Monday, July 7, 2014

ජර්මනිය බ්‍රසීලයේ පාළු ගෙදර වලං බිඳීවිද? ගෙදර යැවේද?

ප්‍රංශයට එරෙහිව තම ආදිපත්‍ය පෙන්වූ ජර්මනිය නේමා හා දියාගෝ සිල්වා නොමැති බ්‍රසීලය පරාජය කිරීමට දත මැදගන සිටී. 



2011 ජර්මනිය බ්‍රසීලය පරාජය කලේ 3-2 ලෙසිනි.
එම තරඟයේදී ස්වාසෙන්ටයිගර්, ගෝට්ස් හා ෂ්රූල් ගෝල රැස් කලහ. ඔවුන් වර්ථමාන ජර්මන් කණ්ඩායමේ ක්‍රීඩා කරති.

2005 දී බ්‍රසීලය 3-2 ලෙස ජර්මනිය පරාජය කලේය.

2004 දී ජර්මනිය 1-1 ලෙස බ්‍රසීලය හා සමවිය.
2014 තරඟාවසානය කෙලෙස වේද?

පාපන්දු ලොව සුපිරිත්වය ඉල්ලන ඉතාම ශක්තිමත් කණ්ඩායම් දෙකක ගැටීමක් වන මේ තරඟය ලෝක කුසලානයේ අවසාන තරඟය සේ විය හැකිය. බ්‍රසීිලය තම නිවසේ අභිමානය රැක ගැනීමට උත්සාහ කරන අතට ජර්මනිය 2006 තම රටේදී ගිලිහුනු ලෝක කුස‍ලානය ලබාගැනීමට වෙර දරනු ඇත.



ප්‍රංශ තරඟයේ ජයග්‍රාහී ගෝලය ලබාගත් මැට් හැමෙල්ස් හොඳින් ක්‍රීඩා කිරීමත්, බ්‍රසීලයේ මැදි ආරක්‍ෂාව දුර්වල වීම උරගා බැලීමට හැකිවීමත් තොමස් මුලර්, මාරියෝ ගොටෙස් හා ඔසිල්ට වාසිදායක වීමත් ජර්මනියට වාසියකි.



නේමා ආබාධ වීම බ්‍රසීලයට ඛේදවාචකයකි. නායක දියාගෝ සිල්වාගේ තරඟ තහනම බ්‍රසීලයට ද්විත්ව ප්‍රහාරයක් වීය. පුහුණුකරු ස්කොලාරිට උහතකෝටික ප්‍රශ්නයක් විසඳීමට ඇත. පාපන්දු ජීවිතය කරගත් බ්‍රසීලයට දක්‍ෂ ක්‍රීඩකයන් අඩුවක් නොමැත. නමුත් කෙටි කාලයකින් බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනකු ආදේශනය ඔහු නොසිතූවක්ය.


මෙහිදී ඔහුට හල්ක්, ඔස්කා, ඩේවිඩ් ලුයිස් මත රැදීමට සිදුවේ. නේමා හිදැස බ්‍රසීලයේ ක්‍රීඩකයන්ගේ හදවතට දැනී ඇති මොහොතක නේමා වෙනුවන් තමන් උපරිමයෙන් ක්‍රීඩා කරන බව ඔවුන් පවසති. නේමාගේ සිදුවීම බ්‍රසීල කණ්ඩායමේ එකමුතුව වැඩි කරන බවත් බ්‍රසීලයට දක්‍ෂ ක්‍රීඩකයන් 11ක් තරඟයට සහභාගී කල හැකි බවද ජර්මනියේ ක්‍රීඩක ස්වාසෙන්ටයිගර් පවසයි.

ජර්මනිය තරඟාවලිය මුල හොඳින් ක්‍රීඩා කලද, ලෝක කුසලානය දිනාගන්නට මහත් ඕනෑ කමක් තිබෙන බව නොපෙනේ. ඔවුන්ගේ ක්‍රීඩාව ස්ථාවර නමුත් බ්‍රසීලයට වඩා ගතික බව හා වේගය අඩුය.  පෘතුගා‍ලය දක්‍ෂ ලෙස පරාජය කල ජර්මනිය ඇල්ජීරියා තරඟ ජය ගත්තේ අසීරුවෙනි. මැට් හමල්ස්ගේ හැකියාවෙන් ප්‍රංශ තරඟය ජය ගැනීමට ජර්මනියට හැකිවිණි.


