්තේ එම ප්‍රභූ කේන්ද්‍රීය රාජ්‍යය මිස එම රාජ්‍යය ක්‍රියාවේ යෙදවෙන “විධික්‍රමය” නොවේ.විධික්‍රමය කවරක් වුවත් පීඩිත ජනයාට ඉන් ඇති වෙනසක් නැත.කොලඹ ඉඩම් අද රාජපක්ෂ රෙජිමය වැඩි කොමිස් ප්‍රමානයකට හිතවතුන් පිරිසකට විකුනද්දී ( මේ හිතවතුන් අතර චීන සමාගම් වැඩිපුර සිටිය හැක) හෙට “සම්භාව්‍ය ධනේශ්වරය” ( ලංකාවේ ධනපති පංතිය යුරෝපයේ වගේ සීරියස් ආකාරයෙන් සම්භාව්‍යය යයි මම හිතන්නේ නැහැ.අඩුම තරමින් ඉන්දියාවේ තරම් වත්) එයම සමහරවිට අඩු කොමිස් මුදලකට වෙනත් පිරිසකට ( ඒ පිරිස අතර වැඩිපර යුරෝපා සමාගම් සිටිය හැක) බදු දීමට ඉඩ තිබේ.කොලඹින් එලවා දැමෙන දුගියාගේ ඉරනම මේ කවරක් සිදු වූවද වෙනස් වනවාද?මේ සිදුවෙන්නේ අද මාඕවාදී කැරැල්ල බරපතල ලෙස පැතිර යන මධ්‍ය ඉන්දියාවේ සිදුවෙමින් පවතින ඉඩම් කොල්ලයමය. මේ මොහොතේ අවශ්‍ය වී තිබෙන්නේ නව ලිබරල්වාදයට මුහුන දීම සදහා ජාතික රාජ්‍ය සීමාව ඉක්මවා ගිය පීඩිතයන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් පිලිබද ගැඹුරු සංවාදයක් විනා සම්භාව්‍ය හෝ එසේ නොවන ධනේශ්වරයට බලය අරගෙන ධනපති රාජ්‍යය පවත්වාගන්නේ කෙසේද යන්න පිලිබද වූ සරල සංවාදයක් නොවේ.

    1. 1. ලංකාවේ ධනේශ්වර අර්බුදය ගැන මට ඇත්තේ රාමාට වඩා වෙනස් කියවීමක් බව මා මීට ඉහත දී ත් පවසා ඇත්තෙමි. ඒත් රාමා එය තේරුම් ගැනීමට හෝ අපි අතර වෙනස් කියවීමක් පවතින බව තේරුම් ගැනීමට හෝ උනන්දුවක් දක්වා නැත.සම්භාව්‍යය ධනේශ්වරය ආ පළියට සූරාකෑම අහෝසි වන්නේ නැත. එහෙත් රාමා හිතන්නේ සමාජවාදී විප්ලවයෙන් පසුව සිදුවන සමාජ වෙනස්කම් ධනේශ්වර ප්‍රතිසංස්කරණයක දී සිදුකර ගැනීමට ය. රාමාට වරදින්නේ එතැනිනි. එහෙත් කෙසේ හෝ ජ.වි.පෙ අර්බූදය සම්බන්ධයෙන් මා ඊලගට ලිවීමට බලපොරොත්තු වන ලිපියෙන් ඒ ගැන වැඩි දුරටත් අදහස් පළ කරමි.

      2. ධනපති ප්‍රතිසංස්කරණ සිදුවීමෙන් පීඩිතයන්ගේ දේශපාලන ක්‍රියාකාරිතවය නතර කළ යුතු නොවේ. ධනපතියන් තම දේශපාලනයත් පීඩිතයන් තම දේශපාලනයත් වෙන වෙනම කර ගත්තාවෙ. ධනපති දේශපාලන කටයුතු ගැන රාමා මේ තරම් බිය ඇයි?

      3. ලුම්පන් පීඩිතයන් හා අතර මැදි පන්තියේ ආධිපත්‍යයට නතුව ඇති ජවිපෙ ඉන් බේරා ගැනීමට එම පක්ෂය තුළ විශාල සංවාදයක් ආරම්භවීම සතුටට කරුණක්. එවැන්නක් ධනපති පන්තිය තුළ ද ඇති විය යුතුයි. එය කිසිසේත්ම සරළ සංවාදයක් නොවේ.

