milinda-prashna

20.08.2014 – ලංකාදිප – මිලින්ද මොරගොඩ
මහජන නියෝජිතයන් තෝරාගැනීමට ඡන්ද පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහපත් ලක්ෂණයකි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු සිය ඡන්ද දායකයන්ගේ අවධානය දිනාගැනීමට කරන වියදම සුළු පටු එකක් නොවන බවට අදහසක් පැන නැගී තිබේ. එයට සමාන්තරව යමින් ලෝකයේ නොයෙක් රටවල් අපේක්ෂකයන් මැතිවරණයකදී කරන වියදම පාලනය කර සමාන අවස්ථා සපයන්නේ කෙසේද යන බරපතල ගැටලූවට විස`දුම් සොයමින් සිටී.
බ‍්‍රසීල මැතිවරණය ලබන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වෙන විට අපේක්ෂකයන්ට ප‍්‍රචාරක අනුග‍්‍රහය එරට රජයේ වියදමින් කරන සූදානමක් ගැන අනාවරණය වෙයි. එයට අනුව ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ රූපවාහිනී දැන්වීම් වියදමින් සියයට අසූවක් බ‍්‍රසීලය ගෙවන අතර නාලිකාව නරඹන ග‍්‍රාහක ප‍්‍රතිශතය සහ ජයග‍්‍රහණය ස`දහා අපේක්ෂකයන්ට ඇති හැකියාව සම්බන්ධ විශේෂ මිනුමකට අනුව එය සිදුවනු ඇත.

එපමණක් නොව මෙම නාලිකා ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයේ දී අපේක්ෂකයන්ට දෙන ගුවන් කාලය ද මෙකී ප‍්‍රමිති අනුව සීමා කර තිබේ. එම තීරණ අනුව සෑම අපේක්ෂකයෙකුටම සමාන අවස්ථා සම්පාදනය කිරීමට හැකිවන අතර මැතිවරණ
ක‍්‍රියාවලිය යුක්ති සහගත එකක් කළ හැකි වෙතැයි බ‍්‍රසීලයේ අපේක්ෂාවයි. ඇමරිකාව මහජන නියෝජිතයන් මැතිවරණ වලට කරන වියදම සීමාකරන නොයෙක් නීති පනවා ඇත. පුද්ගලයන්ට හෝ සමාගම්වලට පවා පක්ෂ වලට හෝ
අපේක්ෂකයන්ට කළ හැකි පරිත්‍යාග යම් විනිවිද පෙනෙන ක‍්‍රමවේදයකට හසුරුවන්නට නීති පනවා තිබේ.

බි‍්‍රතාන්‍ය පවා දේශපාලන පක්ෂ වලට ලැබෙන ආධාර සහ ඒවා වියදම් කරන ආකාරය මහජනතාවට දැනුම් දිය යුතුය. ජර්මනිය අපේක්ෂක වියදම් කෙලින්ම ගෙවන අතර ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් ද මැතිවරණයක දී ලබන ඡන්ද ප‍්‍රමාණය අනුව වියදම් වලින් කොටසක් ආණ්ඩුවෙන් පියවන ක‍්‍රමවේදයක් අනුගමනය කරයි. මෙවැනි ක‍්‍රම මගින් මැතිවරණ වියදම් සම්බන්ධයෙන් පාලනයක් කරන්නේ ඇයි? මැතිවරණ වියදම් සහ අපේක්ෂකයන් අතර ගැවසෙන අනිසි ධනය රටක පාලනය කෙරෙහි කරන බලපෑම අඩු කිරීම වැදගත් හෙයින්ය. ඕනෑම රටක මැතිවරණයක දී අපේක්ෂකයන්ගෙන් කොටසක් කලූ සල්ලි උපයෝගීකර ගන්නා අතර ඒවායේ තරම අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරකට පත්වන බව පැහැදිලිව අනාවරණය වී තිබේ. නොයෙක් ක‍්‍රම වලින් අයථා ආකාරයට ධනය උපයන ඇතැමුන් ඒවා යොදවන්නේ තම අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයටය. ධනය නැති නොඑසේනම් සාධාරණව ධනය උපයන අපේක්ෂකයන් මෙම බලවත්කම හමුවේ අසරණ භාවයට පත්වෙයි.

මහජන නියෝජිතයෙකු වීමට මහා ධනයක් ආයෝජනය කළ යුතු වන අතර එම ධනය කවර ආකාරයකට හෝ උපයා ගත හැකි බව තහවුරු වෙමින් තිබේ. ඒ අනුව ඉතාමත් දුෂිත සහ අසාධාරණ ක‍්‍රම වලින් ජන මතය වෙනස් වන අතර තමන් වියදම් කළ ධනයට සරිලන ආකාරයේ ප‍්‍රති උපකාර අපේක්ෂාවෙන් ජයග‍්‍රාහකයන් සමග එකතුවන ඇතැමුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග උල්ලංඝනය කිරීම බහුලව සිදුවන බව සෑම රටකින්ම ලැබෙන වාර්තා පෙන්වයි.
බ‍්‍රසීලය පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙම ගැටලූවට එරෙහිව විස`දුම් සොයමින් සිටින අතර එය පහසු හෝ සරල එකක් නොවන බව පැහැදිලිව පෙනේ. මහජන කැමැත්තෙන් ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණ ක‍්‍රියාදාමය සරල සහ ජනතාව ගරු කරන තත්ත්වයකට පත් කරගැනීම අභියෝගයකි.

මැතිවරණකදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් වටා එකතුවන මැර බලය සහ ධන බලය මහජන මතයට බලපෑමක් කරන තත්ත්වයට පත්ව ඇත්නම් එය සමාජ ප‍්‍රගමනයට බලවත් හානියකි. සර්ව ජන ඡන්ද බලය හිමි දීර්ඝ කාලයක් එය අත්හදා බලා නොයෙක් අත්දැකීම් ඇති ශ‍්‍රී ලංකාවට ද මැතිවරණ කි‍්‍රයාදාමයේ හො`ද නරක ගැන අවබෝධයක් තිබේ. ලෝකය යහපත් තැනක් කරන්නට සහ මහජන මතය නිසි ලෙස විමසන්නට අනුගමනය කරන ප‍්‍රතිපත්ති සම්බන්ධව අවධානයක් රට තුළ තිබිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පමණක් නොව එහි ඇති ගුණාංග ආරක්ෂා කරන ප‍්‍රයත්නය ද රටක වටිනාකම් ඉහළ නංවන බව අමතක කළ යුතු නැත.
මිලින්ද මොරගොඩ