බ්‍රසීල රසිකයන්ට ජයග්‍රහණය හැර වෙනත් දෙයක් ඕනෑ නැත. බ්‍රසීලයේ පීඩනය එයයි. පිටුදකින මට්ටමෙන් බ්‍රසීලය ගොඩ ආවේ දඬුවම් පහර වලිනි. කොලම්බියා 2-1ට පරාජය කලේ ශරීර ශක්තියෙනි. දෙපසම කළ නීති විරෝධී ක්‍රියා 54කි. 31ක් බ්‍රසීලයේ ගිණුමට! එය 2002 බ්‍රසීල කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරයට නොවේ.
රොනල්ඩෝ, රිවැල්ඩෝ, රොන‍ල්ඩීනියෝ, කෆූ, රොබර්ටෝ කාලෝස් හා රොබීනියෝ ඇතුලු බ්‍රසීල කණ්ඩායම ස්කොලාරි යටතේම ලෝක කුසලානය දිනුවා මෙන්ම ලෝකයේ රසිකයන්ද දිනාගත්හ.


ජර්මනියටද ශරීර ශක්තිය අඩුවක් නොමැත. ගැටුම්කාරී ජයග්‍රහණය ලබා රසික ආදරය ගිලිහීම මනරම් පාපන්දු ක්‍රීඩාවක ලක්‍ෂණය නොවේ. මේ නිසා බ්‍රසීලය ජයග්‍රහණය සඳහා පාපන්දු ක්‍රීඩා කල යුතුය.



පා‍පන්දු තරඟයක යෙදෙන්නේ 11ක් වුව කණ්ඩායමේ 23 දෙනාම ඊට දායක විය යුතුය. බ්‍රසීලයේ ශක්තිය ස්කොලාරි වටේ ක්‍රීඩකයන්ගේ ලඹැඳියාව හා එකමුතු කමයි. එය නේමාගේ ඛේදවාචකයෙන් ශක්තිමත් වී ඇත. ඩේවිඩ් ලුයිස් ඊට නායකත්වය දෙනු ඇත.




තරඟාවලිය ආරම්භයේදී විචාරකයින් ගෝල රකින ජුලියෝ සෙසා දුර්වල යයි සිතුවද චිලී දඬුවම් පහර දක්වා ගිය චි‍ලී තරඟය ජයග්‍රහණය කලේ ඔහුගේ දක්‍ෂතාවයෙනි. ඔහු දුර සිට එන ප්‍රහාර සහ පරාවර්ථනය කල බෝලයට එන දෙවන ප්‍රහාරයන්ද රැකිය යුතුය. ගෝලය අසල‍ටම එන මිරස්ලෝව් ක්ලෝස්, බෝලය එන ඕනෑම තැනක සිටිය හැකි මු‍ලර් සහ ඉහලින් පියඹා යන හිස් පහර දෙන හමල්ස් ඔහුගේ ගෝල කොල්ල කරුවන්ය. දෙපයෙන්ම ක්‍රීඩා කරන මෙසුට් ඔසිල් ගෝල සීමාවේ දෙපසින් රිංගා එන්නෙකි. ජූලියෝ සෙසාට ඉතා කාර්ය බහුල විනාඩි 90ක්! ඔහු සාර්ථක වේනම් බ්‍රසීලයම සාර්ථක වේය.


බ්‍රසීලයේ මැද පිටියේ ක්‍රීඩා කරන ඔස්කා, මාර්සෙලෝ, පෝලිනියෝ සහ හල්ක් ස්ථාවර ආරක්‍ෂාවක් ලබාදෙන ගමන් ප්‍රහාර දියත් කිරීමට හැකියාව ඇත්තෝය. ප්‍රනාන්දිනෝ හා ඩේවිඩ් ලුයිස් පසු පසින් ආවරණය කරති. කහපත් ලබා තරඟ තහනමකට ලක්වූ මැද පෙල තරඟ මෙහෙයු ගස්ටාවෝ ජර්මන් තරඟයට ක්‍රීඩා කිරීම අස්වැසි‍ල්ලකි. එමනිසා ඔස්කා ඉදිරියට ගත හැක. අළුත් යමක් බ්‍රසීලය කළ යුතුය. ඔවුන් අන්තර්ජාතික තලයේ උපරිම මට්ටම් ව‍ල ක්‍රීඩා කර ඇත.



