යහපාලනය සහ අධ්‍යාපනය.

යහපාලනයට අදාලව අධ්‍යාපනය පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමේ දී පීලි පැනිම් වලින් වැළකීමට නම් යහපත් පාලනය යන්න යන්තමින් හෝ අර්ථ ගන්වා ගත යුතුය.

  • අප යහපාලනය යනුවෙන් අර්ථ දක්වන්නේ ලාභය මූලික කරගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම සදහා අවශ්‍ය උපරිම සහන සැපයීම මත පදනම් වූ පාලන ක්‍රමයක් නම් අධ්‍යාපනය ඊට අනුකූල වනු ඇත.
  • පෘතුවි ගෝලයට ද පෘතුවි ජීවීන්ට ද වඩා යහපත් ජීවිතයක් ගොඩනැගීම  සඳහා වන අවශ්‍යතාවන් සපුරාලීම පදනම් කරගත් පාලන ක්‍රමයක් ‘යහපාලනය’ ලෙස අප හඳුනාගන්නේ නම් අධ්‍යාපන ක්‍රමය ද ඒ හැඩරුවම ගනු ඇත. එය ම පෝෂණය කරනු ඇත.

මෙම අර්ථයන්ගෙන් ගත් කළ අධ්‍යාපනය යනු පාලන ක්‍රමයේ මෙවලමක් ලෙස සනිටුහන් කළ හැකිය. පාලන ක්‍රමයේ පැවැත්මට හා සංවර්ධනයට අධ්‍යාපනය බලපාන්නේ කවර ප්‍රමාණයෙන් ද යන්න නිශ්චය කිරිමට නම් අධ්‍යාපනයට දී ඇති අවම නිර්වචනය ද, අධ්‍යාපනයට පවරා ඇති කර්යභාරය ද යන්තමින් හෝ හඳුනාගත යුතුය.

  • ‘අතීතය සතු දැනුම්, කුසලතා, ආකල්ප සම්භාරයන් වඩා වර්ධනය කරමින් වර්තමානය හරහා අනාගත මිනිසා වෙත පවරන ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි.’
  • ‘ලෝකය අත්විඳිමින් අනාගත අභියෝග ජයගැනීමට සමත් පරිපූර්ණ පෞරුෂත්වයකින් හා ශීලාචාරකමකින් යුතු ගෝලීය මානවයා බිහි කිරීම අධ්‍යාපනයේ වගකීමයි.’

මෙම නිර්වචන දෙක පමණක් වුවද සැලකිල්ලට ගත් විට ඕනෑම පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමේ අති ප්‍රබල මෙවලමක් ලෙස අධ්‍යාපනයට හිමි ස්ථානය පිළිගැනීමට අපට සිදුවනු ඇත. අධ්‍යාපනය පවතින පාලන ක්‍රමයේ ප්‍රබලතම මෙවලමක් ලෙස අප පිළිගන්නේ නම් සමාජ දේහයේ පවතින සියලු යහපතකට මෙන්ම අයහපතකට ද ‘අධ්‍යාපනය’ ප්‍රබල ලෙස වගකිව යුතු බව අපට පිළිගැනීමට සිදුවනු ඇත.

අප සංවාදය ආරම්භ කරන්නේ ඉහත කරුණු මත පදනම්ව නම් වර්තමාන සමජයේ පවතින අභ්‍යාවකාශය ජයගනිමින් සයිබර් අවකාශයේ පෙරලි කිරීම්වලට ද, නව සොයාගැනීම්වලට  ද, මිනී මැරීමට ද, මං පැහැරීමට ද, ස්ත්‍රී දූෂණය කිරීමට ද, දූෂණය- වංචාව -අල්ලස රජ කරවීමට ද ‘අධ්‍යාපනය’ ඒකාකාරීව සේවය කර ඇති බව අප පිළිගත යුතුව ඇත. අප එසේ  පිළිගන්නේ නම් එතැන් පටන් පවතින අධ්‍යාපනය ද අධ්‍යාපන ක්‍රමය ද නිර්දය ලෙස විවේචනය කිරීමට සිදුවනු ඇත. එහි ඇති ක්ෂාරය උරා ගනිමින් විකල්ප අධ්‍යාපන ක්‍රමයක් සමාජගත කිරීමට අපට සිදුවනු ඇත. ඒ සඳහා අවශ්‍ය උපාය, උපක්‍රම හා ක්‍රියාකාරකම් සංවාදයට බඳුන් කිරීමට අපට සිදුවනු ඇත. ඒ ඔස්සේ නූතන සමාජයේ පවතින සාධනීය නොවන හර පද්ධතීන් බිඳ දැමීමට මෙම සංවාදය හේතු විය යුතුය.

