මරණය සොයා යන අපේ රජතුමා

Posted on January 11, 2011



මරණ ගෙවල්වල යාම රජතුමාගේ විනෝදාංශය වී ඇතැයි අපේ මිතුරෙක් කීවේ ය. ඒ රෝයල් ප්‍රින්සිපල්ගේ මෙන්ම ලංකාදීප කර්තෘගේ ද අම්මලාගේ අවමගුල්වලට රජතුමා සහභාගී වූ බව ඇසීමෙනි.

වැදගත් උදවියගේ අම්මලාගේ මරණ ගෙවල්වලට අමතක නොකර යාම වැදගත් උදවියගේ ලක්ෂණයක් ලෙස සළකන්නට බැරි මෙහෙම මිතුරන් ආශ්‍රය කිරීම මා වගේ වැදගත් උදවියට වටී දැයි හිතන්නට පටන් ගත් සැනින් මගේ මිතුරා නැවතත් කට ඇරියේ ය.

මෙහෙම අවමගුල් වන්දනාමාන කරන්නේ රජයේ අයවැයෙන් 60% ක් තමන් යටතේ ඇති ආයතනවලට හරවා ගෙන ඇති රජෙක් බව සිතිය යුතු නොවේදැයි ඔහු මගෙන් ඇසුවේ ය.

ඒවා නම් කවදා කොහොම වියදම් කරගන්නට බැරි ද? අවමගුලක් නැවත පැවැත්විය හැකි ද? යන ප්‍රතිඋත්තර කීපයක් කටට ආවත් කියන්නට මොකද්ද වගේ දැනුනේ ඇයිදැයි මටම වැටහුනේ නැත.

ජේ ආර්ලා කීපදෙනෙකු සිටියා යයි කතාවක් තිබුනේ ය. සමහර විට රජාලාත් කීප දෙනෙක් ඉන්නට බැරි ද?

ඇත්ත රජා රාජ්‍ය විචාරද්දී බොරු රජෙක් මරණ ගෙවල් වන්දනා කරනවා වෙන්නට බැරි ද? තමන්ගේ මරණෙට රජා නාවොත් විපක්ෂයට යන්න සූදානම් ප්‍රභූවරුන් ඉන්නා රටක මරණ ගෙවල්වලට නොගොහින් කොහොමද?

මගේ නිශ්ශබ්දතාවය මිතුරාට බරක් බව මට තේරුනේ නැවතත් හෙතෙම කට ඇරිය පසු ය. ඔහොම ගියොත් ආශ්චර්යයකින් මිසක් රට ගොඩ ගන්න බැරිවෙයි.

බැරිවෙලාවත් බොරු රජා ඇත්ත රජා මරා රජ වුනොත්! ජේ ආර්ලා කීප දෙනෙක් සිටි සමයේ බොරු ජේ ආර් කෙනෙක් ඇත්ත ජේ ආර් මරා රජවූ බවත් අසා තිබුනු නිසා මගේ හිත ගියේ එවැනි අකරතැබ්බයක් වුනොත් රටට කුමක් වෙයි ද යන්න ය.

ඇත්තටම මේ රටේ මිනිසුන් රජෙකුගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැත. තමන්ගෙ පොඩි එකා වඩා ගත්තොත් උකුලට අරන් හුරතල් කරොත් මරණෙට මගුලට ආවොත් එකට සිටගෙන ෆොටෝ එකක් ගත්තොත් බොහෝ දෙනෙකුට ඒ ඇති ය.

එහෙම බැලුවහම බොරු රජා වුනත් බලයට පත්වුනා කියා රටට වෙන අහිතක් නැත්තේ ය.

ඇයි කටේ පිට්ටු ද කතා නොකරන්නෙ? මිතුරා වාදය නවත්වන්නට සූදානමක් නැත.

නෑ මං කල්පනා කරේ ජනවාරි 1 දා උදේ පාන්දර රජතුමා මටත් එස්එම්එස් එකක් එවල තිබුනනෙ. මං වගේ පුංචි මිනිහෙක් ගැනත් අමතක නොකර මතක් කරන එහෙම සංවේදී නායකයෙක් කොච්චරක් වැඩ තිබුනත් මරණෙකට නොගිහින් ඉදිද?

මිතුරා තවත් කතා කළේ නැත. නැගිට ගත් ඔහු මට පිටුපා ඉවත්ව ගියේ ය.

මොනම සංවේදී කමක් නැති මිනිස්සු! ඈත යන මගේ මිතුරා දෙස බැලූ මට එසේ සිතුනේ ය. ඔහුට මා ගැන කෙසේ සිතුනාදැයි මම නොදනිමි. මගෙ මොකෝ?

Posted in: Uncategorized