සූත්‍ර දේශනාව: කටුකුරුන්දේ ඥාණානන්ද හිමි

“තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, විරිවැහිය යුතුය යි සිතන්නෙමු” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
– ආණි සුත්‍රය

MMahathero-232x300
මාතර ශ්‍රි ඥානාරාම ස්ථවිරයන්

ලංකාවේ සිටි විශිෂ්ට කර්මස්ථානාචර්යයෙකු වූ මාතර ශ්‍රි ඥානාරාම ස්ථවිරයන්ගේ ඇරයුමෙන් උන්වහන්සේ ගේ ශිෂ්‍යයෙකු වූ කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන් විසින් “නිවනේ නිවීම” යනුවෙන් දේශනා පෙළක් නිස්සාරණ වනය ආරණ්‍යයේදී 1988-1991 වසරවල පවත්වන ලදී. සූත්‍ර පිටකය පදනම් කොටගෙන ධර්මයේ ගැඹුරු කාරණා කිහිපයක් ගැන සකච්ඡා කරන මෙම දේශන ආරම්භයේදී ඥාණානන්ද හිමියන් සූත්‍ර දෙශනාව සහ අටුවා සාහිත්‍යය ගැන වටිනා අදහස් කීපයක් මෙසේ ඉදිරිපත් කළා:

“පසුබිම වශයෙන්ම නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ව්‍යාකූලතා ඇතිවීමට හේතුව ගැන යමක් කියයුතුව තිබෙනව. සාමාන්‍යයෙන් අපි ප්‍රකීර්ණක දේශනා වශයෙන් අටුවා සාහිත්‍යය ගැන හඳුන්වන සිරිතක් තිබෙනව. නමුත් ඇත්ත වශයෙන් තිබෙන තත්වය ගැන කල්පනා කරල බැලුවාම, අටුවාවල බොහෝ විට තිබෙනව මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව එක නිගමනයක් දෙන්ට බැරිව නොයෙකුත් අවස්ථා වල විකල්පාර්ථ දෙනව. “මෙසේත් විය හැක, මෙසේත් විය හැක” කියල විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තියනව. සමහර තැන්වල පැහදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත්වුනු යම් යම් නිගමනයන් දෙනව. ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවල් නිහඞ මක් නිසාද කියන එකත් උගතුන්ට මේ කාලෙ ගැටලුවක්. මේ විදියේ තත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු උන යම් යම් ඓඉතිහාසික කාරණාත් තිබෙනව.

බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනව අනාගත භය වශයෙන්, අනාගතයේ ඇති විය හැකි ශාසන පරිහානිය පිලිබඳ යම් යම් ලක්ෂණ හැටියට සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ ආණි සූත්‍රයේ සඳහන් වෙනව අනාගතයේ ඇතිවන භික්ෂූන් තථාගත දේශිත ගම්භීරාර්ථවත්, ලෝකෝත්තර, ශුන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිලිබඳව, ඒවාට ඇහුම්කන් දෙන්න වැඩි කැමත්තක් දක්වන්නේ නැත. ඒවා ඉගෙන ගැනීමට, ඒවායේ ගැඹුර ගැන සැළකීමට උනන්දුවක් දක්වන්නේ නැත, කියල ඒ විදියට දක්වල තිබෙනව.

bhadante_nyanananda
කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්

ඒ වගේම තවත් ඉතිහාසික වශයෙන් දැක්විය හැකි හේතුවක් තිබෙනව. මේ ශාසන ඉතිහාසයේත් එක්තරා අවධියකදී මුල් බැසගත්තු අදහසක් තමයි, මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ වෝහාර දේශනාවය, ඒ නිසා එහි ඒ තරම් ගැඹුරක් නැත, කියන හැඟීමකුත් මේ අතරේ මුල් බැසගත්ත. ඒකත් මේ සූත්‍ර පිලිබඳව සැලකිල්ල අඩුවීම්ත හේතු වුනා. ඒ වගේම, මනොරථපූරණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනව ශාසන ඉතිහාසයේ මුල් අවධියකදීම මේ ලංකාවෙ පරියත්තිවාදීනුත් පටිපත්තිවාදීනුත් අතර එක්තරා විවාදයක් තිබිල ඒකෙන් ජයග්‍රහණය කලේ පරියත්තිවාදීන් කියල. ඔවුන්ගේ අවසාන නිගමනය උනේ කුමක්ද? ශාසනයේ පැවත්මට ප්‍රතිපත්තිය නැතත් පරියත්තිය උනත් ප්‍රමාණවත්ය කියන එක. ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මධ්‍යයේ – නියං සායවල් ආදිය මධ්‍ය්යේ – අතීතයේ භාණක ස්වාමීන් වහන්සේලා එහෙම පර්යාප්තිය රැක ගැනීමට දැනූ උත්සාහය ප්‍රශංසනීයයි. නමුත් අවාසනාවකට වගේ කිවයුත්තේ අඳුරේ කූඩයක් අතින් අත යවන කොට ඒ කූඩේ තිබෙන වැදගත් වතිනා දේ සමහර විට ගිලිහී යන්න ඉඩ තිබෙන බවයි. ඒ වගේම මේ අටුවා යුගයේදී අර්ථ විපරිණාමයකුත් සිද්ධ උන බන පෙනෙනව. ඒක හංගන්න පුලුවන් දෙයක් නෙවෙයි.  ධර්මය පිළිබඳ සත්‍ය සොයක කෙනෙකුට පැහැදිලි වන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තියෙන සමහර වචනවලට, අටුවා යුගයේ නොයෙකුත් විදියේ සංකීර්ණ අදහස් එකතු කරන බව පේනව සමහර අර්ථකථන ක්‍රම නිසා. නමුත් එයින් වෙන්නෙ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා අර්ථ මැකී යාමයි. සමහර අර්ථ විවරණ අර්ථ ආවරණය වෙනව පේනව. අන්න එබඳු තත්වයක් ක්‍රමකමයෙන් ඇතිවුනා. ඒ වගේම විශෙෂයෙන් කිවයුතුව තිබෙන්නේ මේ සද්ධර්මයේ ගැඹුර දැකිය යුත්තේ සරලත්වය තුලින්, නිර්මල ජලාශයක පතුල දකින්නා වාගේ.”

වැඩිදුර කියවීම සඳහා:

  1. “නිවනේ නිවීම”, කටුකුරුන්දේ ඥාණානන්ද හිමි: (සිංහල)(English).

One thought on “සූත්‍ර දේශනාව: කටුකුරුන්දේ ඥාණානන්ද හිමි

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

    Like

Leave a comment