අද ක්‍රිකට් පිටිය (ජූලි 25)

ශෙවාග් - DRS වල මුල්ම ගොදුර

ශෙවාග් – DRS වල මුල්ම ගොදුර

DRS ආගමනය ගැන පසුගිය දින දෙකේදීම කතා කළා මතක ඇතිනෙ. ඒ කතාබහ තවම ඉවර නැහැ. ඉන්දීය පළමු ඉනිමේදී DRS මගින් විනිසුරු තීරණයක් වෙනස් කිරීමෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත වෙන්නට විරේන්ද්‍ර ශෙවාග් හට සිදුවුණා. එහිදී ශෙවාග් දැවී ගියේ මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. කෙසේ වෙතත් මෙය දැඩි ලෙස විවාදයට ලක්වූ තීරණයක් වුණා. ඉන්දියාව මෙම තරගයෙන් දරුණු පරාජයට ලක්වූ අතර අදටත් DRS ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියාව ගෙන ඇති තීරණයට ඔවුන්ගේ මෙම මුල්ම අත්දැකීම හේතු වන්නට ඇති.

ඉතිහාසයේ පැවති 2000 වන ටෙස්ට් තරගය අවසන් වූයේ 2011 අද වැනි දිනක. ලෝඩ්ස් හිදී එංගලන්තය හා ඉන්දියාව අතර පැවති මේ තරගයෙන් සත්කාරක එංගලන්තයට හිමිවූයේ ලකුණු 196ක පහසු ජයග්‍රහණයක්. කෙවින් පීටර්සන් නොදැවී රැස්කළ ද්විත්ව ශතකය මෙහිදී කැපී පෙනුණා.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙකු වූ මොන්ඩේ සොන්ඩෙකිගේ උපන්දිනය යෙදී ඇත්තෙත් අදටයි. බොහෝ ක්‍රිකට් ලෝලීන් සොන්ඩෙකි හඳුනන්නේ නැතත් ඔහු තම පළමු එක්දින තරගයේ පළමු පන්දුවෙන්ම මාවන් අතපත්තු දවාගනිමින් කළ දස්කම අමතක කරන්න බැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න