කම්මනා වසලෝ හොථි.. කම්මනා හොථි බ්‍රාහ්මණො..

ලේඛකයා පසුගිය අවු. 2-3 ඇතුලත උගත් වැදගත්ම දෙය ඕනෑම මිනිස් කුලකයක් සමන්විත වන්නේ අඩු වැඩි වශයෙන් හොඳ නරක ගුණාංගයන්ගෙන් යුතු වන්නන්ගෙන් බවයි. කිසිසේත්ම කිසියම් මිනිස් කුලකයක් සම්පූර්ණයෙන්ම ආර්ය හෝ පිරිසිදු වන්නේ නැත. එමෙන්ම එනයින් කිසියම් මිනිස් කුලකයක් සම්පූර්ණයෙන්ම අපිරිසිදු පිළිකුල් කටයුතු වන්නේද නැත. මෙය ඕනෑම රටකට, ජාතියකට, වෘත්තියකට, ආගමකට පොදු ලක්ෂණයක් ලෙස ලේඛකයා දකියි.  තමන් ආර්ය පිරිසිදු මිනිස් කොටසක් යැයි කියාගන්නෝ ලොව සැමදා සිටියහ, සිටිති. එය සත්‍යය වන අවස්ථාවන් බුදුන් වහන්සේ කෙනෙක් තම බුද්ධත්වය ප්‍රකාශ කරන අවස්ථාව, රහතන් වහන්සේ කෙනෙක් තම රහත් බාවය ප්‍රකාශ කරන අවස්ථාව වැනි ඉතාම විරල අවස්ථාවන් වේ.  වැඩි මනත්ම තමන් ආර්ය පිරිසිදු මිනිස් කොටසක් යැයි කියාගන්නන් ලෝකය වෙත ගෙන ආවේ සාමය සෞභාග්‍ය නොව යුද්ධය හා විනාශයයි. ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මන් ජාතිකයන් පිරිසිදු ආර්ය ජාතිකයන් බවත් නිල් ඇස් ඇති යුදෙව්වන් පිළිකුල් කටයුතු පහත් එවුන් බවත් කියමින් පටන් ගත් ජර්මනිය පිරිසිදු කිරීමේ ව්‍යාපාරය අවසානයේදී නැවතුනේ මිලියන 60කට අධික මිනිස් සංහාරයකින් බව අප සැවොම දනිමු. පැරණි ඉංදියානු බමුණන් විසින් ඉගැන්වූ කුලය පිළිබඳ සංකල්පය අදටද ඉංදියානු ජන සමාජයට කර ඇති හානිය සුලු පටු නොවේ. මිනිසුන්ගේ සමේ වර්ණයේ වෙනස්කම් පාදක කරගෙන එදා මෙදා තුර ඇතිවූ යුධ ගැටුම් වලින් මිය ගිය සංඛ්‍යාව ඉතා විශාල අගයක් ගනියි. මෙසේ කිසියම් මිනිස් කොටසක් විසින් තම ආගම, සමේ වර්ණය, කුලය, ජාතිය අනෙකාගේ ආගමට, සමේ වර්ණයට, කුලය, ජාතියට වැනි නොයෙක් ලක්ෂණයන්ට වඩා උසස් යයි කියාගනිමින් ආරම්භ වූ යුධ ගැටුම් වලින් ලෝක ඉතිහාසය පිරී පවතී. අදටද එවැනි ගැටුම් වලින් කිසිසේත්ම අඩුවක් නැත. නමුත් මෙම වැදගත් කරුණ එතරම් සමාජයේ අවදානයකට ලක්ව ඇති බවක් නොපෙනෙයි. මෙම ඉතාම වැදගත් එමෙන්ම ඉතාම සරල තත්වය අප සමාජයට කොතරම් දුරට අමතක වී හෝ අමතක කරවා ඇතිදැයි අප බෞද්ධ සංඝ සමාජය ඇසුරින් පැහැදිලි කිරීමට ලේඛකයා බලාපොරොත්තු වෙයි. ලිපිය ආරම්භයේදීම  ලේඛකයා බෞද්ධයෙක් වන අතර බුදුන් වහන්සේ සත්ත්වයාගේ පැවැත්ම හා සංසාර නමැති නොනවතින චක්‍රයෙන් ඉවත්වන ආකාරය ගැන දැක්වූ අදහස් විශ්වාස කරන බව අවදාරනය කරයි.

