දැන් එතකොට ‍ෆිල්ම් එක කොහොමද? How about the movie?

පන්සිල් පද පහෙන් තමන් මොන සිල් පදේ ‍රැක්කත් නැතත්, හතර වෙනි සිල්පදේ රකින්නැති එකාට ඕන සිල්පදයක් කඩලා රකිනවා වගේ ඉන්න පුළුවන්.මොකද හතරවෙනි සිල්පදේ හෙවත් තමන් බොරු කීමෙන් වළකිනවාය කියන එක කැඩුවාම තමනට ඕනම බොරු කෙප්පයක් අත අරින්න පුළුවන්නේ.ඒ කියන්නේ බොරු කියන කෙනාට ඕනම පව් වැඩක් කරන්න පුළුවන්,ඇයි කරලා නෑ කියන්න පුළුවන්නේ.ඉස්සරහට එන ඡන්ද කාලේ ටොම් පච ගැලුම් පිටින් දිග අරින හින්දා දැන්මම කෙප්පයක් සම්බන්ධ වැඩක් මං කියන්න හිතා ගත්තා.

මේක වුනේ අපි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ.ඒ කාලේ අපිට ලැබෙන හරි අපූරු අත්දැකීමක් තමයි විවිධ ආකාරයේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න ඉඩ ප්‍රස්තා ලැබෙන එක.හැම සරසවියේම වගේ මාසෙකට නාට්‍ය,චිත්‍රපටි,සංවාද,ආරාධිත දේශන 3-4ක් මාසෙකට සංවිධානය වෙනවා.මේවට ඉතින් ඕනම කෙනෙකුට අහන්න,බලන්න එන්න පුළුවන්.කාටවත් අනිවාර්ය නෑ.

ඔන්න දවසක් අපේ සරසවියේ (එතකොට අපි දෙවන වසරේ) සංවිධානය වුනා සම්භාව්‍ය සිනමා උළෙලක්.කොහොමත් චිත්‍රපටි උදේට පෙන්නන්නේ නෑනේ.හවසට පටන් අරන් රෑ වෙද්දි තමයි ඉවර වෙන්නේ.

අපේ බැච් එකේ හිටියා කොල්ලො දෙන්නෙක්,එක්කෙනෙක්ගේ කාඩ් එක කුකුළා.

අනිකා ඇවිල්ලා බඩා.

ඇත්තටම මේ කාඩ් සරසවි කාඩ් නෙවෙයි.මේ දෙන්නම සරසවියෙදි ‍රැග් එකට බයේ හැංගිලා හිටපු මේ දවස්වල ගල් රෝල පෙරලන්න ප්‍රසිද්ධ පාසලක දෙන්නෙක්.

කාඩ් ඉස්කෝලෙන් දාපු ඒවා.සම්පූර්ණ කාඩ් දාන්නේ නෑ,මොනවා වුනත් උන්ට කොහොම වෙතත් අපිට මේ ඉස්කෝලවල ආත්ම ගරුත්වය ගැන යම් හැඟීමක් තියේනේ.

ඔන්න මේ දෙන්නා, ඒ කියන්නේ කුකුලයි බඩායි දෙන්නම කතා වුනා මේ සිනමා උළෙලේ චිත්‍රපටියක් බලන්න එන්න.(මෙයාලා ගෙවල්වල ඉඳන් සරසවියට ආපු අය)

බඩා මුලින්ම ගෙදරට කියලා තිබ්බා මෙහෙමයි මෙන්න මෙදා මෙහෙම චිත්තරපටියක් පෙන්නනවා,ඒක බලන්න යනවා,රෑ වෙලා තමයි එන්න වෙන්නේ කියලා.

ඒ වුනාට කුකුළා කිව්වේ නෑ මෙහෙම චිත්තරපටියක් බලන්න යන කතාවක්.

මේකා අම්මට කියලා තියෙන්නේ මේ කියන දවසේ රෑ ලෙක්චර් එකක් තියෙනවා ඒ හින්දා රෑ වෙලා තමයි එන්න වෙන්නේ කියලා.ඒ මදිවට මේ දවසේ දවල් ලෙක්චර් නැති හින්දා මෙයා හවස තමයි කැම්පස් එන්න කියලා ගෙදරින් එන්න නියමිත වෙලා තිබුනේ.