අපේ සංවාදය කුමක් සඳහාද?

යහපාලනයක් ගොඩනැගිය හැක්කේ ශීලාචාර මිනිසුන් ඇති විටයි. යහපාලනයක් ගොඩනැගිය හැක්කේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඇති විටයි. එබැවින් ‘යහපාලනය’ පිළිබඳ සංවාදය මතු කිරීමට පෙර,  පවතින සමාජයේ තත්වය පිළිබඳ මොහොතක් සිතා බැලීම වටී.

වර්තමාන සමාජය දෙස විමර්ශනාත්මක ව බලන කල, රටේ ඉහළම පාලකයිනගේ පටන් අන්ත දුගී සිඟන්නා දක්වා සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයම මහත් අගාධයකට ඇදවැටී ඇති බව අපගේ අදහසයි. දිනපතා පුවත්පතක් දෙස අවධානය යොමු කිරීම පමණක් වත්මන් සමාජය කෙතරම් දූෂණය වී ඇත්ද යන්නට සාක්ෂි සපයයි. ශ්‍රී ලංකාවෙන් එහා ගොස් සමස්ත මිනිස් සමාජය ගැන සලකා බැලුවද තත්වය  එසේමය. එබැවින් යහපාලනයක් ගොඩනැගීමට නම් මිනිසුන් ශීලාචාර කරන, ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකරන අධ්‍යාපනයක් දරුවන්ට ලබාදිය යුතුය. පුද්ගල ශීලාචාරකම ද සමාජ ශිෂ්ට සම්පන්න භාවය ද බිඳ දමන සමාජ සංස්කෘතීන්ට අභියෝග කරමින් නව සංස්කෘතීන් බිහි කිරීමට සමත් අධ්‍යාපනයක් දරුවන්ට ලබාදිය යුතුය. පුද්ගල ශීලාචාරකමේ හා සමාජ ශිෂ්ට සම්පන්න භාවයේ නූතන නිර්නායකයන් ප්‍රශ්න කරමින් නව මානයක් වෙත යොමු කරන ප්‍රචාරන ජාලයක් ගොඩනැගීමට සමත් අධ්‍යාපනයක් දරුවන්ට ලබාදිය යුතුය.

නූතන අධ්‍යාපනයේ පදනම

වර්තමාන ලෝකය සම්පූර්ණයෙන්ම වාගේ වාණිජකරණය වූවකි. රාජ්‍යයක පැවැත්මේ පටන් සෑම දෙයක්ම තීරණය වන්නේ භාණ්ඩ හා සේවා අලෙවිය සහ මිල දී ගැනීම යන සාධක දෙක පදනම් කරගෙන ය. එනම්, නූතන ලෝකය පවතින්නේ ම ක්‍රය ශක්තිය මතයි. එසේනම්, එවන් ලෝකයක සුවබර දිවියක් ගත කළ හැක්කේ ‘භෞතිකව සහ ආර්ථිකව’ පොහොසත් අයෙකුට පමණි.

මේ අනුව, නූතන අධ්‍යාපනයේ පදනම ගොඩනගා තිබෙන්නේ ම ;

  1. මානවයා සතු ක්‍රය ශක්තිය වර්ධනය කිරීම
  2. භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ උනන්දුව වර්ධනය කිරීම
  3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම
  4. භාණ්ඩ හා සේවා අළෙවිය වර්ධනය කිරීම

යන කරුණු හතර පදනම් කරගත් තරඟය හා ලාභය මත ය.

