පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 8, 2014

මෙයා තමයි පැබ්ලෝ පිකාසෝ කියන්නේ - Brief and Sweet note about Pablo Picasso


පැබ්ලෝ පිකාසෝ යනු ලොව සිටි අපූරු සිත්තම්කරුවෙකි. වර්ෂ 1881 ඔක්තෝබර් 25 වැනිදා ස්පාඤ්ඤ ජාතිකයෙකු ලෙස උපන් ඔහු 1973 අප්‍රේල් 8 වැනිදා මෙලොවට සමුදෙන අවස්ථාව වන විට ලෝකය හමුවේ සිය නම කිසිදා නොමැකෙන ලෙස සටහන්කොට තිබිණි. ඝනිකවාදය (Cubism) නම් සිත්තම් ශිල්පය ලොවට හඳුන්වාදුන් එක් පුද්ගලයෙකු ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි. ඝනිකවාදය ලෙසින් හඳුන්වනු ලබන්නේ විවිධ ජ්‍යාමිතික හැඩතලවලට අනුව සිත්තම් නිර්මාණය කිරීමය. ඔහු විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට සිත්තම් අතර Les Demoiselles d'Avignon සහ Guernica විශේෂයෙන් කැපී පෙනෙයි. මේ අතුරින් ද ස්පාඤ්ඤ සිවිල් යුද සමයේ ජර්මානුවන් විසින් ස්පාඤ්ඤයේ ගුවර්නිකා ප්‍රදේශයට බෝම්බ හෙළීම අරභයා නිර්මාණය කළ Guernica සිත්තම වඩාත් සුවිශේෂීය. මෙය වෙන්වන්නේ මෙවන් වූ අපූරු සිත්තම්කරුවකුගේ ජීවිතය ගැන කතාකිරීමට වඩා ඔහුගේ ජීවිතයේ රසවත් හා සුවිශේෂී තැන පිළිබඳ කෙටි සටහනක් තැබීමටය.


Guernica







1. මෙහෙමත් දිග නමක්


පිකාසෝගේ සුවිශේෂීත්වයට එක්වන සුවිශේෂී දෙයක්වන්නේ ඔහුගේ දිගු නමයි. ඔහු බෞතීස්මය ලබන අවස්ථාවේදී තබන ලද නම්වල එකතුවක් ලෙස මෙය පිළිගැනේ. ඔහුගේ දිගු නම මෙසේ වේ.


පැබ්ලෝ දියෙගෝ ජෝස් ෆ්‍රැන්සිස්කෝ ඩි පෝලා ජුවාන් නෙපොමුසිනෝ මාරියා ඩි ලොස් රෙමෙඩියොස් සිප්රියානෝ ඩි ලා සන්ටිසිමා ට්‍රිනිඩෑඩ් මාර්ටියර් පැට්‍රිකෝ ක්ලිටෝ රුයිස් යි පිකාසෝ. 

Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Clito Ruíz y Picasso




මෙය නම් 23 කින් සමන්විතය. මෙහි විවිධ සාන්තුවරයින්ගේ නම් ද ඇතුළත් ය. පිකාසෝයන්න තබා ඇත්තේ ඔහුගේ මව විසිනි. ඇගේ නම මාරියා පිකාසෝ යි ලෝපෙස් ය. ඔහුගේ පියාගේ නම ජෝස් රුයිස් බ්ලාස්කෝ ය.

Les Demoiselles d'Avignon

 

2. මරණයෙන් අවදිවුණු පිකාසෝ


පිකාසෝ මෙලොව එළිය දුටුවේ ඉමහත් පරිශ්‍රමයක් දරා බැව් පැවසේ. ඔහු කෙතරම් දුර්වල දරුවකු ලෙස උපන්නේද කිවහොත් වින්නඹු මාතාව සිතා ඇත්තේ මේ දරුවා උපතේදීම මියගොස් සිටින්නට ඇති බවය. එසේ සිතා ඔහුව මේසය මත තබා නිවසින් පිටව ගොස් තිබේ. මරණයට පත්වන්නට නොදී ඔහුගේ ජීවිතය ගළවාගෙන ඇත්තේ පිකාසෝගේ මාමා කෙනෙකු වූ දොන් සැල්වදෝර් නම් වෛද්‍යවරයකු විසිනි. පිකාසෝ මේ පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත.


ඒ කාලයේ හිටි හැම දොස්තර කෙනෙක්ම ලොකු සුරුට්ටු බොන්න පුරුදු වෙලා හිටියා. මගේ මාමා ත් එහෙමම තමයි. මාව මේසේ උඩ දාලා වින්නඹු අම්මා ගියාට පස්සේ එයා සුරුට්ටු දුම මගේ මූණට පිඹලා තියෙනවා. එකකොටම මම පොඩ්ඩක් දඟළලා තියෙනවා. මාමා ඒක දැකපු හින්දා මාව මරණයෙන් බේරුණා.