      1. @ shan

        //ලංකාවේ ධනේශ්වර අර්බුදය ගැන මට ඇත්තේ රාමාට වඩා වෙනස් කියවීමක් බව මා මීට ඉහත දී ත් පවසා ඇත්තෙමි. ඒත් රාමා එය තේරුම් ගැනීමට හෝ අපි අතර වෙනස් කියවීමක් පවතින බව තේරුම් ගැනීමට හෝ උනන්දුවක් දක්වා නැත//

        ඔබට ඒ ගැන තිබෙන්නේ වෙනස් කියවීමක් බව මම වටහා ගෙන තිබෙනවා.නමුත් තවමත් ඔබේ කියැවීම ගැන සංයුක්ත අවබෝධයක් මට නිවැරදි වශයෙන්ම නැහැ කියන එක අවංකව කිව යුතුය.මෙහෙම අදහස් දැක්වීමෙන් මම අපේක්ෂා කරන්නේත් ඒ වෙනස් කියවීම කුමක්ද කියන එක හරියට වටහා ගැනීමටය.මට වැටහෙන පරිදි ඔබ ලංකාව තවදුරටත් ධනේශ්වර ප්‍රතිසංස්කරන මාලාවක් තුලින් යා යුතු යැයි අදහස් කරන බවත්,එනයින් දේශීය ධනපති පංතියට සමාජ සංවර්ධන ක්‍රියාදාමයේදී තවදුරටත් ප්‍රගතිවාදී කර්යභාරයක් ඉතිරි වී තිබෙන බවට යෝජනා කරන බවත් හැගෙයි. ගෝලීය ධනවාදයේ මෙම මොහොත තුල ජාතික ධනේශව්ර පංතිය යනු හුදෙක් නව ලිබරල් සූරාකෑමට පහසුකම් සපයා දෙන පහසුකම් සම්පාදකයෙක් පමනක් බවත්,පීඩිත ජනයාගේ නිදහස වැටී තිබෙන්නේ ඉන් බැහැරින් පවතින අරගලකාරි ප්‍රවේශයක් තුල බවත් මගේ වැටහීමයි.ධනපතියන් තමන්ගේ දේශපාලනය වෙනමත් පීඩිතයන් තමන්ගේ දේශපාලනය වෙනමත් කරගත්තාවෙ කියන ප්‍රකාශය මට අපැහැදිලි ප්‍රකාශයක්.මට අනුව නම් වම උත්සාහ කල යුත්තේ මෙම දේශපාලනයන් දෙක එකිනෙකට අභිමුඛ කරවිමටය.ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන හෙජිමොනික් අදහස රැඩිකල් ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අදහස මගිනුත් ධනේශ්වර සංවර්ධනය ගැන හෙජිමොනික් අදහස විකල්ප සංවර්ධන ආකෘතියක් සම්බන්ධ අදහස මගිනුත් අභියෝගයට ලක් කල යුතුව තිබෙනවා.ඔබේ ලියැවිලි බොහෝ දුරට ඉලක්කගතව තිබෙන්නේ යූඇන්පිය තුලින් මතුවිය යුතු යම් ආකාරයක ප්‍රගතිවාදී දේශපාලනයක් ගැන දක්වන අදහස් වටාය.(දයාසිරිත් එක්ක ඔබ පැටලුනු විවාදය නිදසුනක්) කොහෙම උනත් ඔබේ ඒ ෆැන්ටසික අපේක්ෂාව බිදදාන්න ඒ විවාදයම ප්‍රමානවත් බවයි මගේ අදහස මම යෝජනා කරන්නේ ධනපතීන්ගේ දේශපාලනය “ලස්සන” කිරීම සදහා අදහස් දක්වමින් කරන ප්‍රතිඵල විරහිත මැදිහත්වීමක් වෙනුවට පිඩිතයින්ගේ දේශපාලනය පුලුල් තැනකට අරගෙන යාම සදහා කරන සංවාදාත්මක මැදිහත්වීමක් මේ මොහොතේ අවශ්‍ය බවයි.මේ ගැන විස්තරාත්මකව ඉස්සරහට කතාකරන්න පුලුවන් නම් අගෙයි.

  3. “ධනපති දේශපාලනය ලස්සන කිරීම සදහා මා දරන වෙහෙස” අර්ථ විරහිත යැයි පවසන ඔබගේ මතය තුළ යම් කිසි ඇත්තක් තිබේ. මගේ අදහස අනුව ධනපති දේශපාලනය ලස්සන කිරීම පමණක් නොව පීඩිත දේශපාලනය ලස්සන කිරීම ද මේ යුගය තුළ අර්ථ විරහිත ක්‍රියාවක්. ඔබ දකින්නේ ඒක මානිකවයි, මා කියන්නේ බහුමානිකව දකින ලෙසයි.

    පන්ති සීමා ඉක්මවා යමින් සිදුවී ඇති සන්තෑසිය ඔබට නොපෙනීම කනගා‍ටුවට කරුණක්.

    එහෙත් පීඩිත පන්තියේ අරගලය අවලංගු යැයි මා කිසි විටෙක කියන්නෙ නෑ.

Leave a comment