දියුණුවක් නැත්නම් ඒ ඇයි?

ඉගෙනීම, දක්ෂකම හා නුවණ සමඟ ධෛර්ය හා වීර්යය ද තිබෙන කෙනෙකු දියුණුවක් නොලබා සිටීම පුදුමයකි. තමන්ගේ දියුණුවට ඇති බාධාව අදෘශ්‍යමාන බලවේගයක් යැයි සිතන අය සිටිති. පෙර කරුමය හා ගුප්ත බලපෑම් නිසා යැයි සිතන්නට නැඹුරු වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න මතුවන විට දී ය.

ස්වකීය දක්ෂතාවයන් සියල්ලම එකම ඉලක්කයක් වටා ගොණු නොකරන පුද්ගලයාට දියුණුවක් ලැබීමට බැරිය. හැම දෙයක්ම බදාගෙන කරන්නට යන අය අන්තිමේ දී කිසිම දෙයක් බදාගෙන නැති බව පෙනී යයි.

ඒ නිසා ඔබට පැහැදිලි එක ඉලක්කයක් අවශ්‍යයයි.

ඔබට කරන්නට පුළුවන් මොන දේවල් ද, කරන්න බැරි මොන දේවල් ද, කියා කීමට වෙන කිසිවෙකුට බැරිය. වැඩකට බහින තුරු තමන්ගේ හැකියාවන් මෙපමණ තිබුනාදැයි තමන්ටම අදහා ගන්නට දුෂ්කර වෙයි. එසේම දියුණු කරගත යුතු හැකියාවන් මේවා යැයි තමන්ට දකින්නට ද හැකිවේ. හැම පැත්තකින්ම දියුණු වූ අය අපට තවම හමු වී නැත. එක ඉලක්කයක් ඇතිව කටයුතු කොට ඒ ඉලක්කය ජයගෙන එකින් එකින් දියුණු වී සිටින අය නම් ඕනෑ තරම් හමුවෙති.

සෙක්කුව වටා යන බූරුවා වෙහෙස වී කොපමණ දුර ගියත් ගමන නතර වෙන්නේ එකම රවුම ඇතුලතය. මිනිසා එසේ නොවිය යුතුයි. ඔබ හැමදාමත් එක තැන රැඳී සිටින්නේ ඔබේ කැමැත්ත පිටයි. ඔබට යන්නට ඉලක්කයක් ඇත.

ඔබ එනතුරු ඔබේ ඉලක්කය බලා සිටියි.

එයට ඔබ වෙත ඒමට අත පය නැති නිසා ඔබ එය වෙත යා යුතුයි.

එකම තැන කරකැවෙමින් කොපමණ වෙහෙස වුනත් ඔබට වෙහෙස වූ පලියට ඉලක්කය වෙත යෑමට බැරිය.

හැරෙන්නට ඕනෑ තැන දී කෙළින්ම යෑම අනුවණකමකි. කෙළින් යෑමට ඕනෑ කරන තැන දී හැර හැරී යෑමත් අනුවණකමකි.

ඉලක්කයක් ඇත්නම් කෙනෙකු එහි ළඟා වීම නතර කළ හැකි කිසිදු බලවේගයක් නැත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ඔක්තෝබර් 1

One comment on “දියුණුවක් නැත්නම් ඒ ඇයි?

Comments are closed.