තරඟය ලාභය සහ යහපාලනය

ලාභය සඳහා වන තරඟය පදනම් කරගත් සමාජයක් තුළ වැඩෙන මානවයා සෑම මොහොතක ම කල්පනා කරන්නේ තරඟය ජය ගැනීමට ය. ලාභය උපරිම කර ගැනීමට ය. තරඟ ජය ගැනීම හා ලාභ උපරිම කර ගැනීම ජීවිතයේ අත්තිවාරම කර ගනිමින් වැඩෙන මානවයා වැඩිහිටියෙකු වූ පසුව හඳුනන්නේ ද, පුරුදු පුහුණු වී තිබෙන්නේ ද, ඇබ්බැහි වී තිබෙන්නේ ද තරඟ ජය ගැනීමට ම පමණි. ලාභ උපරිම කර ගැනීමට ම පමණි. තරඟ ජය ගැනීමටත්, ලාභ උපරිම කර ගැනීමටත් ඇබ්බැහි වූ මව් කුසයක් තුළ උපදින දරුවාද උපතේ පටන්ම පුරුදු පුහුණු වන්නේ ද, අබ්බැහි වන්නේ ද තරඟකාරීව ලාභ උපරිම කර ගැනීමටයි. තරඟකාරීව ලාභ උපරිම කර ගැනීම සඳහා කෙසේ හෝ ජය ගැනීමටයි. කෙසේ හෝ ජය ගැනීම සඳහා ඕනෑ ම අයෙකු ඕනෑ ම ආකාරයකින් පරාජය කිරීමටයි. තම ලාභය උපරිම කරගැනීම සඳහා ඕනෑ ම අයෙකු ඕනෑ ම ආකාරයකින් පරාජය කිරීමට අබ්බැහි වූ, තම ජයග්‍රහණය උදෙසා නොකළ හැකි කිසිවක් ම නොමැති වූ සමාජයක් තුළ ‘සාධාරණ තරඟයක්’ පිළිබඳව කතා කිරීම මිථ්‍යාවක් නොවේද? ..  ‘සාධාරණ තරඟයක්’ පිළිබඳව කතා කරමින් ඕනෑ ම ආකාරයකින් කෙසේ හෝ ජය ගැනීමට කටයුතු කරන සමාජයක් තුළ ‘යහපත’ මනින නිර්ණායක මොනවාද? ඒ,..

  • ආර්ථික බලය
  • සමාජ බලය
  • නිල බලය
  • දේශපාලන බලය  ආදියයි.

මෙම නිර්ණායක සංකේතවත් කරන්නේ,

  • සුපිරි යාන-වාහන, සුපිරි නිවාස-ඉඩකඩම්, සුපිරි ඇඳුම්-පැළඳුම්,
  • සුපිරි ආහාර, රන්-රිදී-මුතු-මැණික් ඇතුළු වස්තු සම්භාරයන්,
  • සුපිරි මාර්ග හා සුපිරි ගමන් බිමන්,
  • සුපිරි ආරෝග්‍යශාලා,සුපිරි ලෙඩ රෝග සහ සුපිරි බේත් හේත්,
  • සුපිරි පාසල් සහ සුපිරි අධ්‍යාපනය,
  • සුපිරි විවේකාගාර, සුපිරි විවේක කාල හා සුපිරි විවේක ක්‍රියාකාරකම්,
  • සුපිරි පරිවාර ස්ත්‍රීන් සහ මහ පිරිස්,
  • සුපිරි සමාජ සම්බන්ධතා සහ සුපිරි සමාජ තත්වය,
  • සුපිරි රැකියා තනතුරු, සුපිරි පෙනුම සහ සුපිරි මානය