3. අතට පෙර කටට පැමිණි පැන්සල


පිකාසෝ සිත්තරකු වන්නටම උපන් අයෙක් යැයි ඇතැමුන් හඳුන්වන අතර එයට හේතුව මෙය යැයි සැළකේ. ඔහු මුළින්ම මුවින් තෙපලූයේ පිස්යන වදනයි. පිස්යනු ස්පාඤ්ඤ බසින් පැන්සල හඳුන්වනු ලබන්නා වූ ලැපිස්යන්නෙහි කෙටි යෙදුමයි. සිත්තරකු හා සිත්තම් පිළිබඳ මහාචාර්යවරයකු වූ ඔහුගේ පියා පිකාසෝ ට වයස අවුරුදු සතෙහි පටන්ම සිතුවම් ශිල්පය පිළිබඳ ඔහුට විධිමත් අධ්‍යාපනයත් ලබාදෙන ලදී. වයස අවුරුදු 13 වන විට පිකාසෝ සිය පියාට ද වඩා හොඳින් සිතුවම් නිර්මාණය කරන්නට පටන් ගත්තේ ය.



4. පිකාසෝගේ මුල්ම සිතුවම

Le Picador

  
වර්ෂ 1890 දී ඔහු සිය මුල්ම සිත්තම නිර්මාණය කරද්දී නවවැනි වියෙහි පසුවූයේය. Le Picador ලෙසින් නම්කොට තිබූ එයින් නිරූපණය වූයේ ගොන් තරගයක් අතරේදී අශ්වයකු පිට නැගී ගමන් කරනා මිනිසෙකි.

 
La première communion



වර්ෂ 1896 දී ඔහු සිය ප්‍රථම ආගමික සිත්තම නිර්මාණය කළේය. La première communion නම් වූ එයින් නිරූපණය වූයේ සිය පියා, මව හා සොයුරිය දේවස්ථානයේ පූජාසනය ඉදිරියේ දණ ඔබා සිටිනා අවස්ථාවයි. පිකාසෝ එය අවසන් කරනා විට 15 හැවිරිදි වියෙහි පසුවූයේය.

5. නරක ශිෂ්‍යයා

සිත්තර හැකියාව සම්බන්ධව සළකා බැලුවහොත් පිකාසෝ යනු දීප්තිමත් ශිෂ්‍යයකු විය. ඔහුගේ පංති සඟයෝ ඔහුට වඩා වසර පහක් හෝ හයක් වැඩිමහල්ලන් වූහ. නමුත් පංතියේ යම්කිසි කාර්යයක් පවරන සෑම විටම ඔහු එය කිරීම පැහැරහැරි බැවින් ඔහුව පංතියෙන් පිටතට දමනු ලැබිණි.

මම නරක ශිෂ්‍යයකු වූ නිසා මාව නිතරම කාමරයකට දාලා දොර වහලා තිබ්බා. ඒ කාමරේ බිත්ති හතරම සුදු පාටයි. ඉඳගන්න බංකුවකුත් තිබුණා. මම එතැනට හරිම කැමත්තෙන් හිටියේ. මොකද ඒ බිත්තිවල මට නොයෙක් දේවල් අඳින්න අවස්ථාව ලැබුණා. මට හැමදාම එතැන ඉන්න තිබුණා නම් . . . 

පිකාසෝ එම අත්දැකීම පිළිබඳ වරෙක එසේ පවසා තිබිණි.

6. පිකාසෝගේ මුල්ම රැකියාව

පිකාසෝ පැරීසියේ සිටි පේරේ මෙනැක් නම් සිතුවම් ගනුදෙනුකරු සමඟ ගිවිසුමකට පැමිණෙමින් සිය මුල්ම රැකියාවට පා තැබුවේ ය. ඔහු පිකාසෝ ට මාසිකව ෆ්‍රෑන්ක් 150 (වර්තමාන වටිනාකම රු. 98,550 පමණ) ගෙවන්නට පොරොන්දු වූයේය.

7. පිකාසෝ මොනාලිසාසිත්තම සොරකම් කළ කතාව සැබෑද?

ඔහු එය සොරකම් නොකළ මුත් එය පිටුපස ඇති කතාව මෙසේය. 1911 වසරේදී ලූවර් කෞතුකාගාරයෙන් මොනාලිසා සිත්තම සොරකම් කරනු ලැබිණි. මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ පිකාසෝ ගේ මිතුරකු වූ ගිලමේ ඇපොලිනෙයාර් නම් කිවියා ය. ඔහු පැවසූයේ පිකාසෝ ද මෙහි සැකකරුවකු වන බව ය. එහිදී පොලීසිය විසින් පිකාසෝ ද අත්අඩංගුවට ගනු ලැබිණි. නමුත් පසුව ඔවුන් දෙදෙනා නිදහස් කරනු ලැබිණි.

