රට යන අත

දැන් දැන් ලංකාවේ සිදු වන දේ දෙස බැලූ විට රටේ අනාගතය පිලිබඳ ඇති වන්නේ මහත් අවිනිශ්චිත භාවයකි. රට හමුවේ තිබු විශාලතම ප්‍රශ්නය විසදීමත් සමගම තවත් ප්‍රශ්න රැසක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ආණ්ඩුවේ ඇතැමුන්ගේ ක්‍රියා රට අවුල් ජාලයක් කරන  අතර  සමස්ත විපක්ෂයම රටට ශාපයක් වී ඇත. මේ පිලිබඳ කතා කිරීමෙන් කිසිදු පලක් නැති බව දනිමි. නමුත් රටේ සිදු වන දේ දෙස බලමින් ඇස කන පියාගෙන සිටීම නිවට කමක් සේ හැගෙන බැවින් මේ අයුරින් වත් මේ පිලිබඳ හඬක් නැගීමට සිතු වෙමි.

රටක දියුණුව කෙරෙහි බලපාන ප්‍රදානතම සාධකය වෙන කිසිවක් නොව දේශපාලනය නමැති සාධකය යි. රට පිලිබඳ නිවැරදි තීරණ ගැනීමට සහ ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට නම් දේශ හිතෛෂී ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතු අතර ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීමට සහ ආණ්ඩුව මගින් රටේ දියුණුව උදෙසා කරනු ලබන කාර්යන්හිදී ආණ්ඩුව ත් සමග එක්ව ක්‍රියා කරන දේශ හිතෛෂී ප්‍රභල විපක්ෂයක් ද තිබිය යුතුය. ඒ අනුව රටක  ආණ්ඩුවට වඩා වගකීමක් දරන්නේ රටේ විපක්ෂයයි. ඒ අයුරින් බැලූ කල ශ්‍රී ලංකාවට දැන් අත්‍යවශ්‍ය ම දෙය වී ඇත්තේ බුද්ධිමත් ප්‍රබල විපක්ෂය කි.මන්දයත් වත්මන් විපක්ෂය, තමන්ගේ ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න විසදා ගැනීමට රටේ දුප්පත් මහ ජනයා සහ ඔවුන්ගේ අසරණ භාවය  යොදා ගන්නවා මිස මහජනයා ගේ  දැවෙන ප්‍රශ්න පිළිබඳව ඔවුන්ගේ කිසිදු තැකීමක් නොමැති බැවිණි. එමෙන්ම ඔවුන් සිදු කරනු ලබන දේ පිළිබඳව බැලීමේදී නොදරුවෙකුට වුව ද තේරුම් ගත හැකි දෙය වන්නේ මේ වන විට විපක්ෂය , ආණ්ඩුව විසින් කරනු ලබන සියලු කාර්යන්ට  විරුද්ධ වෙමින් තමන් ට අද අහිමිව ඇති දේශපාලන බලය නැවත ලබා ගැනීමට උත්සාහ කරන බවයි. මෙය මෙවර අයවැය ඉදිරිපත් කිරීමටත් ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවෙන් නැගිට යාමෙන් ඔවුන් රටේ ජනතාවට හොඳින් පෙන්වා දුනි.