 

ඔන්න කුකුළා ඔය කියන දවසේ ගෙදරින් අම්මට කියපු බොරුව පරිදි කැම්පස් එන්න පිටත් වෙලා.මිනිහගේ   ෆෝන් එක කරුමෙටම වගේ චාජ් බැහැලා.ඒක ගනන් ගන්නේ නැතුව මේකා එහෙමම කැම්පස් එනවා.මේ අස්සේ බඩා කලින්ම කැම්පස් ඇවිල්ලා බැලුවා කුකුලගේ ෆෝන් එකත් වැඩ නෑ.මේකා අද එන්නේ නැද්ද දන්නේ නෑ කියලා මිනිහගේ ඇලේ දාන්න වටින මොළය ක්‍රියාත්මක කරා.

බඩා ගත්තා කෝල් එකක් කුකුළගේ ගෙදරට.කුකුළගේ අම්මා ගත්තා ෆෝන් එක.

 

“”ආ ඇන්ටි මේ …… කතා කරන්නේ,මේ අපේ ……(කුකුළගේ නම ) ඉන්නවද දන්නේ නෑ නේද?””

 

“”ආ පුතා දැන් ආවනේ කැම්පස් එකට එනවා කියලා””

“” ආ…. ඇත්තද ඇන්ටි,මේ …… අද මේ අපේ කැම්පස් එකේ ‍ෆිල්ම් එකක් පෙන්නනවා කියලා …………….(කුකුළා) එනවා කිව්වා ඒකයි ගත්තේ””

කියලා බඩා බොහොම බුද්ධිමත් විදිහට සංවාදය ඉවර කරා.

 

දැන් ඔන්න කුකුළා කැම්පස් ආවා කියමුකෝ.බඩා කිව්වේ නෑ කෝල් එක ගැන.ඉතින් කුකුළත් බඩා එක්ක අර චිත්තරපටිය බලලා ගෙදර ගියා.

 

දැන් ඔන්න කුකුළගේ ගෙදර.

කුකුළා අම්මට විස්තර කරනවා ලෙක්චර් එක ගැන.

අපෝ අම්මේ අද කලින්ම ගිය එක හොඳයි,ලමයි ගොඩක් හිටියා,ලෙක්චරර් අපෙන් ප්‍රශ්න එහෙමත් ඇහැව්වා එහෙම කියලා කුකුළා දොඩවනවා.අන්තිමටම උගේ කියවිල්ල අහන් ඉඳලා ඒ අම්මා ඇහුවලු මෙන්න මෙහෙම

“”දැන් එතකොට ‍ෆිල්ම් එක කොහොමද?””

කුකුළා උඩ බිම බැලුවාලු.ඌට හිතාගන්නවත් බැරි වුනාලු අම්මා කොහොමද මේක දැන ගත්තේ කියලා.

ඇත්ත්ටම ඒ ආන්ටි මෙතන වැ‍රැද්දක් වෙලා නෑ කියලා තේරුම් ගත්ත නැති හින්දා අදටත් කුකුළා ජීවතුන් අතර.

බඩාගේ ටියුබ් ලයිට් මොළේට තමන්ගේ යාළුවා බේරගන්න තේරෙන්න බැරි වුනාට ඌට කැම්පස් එකේ විභාග පාස් කරන්න පුළුවන් වෙච්ච හින්දා දැන් බඩා ලොකු ඇකඩමියාවකින් ඉන්නේ.කුකුළ නම් කරන ජොබ් එක කිව්වොත් මට නඩු දායිද දන්නේ නැති හින්දා මං කියන්නේ නෑ.

5 thoughts on “දැන් එතකොට ‍ෆිල්ම් එක කොහොමද? How about the movie?

  1. හපො ඔයවගෙ ටියුබ් ලයිට් එක්ක වැඩකලොත් නම් ඉතින් බෙල්ල නැ තමයි

  2. //යාළුවා බේරගන්න තේරෙන්න බැරි වුනාට //

    ඔන්න ඔයවාගේ නොගැලපෙන වචන ලියැවුන තැන් කිහිපයක්ම තියනවා , ටිකක් බලන්න යාළු . ( ඔය වැඩේ මටත් නිතරම වෙනවා)

    • හිටපු ගමන් වෙනවා ඒ වගේ වැරදි.ඒ වැරදි පෙන්වා දීම ගැන ස්තූතියි.මේකේ එහෙමම තියෙච්චාවේ.ඊළඟ ඒවායේ ඉඳන් බලමු.

Leave a comment