පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 2, 2014

රෝගාබාධ බොහොමයක් සුවපත් කරන ජලජ ප්‍රතිකාර ක්‍රම - Healing Power of Acquatic Therapy


විවිධ රෝගාබාධ සඳහා මෙන්ම සෞඛ්‍යය නිසි පරිදි පවත්වාගෙන යාම පිණිස ඖෂධ පමණක් නොව ශාරීරික ව්‍යායාම ඔස්සේ ප්‍රතිකාර කිරීම ද වර්තමානයේ බහුලව දක්නට ලැබෙන්නකි. අප ගොඩබිම සිදු කෙරෙන ව්‍යායාමවලට වඩා වැඩි සෞඛ්‍යමය ප්‍රතිලාභ ජලයෙහි සිට කෙරෙන ව්‍යායාමවලින් ලැබෙන බව වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු වී තිබේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයන්ට වඩා මෙම ජලජ ව්‍යායාම හා ප්‍රතිකාර ක්‍රම ජනප්‍රියව ඇත්තේ විවිධ රෝගාබාධයන්ට ලක්ව ඇති පුද්ගලයන් වෙනුවෙනි. නමුත් මෙයින් සාමාන්‍ය නිරෝගී පුද්ගලයන්ට ද ලැබෙන ප්‍රතිලාභ බොහොමකි. 

ජලජ ප්‍රතිකාර (Aquatic Therapy) වල වාසි පිළිබඳ කතාකිරීමේදී ශාරීරික ඉහිල්තාවය නැතහොත් සැහැල්ලුබව, සුවතාවය, ශාරීරිකව ඇති අබල දුබලතාවයන් මැඩ පැවත්වීම ආදිය සඳහන් කළ හැකිය. මෙම ප්‍රතිකාර ක්‍රම සඳහා පළපුරුදු පුහුණුකරුවකුගේ අවධානය අවශ්‍ය වේ. මේ සඳහා  යොදාගැනෙන  පිහිනුම් තටාකය ද සාමාන්‍ය එකකට වඩා වෙනස්ය. එයට හේතුව මේ සඳහා යොදාගැනෙන්නේ  තරමක් උණුසම් තත්වයේ ඇති ජලය වීමය. උණුසුම් ජලයෙහි සිදුකෙරෙන මෙම ප්‍රතිකාරවලින් ස්නායු අබාධ, ෂුෂුම්නාවේ ආබාධ, සන්ධිවලට වැළඳෙන ආතරයිටිස්, ඉණ, වළලුකර, විලුඹ වැනි ශරීරයේ නිතර පීඩනයට ලක්වන ස්ථානවල ඇතිවන තුවාල වැනි රෝගාබාධවලින් සුවයක් ලබන්නට හැකිය. 

විවිධ හේතු නිසා ගොඩබිම සිට ව්‍යයාම කරන්නට නොහැකි අයට ජලජ ව්‍යයාමවලින් ලැබෙන්නේ මහඟු අත්වැලකි. මන්ද ජලයේ සිට කෙරෙන ව්‍යායාම සඳහා දැරිය යුතු ශාරීරික ශක්තිය සාපේක්ෂව අඩු බැවිනි. ජලයෙන් සිරුරට උඩුකුරු තෙරපුමක් ලැබීම මෙයට හේතුව වේ. එවිට සිරුර ජලයෙහි පාවෙන තත්වයක් ඇති වේ. මේ නිසා ජලයෙහි සිට ව්‍යායාම කිරීම ද පහසුවකි. ස්නායු ආබාධ නිසා පොලොව මත සමබරව සිටින්නට නොහැකි පුද්ගලයන් අප නිතර දැක තිබේ. එවැනි අයට ද ජලයේ දී කෙරෙන ප්‍රතිකාර සහ ව්‍යායාමවලින් ලැබෙන්නේ මඟු පිටිවහළකි. 

ජලයෙහි යම්කිසි පීඩනයක් ඇති බව අපි දනිමු. මේ පීඩනය ද ජලජ ව්‍යයාමවලදී ප්‍රයෝජනයට ගත හැකි දෙයකි. ජල පීඩනය සිරුරට ලබාදීමෙන් පමණක් වුවත් සිරුරට ලද හැකි සුවතාවය ඉමහත්ය. මේ නිසා ඇතැම් පුද්ගලයන් කරන්නේ ජලයෙහි බැස සැළකිය යුතු වේලාවක් සිට ගොඩට පැමිණීම පමණි. නිරෝගී අයකුට නම් සාමාන්‍ය උණුසම් තත්වයක් ඇති ජල තටකයට බැස සිටීමෙන් පමණක් මෙම ප්‍රතිලාභ ලැබිය හැකිය. 

ඔජර රෝගය

ඔජර රෝගය’ (oedema ) සඳහා ද ජල ප්‍රතිකාර සිදුකෙර්. ඔජර රෝගය යනුවෙන් හඳුන්වන්නේ අප සමට යටින් හෝ ශරීර කුහරවල පිහිටි පටකවල අසාමාන්‍ය ලෙස දියර එකතුවීමය. මෙය චිකිත්සකව පෙන්නුම් කරන්නේ ඉදිමුමක් ලෙසිනි. සිරුරට ජල පීඩනය ලබාදීම මගින් මෙම තත්වය සැළකිය යුතු මට්ටමකින් සුවවෙන බැව් සොයාගෙන තිබේ. එමෙන්ම ශිරා ඔස්සේ හෘදය වස්තුව කරා රුධිර රැගෙන ඒම සහ රුධිර සංසරණය වඩාත් හොඳින් සිදුවීමට ද ජල පීඩනය ඉවහල් වේ. 

පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් ගමන් බිමන් යන්නට දැඩි අකැමැත්තක් දක්වන අවස්ථා ඔබ දැක ඇති. ඇතැම් අය අධික සෙනඟ ඇති ස්ථානවල ගැවසීමට අකැමතිය. මෙයට බොහෝ හේතු තිබිය හැකි අතර ඉන් එකක් වන්නේ ඇතැම් අයගේ සමෙහි ඇති සංවේදීතාවය ඉතා ඉහළ මට්ටමක් පැවතීමය. ඔවුන් තම සිරුරේ කිසිවකු ස්පර්ශවනවාට ද කැමැති නැත. එවැනි අය උත්සව වැනි සම්භාෂණ අවස්ථාවන්ට  සහභාගීවන්නට කැමැත්තක් නොදක්වති. මේ ආකාරයට සමෙහි ඇති අධික සංවේදීතාවය සාමාන්‍ය තත්වයක් දක්වා පහළ දමාගැනීමට ජල ප්‍රතිකාර ක්‍රමය යොදාගනු ලබයි. 

ජලයේ බැසි සිටීමෙන් ලැබිය හැකි තවත් වාසියක් වන්නේ මුළු සිරුරටම එක හා සමාන පීඩනයක් ලබාදීමට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් සිරුරට එවැනි සමාන පීඩනයක් ලබාගැනීමට වෙනත් පහසු ක්‍රමයක් නොමැති අතර එය එක්තරා ආකාරයක සම්බාහනයකට සමානය. එමෙන්ම ජලයේ බැස සිටීමේදී සිරුරට ඇතිවන පීඩනය නිසා ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද ඉහළ යයි. එවිට අපට නොදැනීම අපගේ ස්වසන ක්‍රියාවලිය ඉහළ නැගෙන අතර එය ස්වසනයට ඉවහල්වන මාංශ පේශීන්ගේ ශක්තිමත් වීමට හේතුවක් ද වේ. මේ සඳහා ජලයේ ක්‍රියාකාරී ලෙස සිටිය යුතු නැත. නිසොල්මන්ව ජලයෙහි බැස සිටීම පමණක් මෙයට සෑහේ. 

ජලජ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වැඩි දෙනෙක් නොදැන සිටිය ද මෙයට ඇත්තේ දිගු ඉතිහාසයකි. අදින් වසර දහස් ගණනකට පෙර ග්‍රීක සහ රෝමවරු උණුදිය උල්පත්වල දියනෑමට පුරුදුව සිටියහ. උණුදියෙහි බැසි සිටීම රුධිර සංසරණයට ඉතා යහපත් අන්දමින් බලපාන බව ඔවුහු දැන සිටියහ. ස්විට්සර්ලන්ත පූජකවරු ක්‍රි.ව. 1238 තරම් අතීතයේදී විවිධ රෝගාබාධවලට ලක්වූවන්ට උණුදිය ස්නානය කරන්නට සළස්වා ලෙඩ රෝග සුවකළ බව සඳහන්ව තිබේ. හන්දිපත් රෝගවලට ලක්වූවන්ගේ එම වේදනා සුවකර ඔවුනට සහනය ගෙනදීමට මෙවැනි ජල ප්‍රතිකාර ක්‍රම ඉවහල්වී තිබේ. 

විවිධ ශාරීරික රෝගාබාධයන්ට පමණක් නොව මානසික රෝගාබාධයන්ට ද ජල ප්‍රතිකාර ක්‍රමය ඉවහල් කරගත හැකිය. කාංසාව තුරන් කිරීම, සිතේ සන්සුන් බව ඇතිකිරීම, ශරීර සුවතාවය වර්ධණය කිරීම, ආත්ම විශ්වාසය, මානසික වේදනාවන්ගේ පසුවන්නන්ගේ සිත සුවපත්කිරීම ආදියට ද ජල ප්‍රතිකාර ක්‍රමයෙන් සෑහෙන ප්‍රතිඵලයක් ලද හැකි බව කියැවේ. 

සාමාන්‍ය ව්‍යායාමගාරයකට පිවිසෙන පුද්ගලයන්ගේ ආබාධිත තත්වයේ පසුවන්නන්ට එහිදී කිසිදු ප්‍රයෝජනයක් ලැබිය නොහැකිය. නමුත් රෝද පුටුවකින් පිහිනුම් තටාකයටකට හෝ විශේෂයෙන් මෙවැනි ජල ප්‍රතිකාර කරන ස්ථානයකට පැමිණෙන ආබාධිත පුද්ගලයකුට එතැන සිටින උපදේශකවරයකුගේ උදව් ඇතිව ජල තටාකයට බැස පහසුවෙන් සිටිය හැකිය. එවැනි ආබාධිත තත්වයේ පුද්ගලයකුට නම් ජලයේ පහසුවෙන් රැඳී සිටීම සඳහා අවශ්‍ය පැළඳුම් ලබාදෙයි. ජලයේ දී සිරුරේ බර අඩුවන බැවින් ගොඩබිමදී කළ නොහැකි ඇතැම් ක්‍රියාකාරකම් ආබාධිත පුද්ගලයන්ට ජල තටාකයකදී සිදුකළ හැකිය. එය ආබාධිත පුද්ගලයන්ට ශාරීරික මෙන්ම මානසිකව ද ලැබෙන සහනදායක තත්වයකි. 

මේ අනුව ජල ප්‍රතිකාර ඔස්සේ රෝගී මෙන් නිරෝගී පුද්ගලයන්ටත් ලැබිය හැකි ප්‍රතිලාභ බොහොමයක් ඇති බව පෙනේ. නමුත් මෙය බොහෝ විට එතරම් ප්‍රචලිත නොවී තිබීම නිසා එහි ප්‍රයෝජන බොහෝ දෙනෙකුට තවමත් ලබන්නට නොහැකි වී තිබේ.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න