එයා දැන් මෙහෙ නෑ (He is no more here)


මා ජීවත්වන පරිසරය තුළ දී අත්විදින දේශපාලනික සිදුවීම් පිළිබදව මගේ කියවීම සටහන් කර තැබීමට බුමුතුරුණු බ්ලොග් අඩවිය මට බෙහෙවින් උපකාර විය. 2007 දී තරම් ඈතක දී ආරම්භ කළ මේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ප්‍රසිද්ධ කිරීම සියළු බ්ලොග්කරුවන් මෙන්ම මා ද මුහුණ දුන් අභියෝගයකි. අද මෙන් එදා සින්ඩිකේටරයන් නොවීම ඊට හේතුවයි.

මේ අභියෝගය ජය ගැනීමට මා ‍තෝරා ගත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් මගින් අවශ්‍ය ප්‍රචාරය ලබාදීමයි.බ්ලොග් අඩවිය ප්‍රචාරය සදහා ව්‍යාජ නමක් භාවිතා කිරීමට සිදුවූයේ සත්‍ය නමින් පෙනී සිටිමින් මෙම බ්ලොග් අඩවියේ කතා කළ විෂයන් වල අයිතිය පිළිගැනීමට තරම් වාතාවරණයක් රටේ නොතිබූ බැවිනි. බොහෝ විට පාඨකයන්ගේත් සමාජයේ විවිධ පුද්ගලයන්ගේත් අදහස් දැන ගැනීමට මා යොදා ගත්තේ ද රවි නිරෝෂන් අකලංක නම් අදාළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමයි.

ෆේස් බුක් සමාජ ජාලයෙන් හදුනා ගත් මිතුරෙකුගෙන් මා නොදන්නා තාක්ෂණික කරුණු ගැන විමසීමට මා පුරුදු වී සිටි අතර ෆේස් බුක් චැට් මගින් නිතර හමුවෙමින් ඒ ගනුදෙනුව සිදුවූයේ ඔහු ද මගේ බ්ලොගයේ පාඨකයකු මෙන්ම දේශපාලනයට උනන්දු අයෙක් වූ බැවිනි. ඒත් එක්තරා සීමාවක දී මට ඔහුගේ කුළුපග මිත්‍රත්වය මෙන්ම අනගි තාක්ෂණික සහාය ද අහිමි වුණි. ඒ සමගම මට මගේ ව්‍යාජ ෆේස් බුක් ගිණුමේ පාලනය ද අහිමි වූයේ තාක්ෂණික උදව් ලබා ගැනීමට ගොස් ගිණුමේ රහස් අංකය ඔහු සතුව තිබූ බැවිනි. එය මුළුමනින්ම මගේ ප්‍රමාද දෝෂයකින් වූ හානියකි.

බුමුතුරුණු බ්ලොග් අඩවිය ප්‍රචාරය සදහා යෝදා ගත් ව්‍යාජ ෆේස් බුක් ගිණුම මේ අනුව තවදුරටත් මගේ පාලනයේ නොපවතින්නකි. එය වෙනත් අරමුණු සදහා යොදා ගනිමින් තිබෙන අතර ඒ නිසා මට හා මගේ බ්ලොග් අඩවියට යම් යම් හානි සිදුවෙමින් පවතී. එබැවින් එම ගිණුම මා පාලනයේ නොපවතින බව මගේ පාඨකයන්ට දැන්වීම යුතුකමක් සේ මම සැලකුවෙමි. ඒ අනුව රවි නිරෝෂන් අකලංක යන ව්‍යාජ ෆේස් බුක් ගිණුම බුමුතුරුණු බ්ලොග් අඩවියේ ප්‍රචාරය සදහා තවදුරටත් යොදා නොගන්නා අතර ඒ සමග කිසිම සම්බන්ධයක් නොමැති බව ද කාරුණිකව දන්වමි.

එහෙත් දේශපාලනය සම්බන්ධයෙන් වූ මගේ කියවීම මෙම අඩවිය තුළ තවදුරටත් සටහන් වන බව දන්වන්නේ සතුටිනි.

Leave a comment