උදාහරණයක් ලෙස පසුගිය වසරේ(2011) ලංඩන් තේම්ස් විහාරාදිපති ධුරය දැරූ පහළේගම සෝමරතන චීවරධාරියාට එරෙහිව ඉදිරිපත්වූ බාල වයස්කාර දැරියන් කිහිපදෙනෙක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා හා ඒ ආශ්‍රිත සිද්ධි ගනිමු (පසුව ඔහු මෙම චෝදනාවලට වැරදිකරු විය ).   මෙම කරුණ අරබයා සංෂිප්තයක් පහත යොමුවෙන්

http://www.thesundayleader.lk/2012/05/06/pedophile-buddhist-sanghanayaka-of-great-britain-and-the-sri-lankan-media/

මෙම සිද්ධීන් සිදුවී තිබුණේ 1977, 1978 හා 1985 යන වර්ෂ වලදීය. නමුත් මෙම කාන්තාවන් (එවකට වයස අවු. 10, 16, 14 වයස් වල පසුවූ බාල වයස්කාර දැරිවියන්) 2010 වසර වන තෙක් මේ සම්බන්ධයෙන් කට ඇරියේ නැත්තේ මන්දැයි  යන්න මෙහිදී පැන නැගුනු ප්‍රධාන ප්‍රශ්නයක් විය. මෙහිදී එක් කාන්තාවක් ලබාදුන්  පිළිතුර බොහෝදෙනාගේ අවදානයට ලක් විය. ඇයගේ පිළිතුරේ අදහස වූයේ මේ සම්බන්ධයෙන් නීතිය හමුවට ඒමත් සමග මෙය ප්‍රසිද්ධ වන බවත් එයින් තමන්ගේ පියා ඉමහත් සිත් තැවුලට පත් වීමට ඉඩ තිබුණු බවත් එම නිසා තම පියා මිය යන තෙක් මේ සම්බන්ධයෙන් නීතිය හමුවට ඒමට සිටි බවත්ය.

සමාජය විසින් ගරු පුද සත්කාර කරන චීවරධාරීන් අතරද සාමාන්‍ය මිනිසුන් අතර මෙන්ම ශ්‍රේෂ්ඨ ගති පැවතුම් ඇති අයවලුන් මෙන්ම ඉතාම පහත් සමාජයට අහිතකර අයවලුන්ද සිටින බව ඉහත සිද්ධි දාමය සාක්ෂි සපයයි. නමුත් මෙම කරුණ අප සමාජය සැළකිල්ලට ගෙන ඇත්ද? කිසිසේත්ම නැත. අප සමාජය චීවරයක් දරාගත් ඕනෑම පුද්ගලයෙක් සාරිපුත්ත, මොග්ගල්ලාන හිමිවරුන් නියෝජනය කරන නිර්මල මනුෂ්ය්‍ය කොට්ඨාෂ්‍යයක් ලෙස කුඩා දරුවන්හට උගන්වයි. බෞද්ධ ආගමික දෙමව්පියෝ චීවරයක් පොරවාගත් ඕනෑම මිනිසෙක් හෝ ගැහැනියක් ඉදිරියේ තමන්ද වැඳ වැටී තම දරුවන්ට ද වැඳ වැටීමට  උගන්වති. ඔබ බෞද්ධයෙක් නම් තමන් කිසිදා දැක නැති හුදෙක් චීවරයක් පොරවා සිටි පමණින් වැඳ වැටුනු වාර ගනන සිහිපත් කරන ලෙස ලේඛකයා ඉල්ලා සිටියි. සමහර විට ඔබ එසේ වැඳ වැටුනු චීවරධාරීන් නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවල නියැලෙන්නන් බව ඔබ දැන සිටි අවස්ථා ද තිබිය හැක. ඉතින් එසේ ඔබ යමෙක් ඉදිරියේ වැඳ වැටිය යුත්තේ ඇයි දැයි කල්පනා කර බැලුවා ද?

වරක් ලේඛකයාගේ ගුරුවරයෙකුගෙන් මේ පිළිබඳව විමසා සිටි විට ඔහුගේ පිළිතුර වූයේ දුසිල් බව තමන් හොඳින්ම දන්නා චීවරධාරියෙකු ඉදිරියේ වැඳ වැටෙන්නේ තමන්ගේම මාන්නය දුරු කර ගැනීමේ අදහසින් බවයි. මෙම අදහස සුප්‍රකට තායි ජාතික  හිමිනමක වූ අජාන් චා ද තම දේශනා වලදී තම ශිෂ්‍යයන්ට යෝජනා කර සිටියි. තවද ලේඛකයාගේ ගුරුවරයා පැවසුවේ තමන් ගරු කරන හිමිනමක් ඉදිරියේ වැඳ වැටීමේදී තමන් ඉදිරියේ මේ සිටින්නේ බුදුන් ගත් මග ගත් ශ්‍රේෂ්ට මිනිසෙකුට බව හැම විටම සිහිපත් කරන බවයි.

