milinda-prashna

2014/11/05 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ජනගහනයේ වයස් කාණ්ඩවල රිද්මය සම්බන්ධව ගැටලූවක් පැන නැගෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. වසර 2025 හෝ එයින් පසු උදාවන කාලය ඇතුලත ජනගහනයේ ප‍්‍රතිශතයක් වශයෙන් විශ‍්‍රාම වයසේ පසුවන පිරිස ඉහළට යනු ඇති අතර තරුණ ශ‍්‍රමය සීමා සහිත එකක් වනු ඇත. එවැනි පසුබිමක නිෂ්පාදනය සහ එහිලා ශ‍්‍රම අවශ්‍යතා සම්බන්ධව යම් විෂමතා මතුවිය හැකිය. එයට ගැලපෙන ආකාරයට උත්තර සොයා ගන්නට රටට සිදුවෙයි.

අනාගතයේ දී ශ‍්‍රමය වියපත් වියහැකි මෙරට සමාජයේ විරැකියාව සම්බන්ධ දත්ත අවධානයට ගැනීම අවශ්‍යය. වයස අවුරුදු 15-29 ත් අතර තරුණන්ගෙන් සියයට 26.5 ක් විරැකියාවෙන් පෙළෙති. තරුණන් සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු රැකියාවක් රහිතව ජීවත්වන විට එය ගැටලූ ඇති කරන්නකි. තරුණියන් ප‍්‍රමාණය සියයට 38.6 ක් බව දැක්වෙන විට මෙහි තවත් පැති කඩක් අනාවරණය වෙයි. වර්තමානයේ විශ්ව විද්‍යාලය, නීති විද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන අංශ වල ඉගෙනුම ලබන දරුවන්ගෙන් වැඩි පිරිස යුවතියන්ය. එයින් පෙනෙන්නේ තුනෙන් එකක් අධ්‍යාපනය අවසන් කර රැුකියා විරහිත ජන කොටසට ඇතුළුවීම බවය. දත්ත පෙන්වන ආකාරයට උසස් පෙල හෝ එයට ඉහළ සුදුසුකම් ඇති විරැකියාවෙන් පෙලෙන තරුණන් ප‍්‍රමාණය මුලින් ස`දහන් කළ වයස් කාණ්ඩය තුළ සියයට 10.2 කි. මෙම ඉලක්කම් සන්සන්දනය කරන විට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සහ රැකියා අවස්ථා සම්බන්ධව වහා සොයා බැලිය යුතු යම් නොගැලපීමක් පවතින බව පැහැදිලිය.

රටක දියුණුවට වැඩිපුර මහන්සි විය හැක්කේ තරුණ ජන කොටසටය. ආසියාවේ වේගයෙන් දියුණු වූ රටවල් දෙස විමසන විට ජනගහනයේ ප‍්‍රතිශතයක් වශයෙන් තරුණ ජවය ඉහළට පැමිණ තිබූ කාල වකවානුවේ සංවර්ධනය වේගවත් වී තිබේ. තරුණ ශ‍්‍රමය නිසි ලෙස මෙහෙයවන්නට සහ කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශ වල පතුරවන්නට හැකි වූ අවස්ථාවේ දී නිෂ්පාදනය වැඩි වී තිබේ. ප‍්‍රායෝගික තත්ත්වය එයයි.
ජනගහන තත්ත්ව සම්බන්ධ ද්‍රෘෂ්ටි කෝණයෙන් සලකා බලන විට ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ආරක්ෂක මෙහෙයුම මෙරට තරුණ බලය ඉහළින්ම තිබූ සහ එය නිසි ආකාරයට යොදවාගත හැකි වූ අවස්ථාවකි. තාරුණ්‍යයේ ශක්තිය සහ ජවය සේනාංක වලට එකතු වූ අතර එය ජයග‍්‍රහණය තෙක් නොනවතින බලවේගයක් බවට පත් කරන්නට හැකියාව ලැබිණ.

සංවර්ධන අවශ්‍යතා හමුවේ පවා එවැනි බලවේගයක් නිර්මානය කළහොත් ශ‍්‍රී ලංකාව තුළ බලවත් පරිවර්තනයක් කරන්නට හැකියාව තිබේ. තරුණ ජනගහනයෙන් යමක් කරන්නට අවකාශයක් රහිතව සමාජයේ විරැකියාවෙන් පෙලෙන පිරිස ප‍්‍රශස්ථ ආකාරයකට ශ‍්‍රම බලකායට ඇතුළු කරගන්නට අවශ්‍යය. නිෂ්පාදන කාර්යාවලියට සම්බන්ධ කරගත යුතුය.විරැකියාවෙන් පෙලෙන තරැුණන්ට ආණ්ඩුවෙන් රැකියා සැපයීම එකම උත්තරය නොවේ. ප‍්‍රතිපත්ති සම්පාදනය ආණ්ඩුවට කළ හැකිය. අවස්ථා ඇති කරගත යුතු සමාජයෙන්ය. නීති රීති වලින් හෝ බලපෑම් කර පරිවර්තනය ඇති කරන්නට හැකියාවක් නැත. උනන්දුව ඇති තරුණ ජවය හ`දුනාගැනීමේ සැලසුමක් අවශ්‍යය. ඔවුන්ට අවස්ථාව සපයන්නනට කලින් තරුණ ශ‍්‍රමය දෙස බලන ආකල්ප වෙනස් කරන්නට උවමනාය. ඉතාමත් ඉක්මනින් තරුණ ජවය සංවර්ධනයට උපයෝගී කරගත නොහැකි වුවහොත් වසර 2025 වන විට වයස්ගත වැඩකරන ශ‍්‍රමයේ අනුපාතයට වඩා වැඩි වයස්ගත ජනගහනය සහිත රටක් බවට පත්වනු ඇත. තරුණන්ට වැඩ කරන්නට දැන් ඉඩ දෙන්නට නොහැකිවීමේ විපාකය ඉදිරි දශක දෙක තුළ විශ‍්‍රාම ජනගහනය වෙනුවෙන් උත්තර සොයන්නට වෙහෙසිය යුතු රටක් බවට පත් කරනු ඇත.