මෙය අත්හදා බලන්න

අද දවසේ ඔබේ සිත කරුණාවෙන් හා දයාවෙන් පුරවා ගන්න. එසේ පුරවා ගත් දේ ඔබට හමුවන සෑම කෙනෙකුටම බෙදන්න.

අනුන්ට කරුණාව දයාව දීමට නම් ඒවා තමන් වෙත තිබිය යුතුයි. තමන් ළඟ නැති දෙයක් අනුන්ට දීමට හැකිවන්නේ කෙසේද? අනුන්ට කරුණාව දයාව පතුරුවා හරින්නට වෑයම් කරන බොහෝ දෙනා එම උතුම් ගතිගුණ පළමු කොට තමන් ළඟ ඇති කරගත යුතු බව නොදනිති.

එදිනෙදා ජීවිතයේ දී කරුණාව හා දයාව පැතිරවීමට පුරුදු වන අයට ඉතා පුදුම අන්දමින් දියුණුවක් ඇතිවේ. කරුණාවට හා දයාවට අකමැති අයෙකු නැත. ඕනෑම කෙනෙක්, ඕනෑම සතෙක් කරුණාව හා දයාව වහා හඳුනා ගනියි. ඇතැම් කුරිරු තිරිසන් සතුන් කරුණාව පෙන්වීම නිසා හීලෑ වෙති. මුල දී උන්ට නුපුරුදු නිසා කරුණාවන්තකම හඳුනා නොගත්තත්, නිතර නිතර කරුණාවන්තවීම නිසා උන් සංසුන් වෙති. කරුණාවන්ත මනුෂ්‍යයා කාහටත් ප්‍රිය කෙනෙකි. ඔහු කිසිවෙකුට ගරහන්නේ නැත.

ඇතැම් විට කෙනෙක් සමාජයේ යහපත පිණිස යයි කියමින් කෙනෙකුට ගරහයි. එය කරුණාවන්ත භාවය බව පෙන්වීමට ද එම පුද්ගලයා වෑයම් කරයි. එහෙත් සැබෑ කරුණාවන්තකම නම් සමාජයට අහිතකර අපරාධ කරන පුද්ගලයාට පවා කරුණාව දයාව දැක්වීමයි. ඔහු හොඳ ගුණ යහපත් පුද්ගලයෙකු වන්නේ එවිටයි.

වරද කරන, නරක හා දුෂ්ඨ පුද්ගලයෙකුට තව තවත් දරදඬුකම් පෙන්වුවහොත් එම පුද්ගලයා තව තවත් පෝරිසාදකම් කිරීමට පෙළඹේ. ගින්නක් නිවීමට ජලය ඉසිය යුතුයි. ගින්නට තව තවත් ගිනි ඉසීමෙන් ගින්නක් නිවී යන්නේ නැත.

මේ බව නොදන්නාකමින් බොහෝ දෙනා ද්වේශ කරන අයට ද්වේශ කරති. ඉරිසියා කරන අයට ඉරිසියා කරති. එකට එක කිරීමට යෑමෙන් අවුලක් වියවුලක් බවට පරිවර්තනය වනවා මිස නිරවුල් වන්නේ නැත.

ඔබට ඉරිසියා කරන අයට ඔබ සමාව දිය යුතුය. ඔබට වරද කරන අයට ඔබ සමාව දිය යුතුය. එහෙත් ඔබේ කකුලේ ඇනුණ කටුවක් මෙන් ඔබ දෙන සමාව පිළිනොගෙන ඔබට තව දුරටත් රිදවනවා නම් එහි දී ඔබ ඇනුනු කටුව ගලවා ඉවතට ඇද දැමිය යුතුය. ඔබේ සමාව දෙන සිතින් එම පුද්ගලයාට සමාව දී ඔහු ගැන සිතීම සිතින් ඉවත් කරන්න.

