සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

Citizens' vigil for murdered and disappeared Lankan journalists: 5 January 2015 at Vihara Maha Devi Park, Colombo.
Citizens’ vigil for murdered and disappeared Lankan journalists: 5 January 2015 at Vihara Maha Devi Park, Colombo.

Civil society – in its widest sense – played a key role in the recent peaceful change of government in Sri Lanka. It was civil society advocacy – for ending corruption, ensuring independence of judiciary, and increasing democratic checks and balances on the executive presidency – that inspired a larger citizen demand for better governance. The parliamentary opposition was pushed into belated action by these citizen demands.

What is the role of civil society in the political process? How and where does the civil space intersect with the political space? How can civil society engage formal political parties without being subsumed or co-opted?

In June 2014, I posed these questions to Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development, when I interviewed him for Young Asia Television (YATV) – I was just ‘standing in’ for the regular host Sanjana Hattotuwa.

That interview’s contents are now more relevant to Sri Lanka than 8 months ago. So I have just rendered it into Sinhala. In this week’s Ravaya column (in Sinhala), I share the first half of the interview. To be continued next week…

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television - The Interview, June 2014
Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television – The Interview, June 2014

සිවිල් සමාජය (civil society) පුළුල් සංකල්පයක්. ප‍්‍රජා මට්ටමේ සමිති සමාගම්වල සිට වඩාත් විධිමත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වෘත්තීය සමිති, වෘත්තිකයන්ගේ සංවිධාන හා ජාලයන් සියල්ල සිවිල් සමාජය ගණයට අයත්.

සිවිල් සමාජයේ දේශපාලන සහභාගිත්වය කෙසේ විය යුතුද? පුරවැසියන්ගෙන් සැදුම් ලත්, පුරවැසි අපේක්ෂාව වටා සංවිධාන ගත වන සිවිල් සමාජය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක යහපාලනය සඳහා ඉතා වැදගත් කාර්යයන් සමුදායක් ඉටු කරනවා.

දේශපාලන ක‍්‍රියාදාමය තනිකරම දේශපාලන පක්ෂවලට ඉතිරි කොට සිවිල් සමාජය සමාජ සුබ සාධනයට පමණක් සීමා විය යුතු යැයි පටු තර්කයක් ගෙවී ගිය අඳුරු දශකයේ මෙරට ප‍්‍රවර්ධනය කරනු ලැබුවා. එහෙත් 2015 ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස උදෙසා සිවිල් සමාජ දායකත්වය අති විශාලයි. හිටපු රජය එපා කියද්දීත්, තහංචි හා හිරිහැර මැද්දෙන් සිවිල් සමාජය ගත් යහපාලන ස්ථාවරයන් අනුමත කරන්නට හා අනුකරණය කරන්නට දේශපාලන පක්ෂවලට සිදු වුණා.

මෙය අපට පමණක් සීමා වූ අත්දැකීමක් නොවෙයි. වඩාත් පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින ඉන්දියාවේ මේ ගැන පුළුල් අත්දැකීම් තිබෙනවා. 2014 ජුනි මාසයේ ඒ ගැන මා එරට ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග දීර්ඝ ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා.

ඉංජිනේරු හා කළමනාකරණ උපාධි සතු වුවත් ඔහු ගෙවී ගිය වසර 35 කැප කොට ඇත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නූතන ලෝකයේ අභියෝගවලට මුහුණදීමට හැකි පරිදි වඩාත් සහභාගිත්ව රාමුවකට ගෙන ඒමටයි. ඉන්දියාවේ සිවිල් සමාජ ආයතන හා ජාල ගණනාවක නායකත්වයට අමතරව පුරවැසි සහභාගිත්වය සඳහා ලෝක සන්ධානයේ (CIVICUS) පාලක මණ්ඩල සභිකයකු ද වන ඔහු කොළඹට පැමිණි මොහොතක YATV සාකච්ඡාවකට මා සමග එකතු වුණා.

