සැණකෙළිවලින් පිරි – සන්දර්ශනාත්මක – කළමනාකරණය


රටක් ආයතනයක් කළමනාකරණය කිරීමේ දී සෝබනය යොදා ගැනීමට සමහර කළමනාකරුවෝ කටයුතු කරති. ඔවුහු එකක් දෙකක් කර දහයක දොළහක හඩක් නගති. කරන එක දෙක අතිශයින් කුඩා වුව ද ගැටළුවක් නැත. එය ගාම්භීර ආකාරයෙන් සැමරීමට ප්‍රමාණය ඔවුන්ට බාධාවක් නොවේ. ඔවුන්ට විවෘත කරන්නට කක්කුස්සියක් වුව ද සෑහේ. කිරිබත් කා රබන් ගසා රටටම අඩ බෙර ගසා සෙනග රැස්කරවා එවැන්නක් විවෘත කිරීමට ඔවුන් කෑදර ය.

ආරාධනා පත්‍ර, තොරන්, සැරසිලි, හඩ නගන බෙර වැයුම්, නැටුම් යන එකී නොකී සියල්ලෙන්ම අඩු නැතිව ඔවුහු ඒවායේ නියැලෙති.

ඔවුන්ට අතිශය කලාත්මක වචන සැට් එකක් ද තිබේ. ඒවා නිපදවන්නට හැඩ වැඩ ගසා පෙල ගස්වන්නට වෘත්තීය සාහිත්‍ය කරුවන් ද සහභාගි කර ගැනේ.

මේ සැමරුම්වල ප්‍රශස්ති ගායනාවල නිමක් දැකිය නොහැකි ය. ප්‍රශස්තියෙන් නොසනසන කෙනෙක් නැත. සැමට සතුටු ය.

බොහෝ උත්සවවල කටින් කෙරෙන ප්‍රශස්ති ගායනයට ඌණ පූර්ණයක් වනු පිණිස අත් පත්‍රිකා සමරු කළඹ ද නිකුත් වන්නේ ය. වෛරණයෙන් ලස්සණ කඩදාසියේ මුද්‍රිත මේවා ඇතුළත එකිනෙකාට කරන ස්තුති කිරීම් වර්ණනා මිසක ගත යුතු වෙන හරයක් නැත.

අපට ඇත්තේ ආරාධනය ලැබුනහම ඉස්තරම් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සහභාගී වීමට ය. ගායනයෙන් වාදනයෙන් නර්තනයෙන් සංග්‍රහ ලැබ ඉනුත් නොනැවතී කැවුමෙන් රස අහරයෙන් සප්පායම් වන්නට අවස්ථාවක් ද එවිට ලැබෙන්නේ ය.

සහභාගීවන අයට පවා ඒ නිසා පැමිණිලි කරන්නට දෙයක් නැත.

විවෘත කරන්නට තරම් දෙයක් නිපදවා නැති විට කරන්නේ සංවත්සරයක අවසරයට මුවා වීම ය. නැතිනම් ජාතික හෝ ආගමික කටයුත්තකට ජැක් එකක් ගැසීම ය. බණක් දානයක් වුව ද අවශ්‍ය උත්සව ශ්‍රීය නැතිනම් ඊට අවශ්‍ය නිමිත්ත ගෙන එන්නේ ය.

මේ හැම එකකින්ම නායකයාට බැබලෙන්නට අවස්ථාව ලැබෙන්නේ ය. ඔහුව බබලවන්නට සෙසු අයට ඉඩ හසර පෑදෙන්නේ ය. ඒ අතර කටයුත්තට අතගහන හැම කෙනෙක්ම ඉබේම ඉහළ නැංවෙන්නේ ය.

එහෙම බැලුවහම සම්බන්ධ වන හැමට එක් හෝ තවත් විදිහකින් ලාබයක් සිදු වන්නේ ය.