8. ඝනිකවාදය

ඝනිකවාද ආකෘතියේ සිතුවමක්





වර්ෂ 1909 දී පිකාසෝ සහ ප්‍රංශ සිත්තරකු වූ ජෝර්ජස් බාර්ක් එකතුව ඝනිකවාදය’ (Cubism)නම් වූ නව සිතුවම් ශෛලිය ලොව හමුවේ තැබූහ. සැබැවින්ම මෙයට මෙම තැබුවේ ඔවුන් නොවේ. මෙම ශෛලියට නිර්මාණය කරනා ලද සිතුවම් දුටු ප්‍රංශ ජාතික සිත්තරකු වූ ලුවී වුක්සේලේ පැවසූයේ, “විකාර ඝනක ගොඩක්යනුවෙනි. ඉන්පසුව එම ශෛලිය ඝනිකවාදයලෙස හඳුන්වනු ලැබිණි.

ගූගල් සමාගමෙන් නිෂ්පාදනය කරවන්නා වූ නෙක්සස් නම් ජනප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල වෝල්පේපර් කිහිපයක් ද මෙම ඝනිකවාද ආකෘතියෙන් නිර්මාණය කටෙ ඇත.

නෙක්සස් වෝල්පේපරයක්


 



9. සෙල්ලක්කාර පිකාසෝ

සුප්‍රකට සිත්තරකුවීම තරුණියන් ඉබේම ආකර්ෂණය වන්නට හේතුවක් ද වන්නේ ය. එක් තරුණියක නොව තරුණියන් ගණනාවක් ආකර්ෂණය වන්නට හේතුවකි. මෙහි දැක්වෙන්නේ ඔහුගේ බිරින්දෑවරුන්ගේ හා පෙම්වතියන්ගේ නම් ලැයිස්තුවයි.

- ෆර්නැන්ඩේ ඔලිවියර් ( ඇය පිකාසෝගේ ප්‍රථම ප්‍රේමය යි. ඇය 18 වැනි වියෙහි පසු වූ අතර ඔහු 23 වැනි වියෙහි පසු වූයේය)



- මාර්සෙලේ හම්බර්ට් ( ඇය 27 හැවිරිදි වූ අතර ඔහු 31 හැවිරිදි විය)



 - ගැබී ලෙස්පිනාසේ (ඔහු 34 වියෙහි වූ අතර ඇයගේ වයස පිළිබඳ තොරතුරක් නැතත්, ඉතා ලාබාල වියෙහි පසු වූ බැව් පැවසේ)


 - ඔල්ගා කොක්ලෝවා (ඇය ඔහුගේ ප්‍රථම බිරිඳ වූවා ය. ඔවුන් හමුවන විට ඇය 26 වියෙහි වූ අතර ඔහු 36 වියෙහි වූයේය)



- මේරි තෙරේස් වෝල්ටර් (ඇය 17 වැනි වියෙහි වූ අතර ඔහු 46 වියෙහි වූයේය). පිකාසෝ විසින් නිර්මාණය කරන්නට යෙදුණු Le Rêve හෙවත් සිහිනයසඳහා නිරූපිකාවක ලෙස යොදාගනු ලැබූයේ මේරි තෙරේස් ය. 
 
Le Rêve
මෙම සිත්තම 2006 වසරේදී කැසිනෝ ව්‍යාපාරිකයකු වූ ස්ටීව් වින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 139කට අළෙවිකරන්නට එකඟ වී සිටිය ද අළෙවිය නිමකරන්නට පෙර ඔහුගේ වැළමිට මෙම සිත්තමේ වැදී එය පසාරු වී ගියේය.


 - ඩෝරා මාර් (ඇයට 29ක් වූ අතර ඔහුට 55ක් විය)


 - ෆ්‍රැන්කොයිස් ගිලොට් (ඇයට 21ක් වූ අතර ඔහුට 61ක් විය)


 - ජෙනවීෆ් ලැපෝර්ටේ (පිකාසෝ ගේ අවසන් පෙම්වතියන්ගෙන් එකියකි. ඇයට අවුරුදු විසිගණනක් වූ අතර ඔහුට වසර සැත්තෑ ගණනක් විය)

 - ජැකොලින් රෝක් (ඇය පිකාසෝගේ දෙවැනි බිරිඳ වූවාය. ඇයට 27ක් වූ අතර ඔහුට 79ක් විය)


10. පිකාසෝ මෝටර් රථය


මෙය සැබවින්ම පිකාසෝගේ මෝටර් රථය නොවේ. මෙය එංගලන්තයේ ඩෝර්සෙට් හි වෙසෙන 44 හැවිරිදි මෝටර් රථවාහන ශිල්පියකු වූ ඇන්ඩි සෝන්ඩර්ස් විසින් මාස 6ක වෙහෙස දරා කරන ලද නිර්මාණයකි. ඔහු පිකාසෝගේ ඝනිකවාදී ශෛලිය පිළිබඳ කැමැත්තෙන් පසුවූවකු වූ අතර එබැවින් ඔහු සිය සිට්රොයෙන් 2 සීවී නමැති මෝටර් රථය ඝනිකවාදී ශෛලියට අනුව ප්‍රතිනිර්මාණය කළේය.






 


 

3 comments:

  1. Assignment එකක් හදන්න ගොඩක් ප්‍රයෝජනවත් වුණා...ඒ පිළිබඳ සතුටුයි...👍😊

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි

      Delete
  2. ඉතාමත් වටිනා ලිපියක් හා වීඩියෝවක්. ස්තුතියි.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න