නමුත් බොහෝ බෞද්ධයින් චීවරයක් පෙරවා ගත් ඕනෑම පුද්ගලයෙක් ඉදිරියේ වැඳ වැටෙන්නේ හුදෙක් අප බෞද්ධ සමාජයේ එවැනි සම්ප්‍රදායක් පවතින නිසාත් චීවරයට ගරුකළ යුතුයැයි මතයක් සමාජයේ තදින් මුල්බැසගෙන ඇති නිසාත්ය. මෙම අදහසින් පුද්ගලයෙකු ඉදිරියේ වැඳ වැටීමට ලේඛකයා තරයේ විරුද්ධ වෙයි.

චීවරය යනු විලි වසා ගැනීමට පාවිච්චි කරන ඇඳුමක් වන අතර බුදුන් වහන්සේ විසින් අමු සොහොනට ගෙනත් දමන ලද මළ මිනීවලින් ගත් රෙදි අමුනා ඊට පඬු පොවා හැඳ පෙරවීමට පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටියේම හුදෙක් හැඳ සිටින ඇඳුම එතරම් වැදගත් නොවන බව තම ශිෂ්‍යයින්ට උගැන්වීම් වස් බව අපට අමතක වූයේ කොතැනකදී දැයි අප නැවත සළකා බැලිය යුතු බව ලේඛකයා යෝජනා කරයි.

නොයෙකුත් සම්මා ආජීවක මෙන්ම එසේ නොවන ව්‍යාපාරයන්හි යෙදෙන, දේශපාලන කටයුතුවල නියැලෙන, නොයෙකුත් රැකියා වල නියැලෙන, ජොතිශ්‍ය කටයුතු වල නියැලෙන චීවරය දරාගත් පුද්ගලයෝ කොතෙකුත් අප සමාජයෙහි වෙති. ඔවුන්ගේත් සාරිපුත්ත, මොග්ගල්ලාන වැනි සංසාර චක්‍රයෙන් ඉවත් වීමේ තිර අරමුණින් වෙහෙස නොබලා ක්‍රියා කල අවසානයේදී තම අරමුන සාක්ෂ්‍යාත් කරගත් ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේත් වෙනස කුමක්දැයි ඔබ කල්පනා කර බැලුවාද? මෙහිදී එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් අද නැතැයි ඔබ කල්පනා කරන්නේ නම් එය වැරදි අදහසක් බව ලේඛකයා ඔබට අවදාරනය කර සිටියි. ලේඛකයාට එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනෙකුම මුන ගැසී ඇති බැවිනි. බුදුන් වහන්සේ දැරූ චීවරය දරාගෙන සංසාර චක්‍රයෙන් ඉවත් වීමට තම හැකි පමණින් වෙර වෑයම් කරන්නෙක්ම සන්ඝයා වහන්සේ නමක් ලෙස ලේඛකයා දකියි.  චීවරයක් දරන ඕනෑම පුද්ගලයෙක් ඔවුන් හැඳ පෙරවන චීවරයෙන් තොරව හුදෙක් එම චීවරය පිටුපස සිටින පුද්ගලයා ගේ ගති ගුනම සැලකීම වැදගත් බව ලේඛකයා ඔබට යෝජනා කර සිටියි.

ලේඛකයාගේ අදහස අනුව අප කිසිවෙක් සමඟ ඇසුරු කළ යුත්තේ(වෘත්තීය ඇසුරක් මෙහිදී අදහස් නොකෙරේ) ඔහු හෝ ඇයගේ රට, ජාතිය, කුලය, ශරීර වර්ණය, නියැලෙන වෘත්තිය ආදී ඔහු හෝ ඇය අයත් වන කුලකයක් සළකා නොවේ. හුදෙක්ම අදාල පුද්ගලයාගේ ගතිගුනම සළකා ඇසුරු කළ යුතු බව ලේඛකයාගේ අදහසයි.

“කිසිවෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් නොවේ. ක්‍රියාවෙන්ම හේ වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් වේ” යන බුදු වදන ලේඛකයා ලිපිය අවසන් කරමින් ඔබට සිහිපත් කරයි .

Leave a comment