මෙය අත්හදා බලන්න

ඔබ ළඟ ඇති එක හොඳ ගුණයක් මෙනෙහි කරන්න. එම හොඳ ගුණය ඔබ වගා කරනවා ද? එය ඔබ ළඟක දී පාවිච්චි කළා ද? එසේ පාවිච්චි කළේ කාගේ යහපත සඳහා ද?

ඔබේ මනසේ දිළිසිය යුතු නීතියක් ඇත. එනම්, “සියළුම සම්පත් උදාකර දීමට මගේ සිත තරම් බලවත් අන් බලවේගයක් නොමැත,” යන්නයි. ඔබ හා සම්බන්ධ යම් හොඳ ගතිගුණයක් ගැන දිනකට විනාඩි කිහිපයක් සිත යොමු කරන්න. මෙම ව්‍යායාමයෙන් ඔබට පුදුම අත්දැකීමක් ලැබේ.

සැබෑ අත්දැකීම ලැබිය හැක්කේ තමන් අවංක වූ තරමටය. එවිට ඔබේ අඩුපාඩු වලට හේතුව හා ඒවා මකාගත හැකි ක්‍රම ගැන ද දිනකට විනාඩි කිහිපයක් සිත යොමු කළ හැකියාව ලැබේ. බොරුවකින් සිත සනසා ගැනීම සැබෑ අත්දැකීමක් ලැබීමට විශාල බාධාවකි.

චේතනාව කර්මය බව නොදැන වාසනාව ඇත්තේ තමන්ගෙන් බාහිර වූ අන් තැනක යයි සිතන පුද්ගලයා තමන්ගේ නම ගම හා ගේ දොර ගැන මතකයක් නැති විස්මෘතිය රෝගයෙන් පෙළෙන අයෙක් හා සමානය.

හිතුවක්කාර දඩබ්බර අවනත නොවන සිතක් තමනට ඇතැයි සිතා සිටින පුද්ගලයා ද මිථ්‍යා ලෝකයක වල්මත් වී සිටින්නෙකි.

දිනපතා ඔබ සතු එක ගුණයක් මෙනෙහි කර එය වර්ධනයටත් ඔබ සතු එක අඩුපාඩුවක් මෙනෙහි කර එය හදාගන්නටත් විනාඩි කිහිපයක් ගෙවා ඔබේ සිතේ බලය ගැන ඔබම අත්හදා බලන්න.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය 1979 ඔක්තෝබර් 15