පිස්සු හරක්

ඉන්ද්රරතන නම් හාමුදුරුනමක් ගව ඝාතනයට හා බෞද්ධාගමිකයන් වෙනත් ආගම් වලට හරවා ගැනීමටත් විරුද්ධව තමන්ගෙ සිරුරට වෙසක් දවසේ ගිනි තබාගෙන රෝහලේ දී මිය ගිය කතාව මේ වෙනකොට ප්රසිද්ධ ප්රවෘත්තියක්. මේත් එක්කම විමල් වීරවංශ හා සිංහල රාවය සංවිධානය දැන්වත් ගව ඝාතනය නවත්වන්න කියල සද්දයක් දාන එකත් ප්රසිද්ධ කරුණක්.
මිනිස්සු සිය දිවි නසාගන්නවට මගේ විරුද්ධත්වයක් නැහැ. මිනිහෙක් මැරෙනවාට කැමති නැති උනත්, මැරෙන්න යන මිනිහෙක් බේරගන්න උත්සහ කළත් සියදිවි නසාගන්න එක වැරද්දක් විදිහට මම දකින්නැහැ. ජීවිතයේ සමහර අවස්ථාවන් එන්න පුලුවන් ප්රශ්න වලින් ගැලවෙන්න තියන එකම ක්රමය ජීවිතය අතඇරලා දාන එක වෙන. අන්ත දුකින් ජීවත් වෙන මනුස්සයෙක් තමන්ගේ ළග අය වෙනුවෙන් කොහමහරි ඒ දුක දරාගෙන ජීවත් වෙන්න ඕන වගේ කතා අසාධාරණයි. ඒ වගේම සියදිවි නසාගන්න එක පාපයක් කියල හිතන එක මෝඩකමක් (මට අනුව ).

ඒත් මනුස්සයෙක් දේශපාලන ප්රකාශනයක් විදිහට සියදිවි නසාගනිද්දි අහන්න ඕන ප්රශ්නයක් තියනව. ඒ තමයි එම ක්රියාව ඒ මනුස්සයගේ අනිත් විශ්වාස වලට අනුකූලයි ද පටහැනියිද කියන එක. මේ පණ නහගත්තේ ස්වාමින්වහන්සේ නමක්. බෞද්ධ විශ්වාසයන්ට අනුව සියදිවි නසාගැනීම පාපයක්. එක මිනිහෙක් මරල මිනිස්සු සීයක් බේරගන්න පුලුවන් උනත් බෞද්ධ විශ්වාසයට අනුව ඒ එක මිනිහා මැරීම පාපයක්. ඉතින් තමන්ගේ විශ්වාසයන්ට අනුව දැන දැනම වැරදි දෙයක් කරන මනුස්සයෙක් ගැන මොනවද අපි හිතන්න ඕන?

ඊට වඩා වැදගත් ප්රශ්නේ තමයි මිනිස්සු මේ සිද්ධිය පාවිච්චි කරන්නෙ මොනවටද කියන එක. විමල් විරවංශ හා සිංහල රාවය ගව ඝාතනයට විරුද්ධව කතා කරනව. ඒත් කාටද හිතන්න පුලුවන් මේ මිනිස්සු මේ කෑගහන්නේ සත්ව කරුණාවෙන්ද කියන එක. ගව ඝාතනයට විරුද්ධ වෙනෙ එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒත් ඒ විරුද්ධ වෙන මිනිස්සු විරුද්ධ වෙන්නේ කුමන අරමුණකින්ද කියන එක ඉතා වැදගත්. මෙතන ප්රශ්නේ සත්ව හිංසනය නම් මාළු මරණ එකත් සත්ව හිංසනයක්. ඒ වගේම අලි ඇතුන්ව පෙරහැරේ අරන් යන එකත් සත්ව හිංසනයක්. ඒත් ඌරන් මරණ එක මතකවත් නැති මේ මිනිස්සු ඇයි ගව ඝාතනයට විරුද්ධ මෙච්චර කෑගහන්නේ? මේ කෑගහන්නෙ සත්ව කරුණාවෙන් කියල හිතන්න පුලුවන් ඔලමොට්ටලයෙක්ට විතරයි.

ඒ කොහම උනත් ගව ඝාතනය වැරදියි තමයි. නමුත් ඒක නවත්වනවනම් ඒක කරන්න ඕන මනුස්සයෙක් ගිනි තබාගත්ත හින්දවත්, තක්කඩි සංවිධානයක් කෑ ගහන නිසාවත් නෙවෙයි.
මේත් එක්කම මතක් කරන්න ඕන තව කාරණයක් තියනව. ඒ තමයි මේ වෙනකොට මේ ගිනි ගැනීමේ සිද්ධිය රූපගත කරපු ස්වර්ණාවාහිනි කැමරා ශිල්පියාව රහස් පොලීසියෙන් ප්රශ්න කරල තියනව. ගොන්කම් වලත් සීමාවක් තියෙන්න ඕන. ඔය සිද්ධිය වෙද්දි ඒ වටේටම ඕන තරම් මිනිස්සු හිටියා. ඔවුන්ගෙන් කුඩා කොටසක් විතරයි ගින්න නිවන්න උදව් වුනේ. ඒත් විඩියෝ කරපු මිනිහා විතරයි අල්ලන් ගිහින් ප්රශ්න කරන්නේ. මෙහෙම කරන්න එකම හේතුව දෙරණ ටීවී එක මේක ගැන කිය කිය කෑගහපු එකත්, මෝඩ දේශපාලකයෙක් මිනිහව අල්ලගන්න කියල කෑගහපු එකත්. මේකෙන් පේන දේ තමයි මේ රටේ තියන එකම ප්රශ්නේ නීතියක් නැතිකම විතරක් නෙවෙයි, නීතිය ක්රියාත්මක කරද්දි කරන මෝඩකමුත් ලොකු ප්රශ්නයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න