ආදිය නම් එවන් සමාජයක් තුළ මානවයාට ඇති රැකවරණය කෙබඳු වේ ද? මහා වනය තුළදී සියලු සත්තු බියෙන් හා සැකයෙන් දිවි ගෙවති. වඩා දුර්වල සත්තු වඩාත් වඩි බියකින් සහ සැකයකින් දිවි ගෙවති. ඕනෑම මොහොතක වඩා ප්‍රබල සතෙකුගේ ප්‍රහාරයක් හමුවේ දුබල සතෙකු මිය යා හැකි ය. ඕනෑම මොහොතක ඕනෑම දුර්වල සතෙකු කවර හෝ වඩා ප්‍රබල සතෙකුගේ ආහාරයක් බවට පත් විය හැකිය. ඒ පිළිබඳව කිසිවෙකුත් ප්‍රශ්න නොකරති. මේවා මහා වනය තුළ ඇති වනචාරී ලක්ෂණයෝ ය.  වනචාරී සමාජයේ ගති පැවතුම් මිනිස් සමාජයට ගෙන එමින්, වනචාරී පැවතුම් වලටත් වඩා පහත් ගතිගුණ මිනිසා සන්තක කිරීමට පොහොසත් වූ සංස්කෘතීන් ද සංකේතයන් ද නිර්ණායකයන් ද මහත් ගෞරවයෙන් හා විශ්වාසයෙන් පිළිගන්නා සමාජයක් තුළ පැවතිය හැකි ඉහළම ‘යහපාලනය’ වන්නේ, ‘ලාභය උපරිම කරගැනීම උදෙසා ඕනෑම මොහොතක ඕනෑම අයෙකු ඕනෑම ආකාරයකට මරා දැමීම සඳහා ඇති උපරිම නිදහසයි’.

මිනිස් සමාජය තුළ වර්ධනය වී ඇති මෙම වනචාරී පැවතුම්, මිනිසාගේ උත්පත්තියත් සමගම-මව් කුස තුළ කළල අවස්ථාවේ පටන් ම නැවත නැවත උත්පත්තිය ලබයි. හැදී වැඩෙයි. වැඩී වර්ධනය වෙයි. එබැවින් මෙය බිඳ දමීම ආරම්භ කළ යුත්තේ ද මව්කුස තුළින්මය. මේ සඳහා සුවිශාල ලෙස අධ්‍යාපනය දායක කරගත හැකිය. වෙනස් වන අධ්‍යාපනය ඔස්සේ මානව සංවර්ධන අවධීන්ට අනුකූලව ආධ්‍යාත්මය ම වෙනස් කළ යුතුය. පවතින සංකල්ප ඔස්සේ පෝෂණය කර ඇති ආකල්ප සංහතිය ම වෙනස් කළ යුතු ය.  ඒ සඳහා විකල්ප හඳුනා ගනිමින් භාවිතාවේ යෙදවිය යුතු ය. කුරුස-ථූප-පිළිම-දාගැබ් තුළ සිරගත කර ඇති සියලු හර පද්ධතීන් එවිට එම අධ්‍යාපනය සමඟ එකතු වනු ඇත. ඒ ඔස්සේ නව සංස්කෘතීන් ප්‍රතිනිර්මාණය වීම ආරම්භ වනු ඇත. එම නව සංස්කෘතීන් විසින් පවතින මහා සංස්කෘතිය අතික්‍රමණය කරනු ඇත. පවතින මහා සංස්කෘතිය අතික්‍රමණය  කිරීමට බාධා පමුණුවන නූතන මාධ්‍යකරණය සහ අධ්‍යාපනය බිඳ දමමින් නව මාධ්‍ය විධි ප්‍රතිනිර්මාණය වනු ඇත. විකල්ප අධ්‍යාපනය ද, විකල්ප අධ්‍යාපන ක්‍රමය ද මොහොතින් මොහොත පෝෂණය වනු ඇත. ඒ, නූතන මානවයාගේ අසීමිත කෑදරකම සංතර්පණය කිරීමට නූතන අධ්‍යාපන හා අධ්‍යාපන ක්‍රමය අපොහොසත් වී ඇති බැවිනි.

-උපාලි චන්ද්‍රසිරි-

Leave a comment

Filed under කතිකාව

Leave a comment