අවසන් ප්‍රථිපලය…

වැස්ස දවස්වල ආරාමය ඇතුලෙම ඉන්න පුරුදුවෙලා හිටිය සෙයින් ඒ වගේ කාලෙක මට වූල් වලින් ඇඳුම් ගොතන හැටි ඉගැන්නුවා…අපිට කඩමණ්ඩියෙන් ඊලඟ බඩුතොගය එනකොට ඇතිවෙන්න වූලුත් ගොතන කටු කිහිපයකුත් ගෙන්නගන්න මම අමතක කලේ නැහැ…

වැහිකාලේ ඉවරවෙන්න ළංවෙද්දී මම ගොතලා ඉවරකරපු සීත ජැකට්ටුව සෙයින්ට තෑගිදෙන්න මම හිතුවා…

“අපූරුයි..!” හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න සෙයින්ගේ මූන එදා වෙනදටත් වැඩිය එලිය වැටිලා තිබුනා..

“මට හරි සතුටුයි සෙයින්… මට ඕනේ වුනේ වැහිකාලේ ඉවරවෙන්න කලින් මේක ඉවර කරන්න… ඒ විදියටම මට කරගන්න පුලුවන් වුනා…”

“ඒ කියන්නේ වැහිකාලේ ඉවරවෙන්න කලින් මේක ඉවරකරගන්න බැරිවුනානම් සතුටු වෙන එකක් නැද්ද…?”

“ඔව්… ගොඩක් දුරට… ඇයි සෙයින් එහෙම ඇහුවේ…?”

“අරමුණකට වැඩ කරද්දී ඒකේ අවසන් ප්‍රථිපලය මත සතුටක් ලැබෙන එක සාධාරණයි… ඒත් මතක තියාගන්න සතුට තියෙන්නේ එතැන විතරක් නෙමෙයි… ඒ අරමුණ වෙනුවෙන් වෙහෙසෙන හැම තත්පරයකමත් සතුට තියෙනවා… අරමුණ ඉටුකරගන්නවාට අමතරව ඒ වෙනුවෙන් වෙහෙසෙන මුළු කාලයම සතුටින් විඳින්න පුළුවන්නම් අවසන් අරමුණ ඉටුකරගන්න බැරිවුනත් ඒ වෙනුවෙන් ගතකල කාලය ගැන ඔබට සතුටක් ඉතිරිවේවි…”