ඇතිතරම් නැති දේවල්…

එදා මමත් සෙයිනුත් හිටියේ ආරාමේ වහලේ හෙවිල්ලමින්… අත් උදව්වට ගම්මානෙන් අඬගහගත්තු තරුණයාට ඕනේ වෙලා තිබුනේ මුළු වහලෙම අලුතින් හෙවිල්ලන්න… අවාසනාවකට අපි ගාව  එකතුකරගෙන තිබුණ පාම් අතු තොගේ මුළු වහලෙටම සෑහුනේ නැහැ…

“අපරාදේ සෙයින්… මේ යාලුවත් ඉන්න නිසා අපිට කළුවර වැටෙන්න කලින් වහලෙම හෙවිල්ල ගන්න තිබුනා ඇතිතරම් පාම් අතු තිබුණානම්…”

මම කියද්දී සෙයින් හිනාවුනා…

“ඇතිතරම් කියන්නේ හරි අපූරු වචනයක්… සමහරුන්ට මේ ලෝකේ කිසිදෙයක් ඇතිතරම් නැහැ… ඇතිතරම් වෙලාව නැහැ… ඇතිතරම් සල්ලි නෑ… ඇතිතරම් විවේකයක් නෑ… නමුත් ඒ දේවල් ඊටත් අඩුවෙන් තියෙන තව සමහරුන්ට ඇතිතරම් වෙලාවත් ඇතිතරම් සල්ලිත් ඇතිතරම විවේකයත් තියෙනවා… මම හිතන්නේ ඒ ගොල්ලන්ගේ රහස තමයි ඇතිතරම් නැති එක ගැන දුක්වෙන්නේ නැතුව තියෙන ටිකෙන් කරගත්තු දේ ගැන සතුටු වෙන එක… සමහරවිට ඒ සතුටම එයාලට ඇතිතරම් හැමදේම ලබාදෙනවා ඇති…”