මාස කිහිපයකට පසු එහි සිංහල අනුවාදය ඔබට ගෙන එන්නේ මෙරට අඳුරු දශකයක නිමාවෙන් පසු යහපාලනයේ පැතුම් යළිත් දැල්වෙමින් තිබෙන මොහොතක එයට යම් ජවයක් ඉන්දියාවෙන් ලද හැකියැ’යි මා විශ්වාස කරන නිසා.

Dr Rajesh Tandon
Dr Rajesh Tandon

නාලක: කොළඹදී ඔබ කළ දේශනයේ ඔබ පෙන්වා දුන්නා පොදු උන්නතිය සඳහා රියා කළ හැකි අවකාශයන් දෙකක් ඇති බව. එකක් දේශපාලන අවකාශය (political space). අනෙක සිවිල් අවකාශය (civil space). මේ දෙක එකිනෙකට මුණ ගැසෙන්නේ කෙලෙසද?

රාජේෂ් ටැන්ඩන්: මගේ ජීවිත කාලය පුරාම සිවිල් සමාජ ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයේ මා නිතරව සිටිනවා. ඉන්දියාවේ මෙන්ම ගෝලීය වශයෙන්. අප නිතර මෙනෙහි කරන ප‍්‍රශ්නයක් නම් දේශපාලන ක‍්‍රියාදාමයට හරියාකාර බලපෑම් කරන්නේ කෙසේද යන්නයි.

අසම්පූර්ණතා ඇතත්, ඉන්දියාවේ දේශපාලන ක‍්‍රියාදාමය ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුවක් තුළ සිදු වනවා. ජාතික, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය (පළාත්පාලන) යන මට්ටම් තුනක් අපට තිබෙනවා. ඉන්දියාවේ පුළුල් වූත්, සංවිධානාත්මක වූත් සිවිල් සමාජයේ ක‍්‍රියාකාරිකයන් මේ මට්ටම් තුනේම ජනතා නියෝජිතයන් (ඡන්දයෙන් තේරී පත් වූවන්) සමග ඍජුව මෙන්ම මාධ්‍ය හරහාත් නිරතුරු සංවාදයක යෙදෙනවා.

සමහර සිවිල් සමාජ ක්රියාකාරිකයන් ඡන්දවලටත් තරග කරනවාද?

ජාතික හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලනයට අවතීර්ණවීමට නම් දේශපාලන පක්ෂයකට බැඳී ඒ හරහා නාමයෝජනා ලැබ මැතිවරණ ජය ගත යුතුයි. එහෙත් නගර සභා හා පංචයාත් (ප‍්‍රාදේශීය සභා) මට්ටමේ නම් තවමත් දේශපාලන පක්ෂයකට නොබැඳුණු අයටත් තරග කිරීමට හා තේරී පත්වීමට යම් ඉඩක් තිබෙනවා. ජන සංවිධාන නියෝජිතයෝ බොහෝ විට එම මට්ටමේ තරග කොට පළාත් පාලන දේශපාලන අවකාශයට ද පිවිසී පොදු උන්නතිය උදෙසා දිගටම ක‍්‍රියා කරනවා. එහෙත් අපට තිබෙන ලොකු අභියෝගයක් නම් ප‍්‍රාන්ත හා ජාතික මට්ටමේදී සිවිල් සමාජ ප‍්‍රමුඛතා හා දැක්මට දේශපාලන පක්ෂ කෙසේ නම්මවා ගත හැකි ද යන්නයි.

ඔබ සිතන්නේ රේල් පීලි මෙන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය සමාන්තරව දිවෙන බවද? නැත්නම් මේවා එකිනෙක හමු වනවාද?

