බුදු දහමෙහි කාලීන අධ්‍යනයක්

1282657471pYQl5Iශ්‍රී ලාංකික බෞද්ධයින් වැඩි දෙනෙකු පාසල් අධ්‍යාපන කාලය තුලදී විෂය මාලාවක් ලෙස බුදු දහම අධ්‍යයනය කර ඇත. බුදුන් වහ්න්සේගේ නොයෙකුත් ජීවිත කථාවත්, උන්වහන්සේ ගේ ඉගැන්වීම් ගැනත්, ජාතක යනාදී නොයෙකුත් කථාත් අප ඉගෙන ගැන ඇත්තෙමු. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව එම දැනුමෙන් මතකයේ රැඳුණු කොටස අඩු හෝ වැඩි හෝ වේවා, එම ඉගෙන ගත් කරුණු වලින් කොයි ප්‍රමාණයක් සැබැවින් ම  තේරුම් ගත්තාද, ප්‍රායෝගිකව යොදා ගත්තා ද යන්න සළකා බැලිය යුතුය. අප බොහෝඑ දෙනෙකු “රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ..” ආදී වශයෙන් කටපාඩම් කිරීම්ත ඉගෙන ගත් නමුත් තථාගතයින් වහන්සේ අපට උගන්වන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි සිතීම වටිනා ය.

බොහෝ බෞද්ධයින් මේ ගැන නොසිතුවාද, බෞද්ධයකු වීමට – විශේෂයෙන් ථෙරවාදී බෞද්ධයකු වීමට මෙය එක්තරා ආකාරයකින් වැදගත් කාලයකි. ඒ සියවස් ගණනාවක් අමතක කර දමා – එසේත් නැතිනම් පුදපූජා වතාවත් වලට සහ ජාතක කථා ඇසීමට පමණක සීමා කොට – තිබූ බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීමෙහිද ඊට සමාන්තරව විශුද්ධි මාර්ගයාදී ග්‍රන්ථ ආශ්‍රිත භාවනානුයෝගී ප්‍රතිපදාවෙහිද පුනරුදයක් ද විසිවන සියවස තුල ඇතිවූ නිසාය.

දැන් අප ජීවත් වන විසි එක්වන සියවස තුල මෙම ප්‍රගමනය තවදුරටත් සිදුවෙමින් පවතී. පාළි ත්‍රිපිටකය පෙරදිග සහ අපරදිග විශ්ලේෂණයට ලක්වීමත්, අන්තර්ජාලය ඔස්සේ ත්‍රිපිටක පරිවර්තන සහ වෙනත් බෞද්ධ ග්‍රන්ථ මූලාශ්‍ර කියවීමට හැකි වීමත්, වෙනත් බෞද්ධ සම්ප්‍රදායන් ගැන කරුණු දැනගත හැකි නිසාත්, බුදු දහම ගැන අධ්‍යයනය කිරීමට මෙය වැදගත් අවස්ථාවකි.

මෙහිදී විශේෂයෙන් වැදගත් අංගයක් වනුයේ සූත්‍ර පිටකයේඅ අධ්‍යයනයේ පුනරුදයයි. මුලින් එක් නිකායක් වූ භික්ෂු සමාජය පසු කලක ස්ථවිරවාද, සාර්වස්තිවාද ආදී නිකායන් වලට බෙදුණු අයුරු අප අසා ඇත. මෙම නිකායන් එකිනෙකට මුලුමණින් වෙනස් වූ අභිධර්ම පිටකයන් භාවිතා කළ නමුදු( සූත්‍රනික වැනි ඇතැම් නිකායන් අභිධර්ම පිටකයක් භාවිතා නොකළහ ), සියල්ලන්ටම බොහෝදුරට පොදු වූ සූත්‍ර පිටකයක්( යම් යම් වෙනස්කම් ඇතිව ) භාවිතා විය. ඉන්දියාවෙන් තුරන් වූ නමුත් චීනයේ සහ ටිබෙටයේ මේ සූත්‍ර වලින් කොටස් ආරක්ෂා වී ඇත. එබැවින් සූත්‍ර දේශනාව සියලු බෞද්ධ සම්ප්‍රදායන්ට පොදු වූ ඉතාම පැරණි උරුමයයි. මීට අමතරව  විශුද්ධි මාර්ගයට පෙරාතුව ලියන ලද විමුක්ති මාර්ගය වැනි ග්‍රන්ථ වල ද චීන පරිවර්තන ආරක්ෂා වී ඇති අතර අපට දැන් ඒවා ද කියවිය හැකිය. ඇතැම් විද්වතුන් බුදුන් වහන්සේ ගේ කාලයේ පැවති උපනිශද් සහ ජෛන මූලාශ්‍ර අධ්‍ය්යනය කිරීමෙන් ද බුදුන් වහන්සේ එකල සමාජයේ තිබූ යම් යම් සංකල්ප තම ඉගැන්වීම සඳහා පාවිච්චි කල අයුරු පෙන්වා දී ඇත.

එපමණක් නොව අපගේ සමීපතම “ආගමික නෑයන්” වන බුරුම සහ තායිලන්ත රටවල විසූ/විසින ස්ථවිරයන් වහන්සේලාගේ පොත්පත් ද දැන් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් අපට කියවිය හැකිය. විශේෂයෙන් ම විදර්ශනා භාවනා ක්‍රම ලොව ප්‍රචලිත කළ බුරුම ස්ථවිරයන් වහන්සේලා අපට මෙහිදී කෘතඥ පූර්වකව සිහි කළ හැකිය.

මෙම බ්ලොග් අඩවියෙහි මූලික අරමුණ වනුයේ අපට මෙලෙස ලැබී ඇති සම්පත් සහ අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන ධර්ම කරුණු – විශේෂයෙන්ම සූත්‍ර දේශනා – අධ්‍යයනය කිරීමය. ඊට අමතරව ඉතිහාසාත්මක සහ කාලීන බෞද්ධ විෂයකරුණු ද සාකච්ඡා කිරීමට අදහස් කෙරේ.

Leave a comment