කව්රු කුමක් කීවද ශ්‍රී ලංකාව මේ වන විට වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වී හමාරය. මෙය අකමැත්තෙන් වුවද බටහිරයන් පිළිගෙන ඇති මුත් තවමත් මෙරට විපක්ෂය පිළිගෙන නැත. එමෙන්ම මෙය ආණ්ඩුවේ කෙරුවවක්ද නොවන අතර, රට අවුළුවා ලූ කුරිරු බෙදුම් වාදය දුරු කිරීමෙහි ප්‍රතිපලයක් පමණකි.  එබැවින් මෙහි නියම ගෞරවය හිමිවිය යුත්තේ යුද්දය අවසන් කිරීමේ තිර අධිටනින් ක්‍රියා කල ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ත්‍රිවිධ හමුදාවටත් මෙන්ම නිවැරදි තීරණ ගත රටේ ජනතාවටය. කෙසේ වෙතත් තවමත් යුද්දය අවසන් වී නොමැති බව නම් මනාව පැහැදිලි වේ. මන්දයත් රටින් එපිට සිටින එල්ටීටීඊ නඩය ගසන ගසන පදයට නටන ඇමරිකාව ප්‍රමුක බටහිර කුහකයන් විසින් රට නැවතත් ගල් යුගයට යැවීමට උත්සාහ කරන බැවිනි. මේ සඳහා මෙම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කර ඇති ප්‍රධානතම අවිය වන්නේ මානව හිමිකම්ය.  මෙම තත්වය ඇත්තෙන්ම අප මහත් සැලකිල්ලක් දැක්විය යුතු තත්වයක් වුවද මහජනයා මේ කෙරෙහි දක්වන්නේ ඉතාමත් අල්ප වූ අවදානයක් වීම කණගාටුවට කරුණකි. බටහිරයන් තිරිසන් ලෙස මානව හිමිකම් කඩ කරමින් මානුෂිය මෙහෙයුමක් තුලින් ලොව විශාලතම ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කල රාජ්‍යයට විරුද්ධව සිදු කරන මෙම අභූත චෝදනා පිලිබඳ මෙරට ට මහජනයා මිට වඩා දැනුවත් විය යුතු අතර බුද්ධිමත් සංවාදයක් ඇති විය යුතු ය. නමුත් කණගාටුවට කරුණ නම් ජාත්‍යන්තරය මදිවාට විපක්ෂයත් ආණ්ඩුවට මෙම චෝදනාවම එල්ල කිරීමය. චෝදනා එල්ල කලාටද කම් නැත. රටේ ප්‍රශ්ණ පිලිබඳ රට තුල හඬක් නැගීම විපක්ෂය විසින් කල යුතු කාර්යකි. නමුත් රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාම මන්ද බුද්ධිකයින් මිස  සිහි බුද්ධියක්  ඇති කිසි වෙකුත් අනුමත නොකරනු ඇත. මන්දයත් යම් හෙයකින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් යම් බලපෑමක් එල්ල වුවහොත් එයින් බට කන්නේ ද රටේ මහජනයා ම වන බැවිනි. රටේ ප්‍රශ්න රටින් පිටතට ගෙනියන්නවුන් පිළිබඳව මිට වඩා සැලකිලි මත් විය යුත්තේ එබැවිනි.

සරත් ෆොන්සේකා මහතා සිර ගත කිරීම වෙනමම සාකච්චාවට බදුන්විය යුතු කරුණකි. ආණ්ඩුව විසින් කරන ලද ඉතාමත් මෝඩ ක්‍රියාවක් ලෙස මෙය දැක්විය හැක්කේ දේශපාලනික වශයෙන් ෆොන්සේකා මහතාගේ ඇති නොහැකියාව ඔහු විසින් ම පෙන්වමින් සිටින බැවිනි. සිරගත කොට සිටි කාලය තුලදී ඔහුගෙන් ආණ්ඩුවට  සිදු වූ හානිය ඔහු නිදහස්ව සිටිමින් කලහැකි හානියට වඩා බෙහෙවින් විශාලය. ඒ ඔහුගේ හැකියාව නිසා නොව මහජනයාගේ අනුකම්පාව දින ගැනීම නිසා ය. නමුත් හමුදාපති වරයා වශයෙන් ඔහුගෙන් සිදු වූ කාර්යභාරය ඇගයීමට ලක් නොවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ලජ්ජා විය යුතු තත්වයක් ලෙස සඳහන් කල යුතුය. නමුත් දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීමට පමණක් කටයුතු කරයි නම් ඔහු පිළිබඳවද සැලකීමට සිදු වන්නේ ගෙවනු ලැබූ වැටුපට සේවය කල හමුදා නිලධාරියෙකු වශයෙන් පමණකි. කෙසේ වෙතත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපයෙන් වාසි සැලසෙන්නේ රටේ විපක්ෂයේ සිටින දේශපාලන ප්‍රභලයන් අතලොස්සකට පමණක් වන බව ඔහු මෙන්ම මේ රටේ සිටින බුධිමත් ජනතාවද තේරුම් ගත යුතු ය. රටේ ජනාධිපති වරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තේරී පත්වීම මෙන්ම හමුදාපති වරයා ලෙස ෆොන්සේකා මහතා පත්වීමද රටේ භාග්‍යයට සිදු වූ දේ බව මාගේ හැඟීමයි.  මෙහිදී රාජපක්ෂ ජනාධිපති තුමාද තේරුම් ගත යුතු වැදගත් දෙයක් තිබේ. එයනම් ශ්‍රී ලංකා කාරයා කවදත් ශ්‍රී ලංකා කාරයාම බවත් යූඑන්පි කාර්ය කැපුවත් සැමදා කොළ බවත්  ය. මෙහි අර්ථය එතුමා බලයට ගෙන ඒමට හේතු වුයේ රට ගැන හිතන මැදිහත් මත දරන මිනිසුන් ගේ චන්ද බවය. යම් හෙයකින් මෙම පිරිස ආණ්ඩුව පිලිබඳ කළකිරිම ට පත් වුවහොත් ආණ්ඩු පෙරලීම මොවුනට ඒ හැටි දෙයක් නොවනු ඇත. රටේ විපක්ෂය දුර්වල බැව් සිතාගෙන ඕනෑ ඕනෑ දේ කිරීමේ හැකියාවක් නොමැති බව වටහා ගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ දිගු පැවැත්මට හේතු වනු ඇත.

Leave a comment