මේ අවකාශ දෙක විටින් විට හමු වනවා. 2014 අපේ‍්‍රල්-මැයි ඉන්දියානු මහ මැතිවරණයේදීත් මෙය සිදු වුණා. උදාහරණයකට මා අයිති එක් සිවිල් ක‍්‍රියාකාරික පිරිසක් නාගරික දුගී ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණ කැම්පේන් කාලයේ අප ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවල සියලූ දේශපාලන පක්ෂවල ඡන්ද අපේක්ෂකයන් හමු වී අපේ දැක්ම පහදා දුන්නා. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩුපාඩු පෙන්වා දුන්නා. පරිසරවේදීන්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් හා වෙනත් පොදු ප‍්‍රශ්න ගැන පෙනී සිටින සිවිල් කණ්ඩායම් ද මෙවැනිම සංවාදවල යෙදෙනවා. ඔවුන් අතර රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්ගේ සංවිධාන හා ග‍්‍රාමීය ප‍්‍රජා කණ්ඩායම් සිටිනවා.

Dec 2012: People gather at a candlelit vigil for the rape victim - Photo by Saurabh Das, AP
Dec 2012: People gather at a candlelit vigil for the rape victim – Photo by Saurabh Das, AP

මෑතදී නව රවණතාවක් මතුව තිබෙන බව ඔබ පෙන්වා දුන්නා. දුෂණය, ස්තරී හිංසනය ආදී බරපතළ සමාජ රශ්නවලට එරෙහිව විශේෂයෙන් මධ්යම පාන්තික ඉන්දියානුවන් පෙළගැසෙනු හා වීදි බැස උද්ඝෝෂණය කරනු අප දකිනවා. ජංගම දුරකතන හරහා කඩිනමින් සංවිධානගත වන ඔවුන් බොහෝ දෙනා සාම්පරදායික සිවිල් සමාජ සංවිධානවලට අයත් නැහැ නේද?

මෙය ගෙවී ගිය වසර හත අට තුළ අප දකින ප‍්‍රවණතාවක්. අන්නා හසාරේ (Anna Hazare) ජන නායකයා වටා ඒකරාශි වෙමින් දුෂණයට එරෙහිව හඬ නැගුවේ බොහෝ කොටම මෙබඳු අයයි. මා මෙය දකින්නේ 1990 ගණන්වල උපන් ඉන්දියානුවන් සමාජ ප‍්‍රශ්න ගැන ආවේගයෙන් එළි බැසීමක් ලෙසටයි. මෙය මා වැන්නවුන් මවිතයට පත් කළත් එය හිතකර ප‍්‍රවණතාවක් ලෙස මා දකිනවා.

මෑතක් වන තුරු ඉන්දියාවේ නාගරික ඉසුරුබර උදවියගේ දේශපාලන සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතියා. මැතිවරණවලදී ඡන්දය දීමට වැඩිපුර ගියේ නාගරික දුගී හා පහළ මධ්‍යම පාන්තිකයන් (65%). බොහෝ ඉහළ මධ්‍යම පාන්තිකයන් ඡන්දය දීමටවත් ගියේ නැහැ (10%).

ජාතික මට්ටමේ මහ මැතිවරණවලදී පවා?

ඔව්. පළාත් පාලන මැතිවරණ ගැන නම් මේ පිරිස පොඩියක්වත් තැකීමක් කළේ නැහැ. එහෙත් 2008 පමණ පටන් මෙය වෙනස් වන්නට පටන් අරන්. එය යම් තරමකට අප 2009 මහ මැතිවරණයේදී දුටුවා. එය වඩාත් හොඳින් පෙනී ගියේ 2014 මහ මැතිවරණයේදී.

මේ ස්වයංසිද්ධ ප‍්‍රවණතාවට උත්පේ‍්‍රරණය හා ගැම්ම ලබා දෙන්නේ පුවත් ටෙලිවිෂන් නාලිකා, ජංගම දුරකතන ව්‍යාප්තිය, ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය භාවිතය පුළුල්වීම ආදී සාධකයි. මේ තාක්ෂණික සාධක මගින් පුරවැසියන් තුළ නව පිබිදීමක් හා කැක්කුමක් ඇති කොට තිබෙනවා.