බ්‍රසීලය ජර්මන් තරඟයේදී ෆ්‍රෙඩ් වෙනුවට හල‍ක්ද , නේමාගේ ස්ථානයට විලියන්ද, දකුණු ප්‍රහාරක ලෙස ඔස්කා ද යොදාගැනීමට හෝ ඔස්කා මැදට යොදා හල්ක් දකුණු ප්‍රහාරක ලෙස යෙදිය හැක. ඉහත විලාසයට ක්‍රීඩා කරන්නේ නම් බෝලය මැදිපිටියේ  ප්‍රහාරයට අවස්ථා නිර්මාණය කිරීමද කල හැකිවේ.


නේමා නොමැතිකම බ්‍රසීලය ගැඹුරට වී ප්‍රහාරයට හා  ආරක්‍ෂාවට මුල් තැන දෙමින්, කඩා වදින ප්‍රතිප්‍රහාරයක් මගින් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කරනු ඇත. මෙම ප්‍රහාරය ඉතාමත් ඉලක්කගත විය යුත්තේ ජර්මනියේ ගෝ‍ල රකින්නා වන මැනුවෙල් නුවර් පරයාලීම පහසු නොවන බැවිනි.  මේ දක්වා තරඟාවලිය ඔහුගෙන් උදුරා ගත්තේ ගෝල 3කි.

නේමා වෙනුවට බ්‍රසීලයට නව ගැලවුම් කාරයකු ඕනැකර තිබේ. ඔස්කා නෙමාගේ පාලන යතුර ගනු ඇත. ක්‍රොඑ්ශියාව තරඟයේ ඔස්කා ගෝලයක් ලබාගත්තේ නේමා ඉවතට ගත් වේලාවේය. දැන් ඔස්කාට නැගෙන්නට වේලාවයි! බ්‍රසීලයට එය අවශ්‍යයි.


චීලී තරඟයේදී බ්‍රසීල රසිකයෝ තම කණ්ඩායමට උපරිම හඬක් දුන්හ. ජර්මන් තරඟයේදී ජය ගෝසාව දෙගුණ තෙගුණ වන්නේ තරඟය රටව‍ල් දෙකක් අතර නොව මහද්වීප දෙකක් අතර බැවිණි.

ක්‍රීඩක ආබාධ, තරඟ තහනම් පාපන්දු ක්‍රීඩාවේ සිදුවන දේ! මහා තරඟාවලියකට සැරසෙන විට අවදානම් කළමණාකරණයෙන් ඒවා විසඳේ. නැති නොකරගත යුතු ප්‍රධානම සාධකය විශ්වාසයයි. බ්‍රසීලයට එය නොඅඩුව ඇත.

ජර්මන් ක්‍රීඩකයන් අතර මෙසුට් ඔසිල්ට බ්‍රසීල තරඟය ඉතා  වැදගත්ය. ඔහු ලෝක කුසලානයේ ඉතා හොඳ දායකත්වයක් ජර්මනියට දෙයි. මිරස්ලෝව් ක්ලෝස්ද ලෝක කුසලාන ගෝල වාර්ථාවක් තිබීමට මාන බලයි!
මුලර් දෙවන වතාවටත් රන් සපත්තුව ලබා ගන්නට තැත් දරයි. දැනට එය තිබෙන්නේ ගෝල 6ක් ලබාගත් ජේම්ස් රොඩ්රිගස් වෙතය.

තරඟයෙන් බ්‍රසිලයට ජයග්‍රහණය කිරීමට නම් නව ආරකට ජර්මන් තරඟයට බ්‍රසීලය අවතීර්ණ විය යුතු අතර ඔවුන්ගේ ක්‍රීඩකයින් තම උපරිමයෙන් ක්‍රීඩා කළ යුතුය. ලෝක කුසලාන ගමන දඬුවම් පහර දක්වා යා හැකි නිසා, විනාඩි 90 තු‍ල ජයග්‍රාහී ගෝල ලබාගැනීම බ්‍රසීලයට වාසියකි!

බ්‍රසීල ජර්මනියේ තරඟය තීරණයට බලපාන ප්‍රධානම ක්‍රීඩක කවුරුන් විය හැකිද?
ඔහු කවුරුන් වූවත් රටක් හඬවාලන ගමන් තවත් රටක් සැණකෙලියක් කරන මහා බලවන්තයෙකි!
ඔහුයි තරඟයේ වීරයා!

කවුද ඔහු!


1 comment:

Stat Print said...

ඔස්කා,හල්ක්