පාඩුවක් වෙනවා නම් රටේ ජනතාවට ය. ඒ වැයවන්නේ ඔවුන්ගේ මුදල් නිසා ය. නැතිනම් සමාගමේ පාරිභෝගිකයන්ට ය. මේ සැණකෙළියේ බර පැන ද උසුලන්නට සිදුවන්නේ ඔවුන්ට නිසා ය.

මේ සන්දර්ශනාත්මක කළමනාකරණයට ඔවුන් වැදගත් නැත. කේක්වල අයිසින් තවරන්නට මිස කේක් හදන්නට ඔවුන් දන්නේ නැත. එහෙත් අයිසින් යොදා ලස්සණ කාඩ්බෝඩ් නිර්මාණයක් හැඩ වැඩ කරාම කන්න බැරිවාට බලන්න බැරිතරම් ලස්සණ ය. ඒ බව ඔවුහු දනිති. ඔවුන් රවටන්නේ අපේ ඇස් ය. ඒ ඉතින් අප රැවටෙන නිසා ය.

සැමරුම් උත්සව අවශ්‍ය ය. ඒ මූලික කටයුත්තට තවත් හැඩයක් එක් කිරීමට ය. එහෙමට කටයුත්තක් නැතිව නිකම්ම හැඩයක් හැදීමට නොවේ.

3 thoughts on “සැණකෙළිවලින් පිරි – සන්දර්ශනාත්මක – කළමනාකරණය

  1. යම් පුද්ගලික අංශයක ව්‍යාපාරයක් එහි සැණකෙලි වලට සහභාගී වෙන අයට “ලාබ උපයන්නට” කාලය මිඩංගු කරන්නේ ද ඔවුන් හනිකට බංකොළොත් වෙන හැටි දකින්නට කියවන්නට අවස්ථාවක් ලංකාවේ අයට ලැබුණත් එසේ වූයේ මන්දැයි ගැන එක්කෝ සියළු ජනමාධ්‍ය නිහඬ වෙති. නැත්නම් ඔවුන් නොදන්නාකම නිසා හෝ ආකල්ප පක්ෂග්‍රාහීත්වය නිසා හේතු වැරදි ආකාර වලින් පැහැදිලි කරති. එහෙත් ඇමෙරිකාවේ වාසය කරන අපට ජනාධිපති ඔබාමා සහ උප ජනාධිපති බයිඩන් සහභාගී වූ ජනතාවගේ බදු මුදලින් ඩොලර් මිලියන 535 ක් ෆෙඩරල් ආණ්ඩුවෙන් ලබාගත්, සොලින්ඩ්‍රා කොම්පැණිය බංකොළොත් වී ගිය හැටි දකින්නට ලැබිණ. shovel ready වැඩ සටහන අසාර්ථක යැයි ඔබාමාටම ප්‍රසිද්ධියේ පිළිගන්නට සිද්ධ විය. මෙවැනි උත්සව සඳහා ලංකාවේ ආරාධනා ලබන අය නොගියොත් ඔවුන්ගේ ආණ්ඩුවේ රස්සාව කරගෙන යාමට නොහැකි බවත්, පුද්ගලික අංශයේ අය නොගියොත් ඔවුන්ගේ ව්‍යාපාර වලට වැඩියෙන් බාධක මුණ ගැහෙන බවත් සමහරු කියති. ඇමෙරිකාවේ වාසය කරන අපට ආණ්ඩුවේ කිසිවෙකුගේ සැණකෙළි වලට සහභාගී නොවී අපේ ව්‍යාපාර කරගෙන යාමට තවමත් හැකියාව තිබීම අතිශයින් ආරක්ෂා කරගත යුත්තකි.

  2. Kandyan says:

    වැඩේට මිලියනයයි…විවෘත කිරීමේ සැණකෙලියට මිලියන 10යි. උදාහරණ ඕනෙ තරම්. ඕක තමයි එදාත් උනේ, අදත් වෙන්නේ, හෙටත් වෙන්නේ! අනික සමරු ඵලක වල තියෙන නම් ටික, ලොක්කාගේ ඉඳලා සොක්කා දක්වා නම් තියෙනවා.

Leave a comment