සමාජය වෙලා ගත් ගනඳුරු පටල වැනි දුෂණය, ප‍්‍රචණ්ඩත්වය ආදියට එරෙහි විය හැකි බවත්, තත්ත්වය ගොඩ ගත නොහැකි තරම් අසාධ්‍ය නොවන බවත් තරුණ ඡන්දදායකයන් සිතන්නට පෙළඹිලා. නිලධාරීන් හෝ දේශපාලකයන් පසුපස ගොස්, ඔවුන්ට බැගෑපත් වී, ඔවුන් සතුටු කොට පුරවැසි වරප‍්‍රසාද ලබා ගැනීමේ දීනත්වය වෙනුවට ආත්ම අභිමානය සහිතව ජීවත් විය හැකි හෙට දවසක් ගැන ඔවුන් බලාපොරොත්තු ඇති කරගෙන සිටිනවා.

 

Anti-corruption activist Anna Hazare
Anti-corruption activist Anna Hazare

මෙය නගරවල පමණක්ද? නැත්නම් රාමීය රදේශවලත් දැකිය හැකි පිබිදීමක්ද?

දැන් මෙය ගම් ප‍්‍රදේශවලටත් පැතිරිලා. මෙයට ප‍්‍රධාන හේතුව මාධ්‍ය ව්‍යාප්තියයි. ගෙවී ගිය දශකය තුළ ඉන්දියාව පුරාම පුවත් පමණක් ආවරණය කරන ටෙලිවිෂන් නාලිකා සිය ගණනක් බිහි වුණා. මේ නාලිකා අපේ භාෂා දුසිම් ගණනකින් සමාජගත වනවා. පැය 24 පුරාම සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න ගැන සජීව වාද විවාද කරනවා.

1990 මුල කාලයේ උපන්, 2010 වනවිට ඡුන්දය දීමේ වයසට ළඟාවූ මිලියන ගණන් තරුණ තරුණියන් හැදුණේ වැඩුණේ මේ බහුමාධ්‍ය වාතාවරණය තුළයි. ජංගම දුරකතන බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් රට තුළ ව්‍යාප්ත වීම හා ඒවා භාවිතයේ වියදම ඉතා අඩු වීම හරහා ද තොරතුරු ගලායෑමට පෙර යුගවල තිබූ බාධක බොහෝ කොට බිඳ වැටිලා.

ඔබ කියන්නේ මාධ් හා තොරතුරු තාක්ෂණය එක පසෙකිනුත්, අතිවිශාල තරුණ හා උගත් ජනසංඛ්යාවක් තව පසෙකිනුත් මතු වීම හරහා ඉන්දීය සමාජයේ මේ නව රජාතාන්තරික පිබිදීම සිදුව ඇති බවයි?

ඔව්. ඇත්තටම ඔව්!

මේ සාධක දෙක සමාපත වූ මැදපෙරදිග සමහර රටවල අරාබි වසන්තය නම් ජන අරගල මතු වුණා. එහෙත් ඉන්දියාවේ එබන්දක් සිදු වුණේ නැහැ. වෙනුවට පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි (Aam Aadmi Party, AAP) මතු වුණා. මේ වෙනසට හේතුව කුමක්ද?

ජන සංයුතිය (demographics) මෙහිදී ඉතා වැදගත් සාධකයක්. ඉන්දියාවේ ජනගහනයේ මධ්‍යන්‍ය වයස 24යි. ඒ කියන්නේ අපේ සමස්ත ජනගහනය වන මිලියන් 1,200න් බාගයක්ම (මිලියන් 600ක්) වයස 24 හෝ ඊට අඩුයි. මේ මහා තරුණ ජනකාය තමන්ගේ ආවේගයන් කෙළින්ම පොදු අවකාශයේ (වීදි බැස සාමකාමී උද්ඝෝෂණ කිරීමෙන්) හෝ සයිබර් අවකාශයේ ප‍්‍රකාශ කරනවා. මෙය පෙර කිසිදා නොතිබි අන්දමේ තත්ත්වයක්.