හිරිහැර බාධා කරන අය ගැන නිතර සිතන්නට යන්නට එපා. ඔවුන් ගැන සිතන විට ඔවුන්ගේ බලය තවත් වර්ධනය වේ.

චිත්ත ධර්ම විද්‍යාව යනු කිසිදු ආගම් භේදයකින් කිළිටි නොවන උත්තරීතර ධර්මයක්. එය සියළු විද්‍යාවන්ට එකඟය. එය සියළු ආගම් වලට එකඟය. ස්වභාව ධර්මයා හොඳ මිනිසුන්ට මෙන්ම නරක මිනිසුන්ට ද ස්වකීය ආශීර්වාදය ළඟා කර දෙති. එමෙන්ම චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් වලින් පවසනු ලබන්නේ කුමන විදියේ හෝ භේද වීම් වලින් තොර සමගියකි. සිත ආරක්ෂා කරගැනීමට උගන්වන නවීනතම ඉගැන්වීම චිත්ත ධර්ම විද්‍යාවයි.

ස්වභාව ධර්මයේ ආශීර්වාදයන් වන අව්ව, වැස්ස, සුළඟ පොදුවේ කා හටත් එක සමානව ලැබේ. නරක කරන අයට හෝ හොඳ කරන අයට කියා ඒවා සීමා වෙන්නේ නැත. මේ අයුරින් අපේ කරුණාව හා මෛත්‍රිය කාහටත් පොදුවේ දැක්විය යුතුය. එක් කරුණාවන්ත වචනයකින් කෙනෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් කරන්නට හැකිවනු ඇත. එසේම එක් සැඬ පරුෂ වචනයකින් කෙනෙකුගේ වටිනා ජීවිතයක් අනාථවීමට වුවද ඉඩ තිබේ.

කරුණාවන්ත වීමට ඔබට කිසිම මුදලක් වැය වන්නේ නැත. ඔබට කිසිදු වෙහෙසක් දැනෙන්නේ ද නැත. එහෙත් අද පටන් වෙනදාට වඩා සුළු ප්‍රමාණයකින් හෝ කරුණාවන්ත වී බලන්න. ඔබ මෙතෙක් නොදුටු විස්මිත ලෝකයක් ඔබ අත්දකිනු ඇත. ඔබේ කරුණාවන්තකම ඔබ ඇසුරු කරන අය අතර සීඝ්‍රයෙන් බෝ වී යන අයුරු ඔබට ද දැක බලා ගත හැකිය. ඔබ මෙතෙක් අනුන් ගෙන් නොලත් සහයෝගයක් ඔබ වෙත ගලා එන බව ඔබට අත් දකින්නට ලැබේ.

කරුණාව දයාව නොහඳුනන අයට එය හඳුන්වා දීමට ඔබ පුරෝගාමියෙකු වන්න. ඒ සඳහා කළ යුත්තේ පළමු කොට ඔබ කරුණාබර හදවතක් ඇති අයෙකු වීමයි.

ඔබ සමාජය වෙනුවෙන් යම්කිසි සේවයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් ද?

එසේනම් ඔබට ඒ සඳහා මෙන්න කදිම අවස්ථාවක්. ඔබ කළ යුත්තේ ඔබ ජීවත්වන මුළු සමාජයටම වචනයෙන් හා ක්‍රියාවෙන් දයාව කරුණාව හඳුන්වා දීමයි. මෙය ඔබේ ජීවිතයේ එකම පරමාර්ථය වුවත් කම් නැත. ඒ මන්ද යත් ඒ එකම ක්‍රියාවෙන් පවා ලෝකයාට සැනසීමක් ලැබෙන බැවිනි.

ඔබට සාමය, සතුට, සම්පත උදාවේවා!

-සුමනදාස සමරසිංහ, 1980 සැප්තැම්බර් 15 වැනිදා චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

One comment on “මෙය අත්හදා බලන්න

Comments are closed.