මෙය මා දකින්නේ අතරමැදි (දේශපාලන හෝ සිවිල් සමාජ සංවිධාන) හරහා නොගොස් ඍජුව පුරවැසියන් රාජ්‍ය පාලකයන්ට බලපෑම් කිරීමේ නව රටාවක් ලෙසයි.

පරම්පරාවකට පෙර මෙබඳු තරුණ උදවිය දේශපාලන පක්ෂවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ බැඳී ක‍්‍රියා කළා. අද බොහෝ කොට ඔවුන් ඍජුවම එය කරනවා. දුෂණ විරෝධී ජන රැල්ල හා දිල්ලියේ ස්ත‍්‍රී දුෂණයට එරෙහිව ඉන්දියාව පුරාම මතුව ආ ජන රැල්ල මෙයට මෑත උදාහරණයි. එහිදී වීදි බැස නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලකර සිටි තරුණ පිරිස් අගමැති හා ස්වදේශ ඇමතිට කෙළින්ම පණිවුඩයක් දුන්නා.

එසේම ජාතික ප‍්‍රශ්න ගැන වීදියට බසින තරුණ තරුණියෝ කෙළින්ම රට කරවන ඇත්තන්ට එහි එන්නයැ’යි බල කොට කියනවා. පොලිස්පති හෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හෝ පැමිණියාට ඔවුන්ට මදි.

Anna Hazare

එසේ රසිද්ධ ස්ථානවලට පැමිණීම දේශපාලන නායකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිද?

ඒ තර්කය විවාදාත්මකයි. තරුණ උද්ඝෝෂණකරුවන් කියන්නේ මේ අගමැති, ඇමති පිරිස පත්ව සිටින්නේ මහජන ඡුන්දයෙන්. ඔවුන් නඩත්තු කරන්නේ මහජන මුදලින්. ඉතින් එම මහජනයාගේ පිරිසක් හමුවීමට දේශපාලන නායකයන්ට එන්න බැරිද?

එසේම කමාන්ඩෝ ආරක්ෂකයන් පිරිවරා ගෙන වාහන දහය විස්සක රථ පෙරහරින් දේශපාලකයන් එහා මෙහා යාම ඉන්දියාවේ තරුණ පිරිස් රුස්සන්නේ නැහැ. ඔවුන් කියන්නේ ජනතාවට ඔයිට වඩා සමීප වන්න බැරි නම්, බය නම් ලොකු ලොක්කෝ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි!

ඉන්දියාවේ 2014 මහ මැතිවරණයේදී රථම වතාවට ඡන්දය දීමේ වයසට ළඟා වූ තරුණ තරුණියන් මිලියන් 150ක් පමණ සිටියා. මේ පිරිස වඩා උගත්, තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූවන් වීම මැතිවරණ රතිඵලයට බලපෑවේ කෙසේද?

ඉන්දියාවේ ජාතික සාක්ෂරතාව 74%ක් වුවත් වයස 24ට අඩු ජන කොටස අතර එය 90%ක් තරම් ඉහළයි. මේ අය අඩු තරමින් වසර 10-12ක් පාසල් ගිය තොරතුරු ලැබීමේ හා හුවමාරුවේ අගය දත් පිරිසක්. මීට පෙර පරම්පරා මෙන් දේශපාලකයන් කරන කියන ඕනෑම දෙයක් ඉවසා සිටින්නට ඔවුන් සූදානම් නැහැ.

සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161

ඉතිරි කොටස ලබන සතියේඉන්දියාවේ අත්දැකීම් රී ලංකාවට අප කෙසේ අදාළ කර ගත යුතුද?

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

One thought on “සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්”

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.