Saturday, July 5, 2014

බ්‍රසීලයේ හදවත සහ ආත්මය සිදුරු වේ!

ලොව දිනන හද බිදෙන ලෝක කුසලානයේ තවත් එක් කථාවකට වඩා නේමා ආබාධයකට ලක්වීම ලොවට දැනේ. 22 හැවිරිදි නේමා වටා ගොඩ නැගුණු බ්‍රසීල කණ්ඩායම ජනාදරය දිනාගති. නේමා නැතිව බ්‍රසීල ලෝක කුසලාන ජයග්‍රහණයක් ගැන සිතීමට පවා අපහසුය.

නේමා තරම් හැඟීම් බර ක්‍රීඩකයකු ලෝක කුසලානයේ නොවීය. බ්‍රසීල ජාතික ගීය ගයද්දී, චිලී සමග තරඟය දඬුවම් ප්‍රහාර වලින් ජය ගනිද්දී නේමා හැඬුවේය. ඔහු දෙවියන් හා බැඳී සිටින අයෙකි. නේමා බ්‍රසීලයේ කැඩපතක් සේය. ඔහු බ්‍රසීලයේ දරුවා, සහෝදරයා, පෙම්වතා සහ බ්‍රසීල සංස්කෘතියේ පිළිපිඹුවයි.

ලෝකයට නේමා සුපිරි තරුවක් වූයේ බාසිලෝනාවේදීය. බ්‍රසීලයට ඔහු ශූරයකු වූයේ ඊට පෙරය. තව දුරටත් බ්‍රසීල කණ්ඩායම මෙහෙය වීමට හෝ ලෝක කුසලානයේ ඔබ පිනවීමට ඔහු නැත. එයම හඳ බිඳුමකි.



බ්‍රසීල කොලම්බියා තරඟය ඇරබෙන විට විචාරකයන් බලාපොරොත්තු වූයේ කොළම්බියාවට බ්‍රසීලය පැරදවිය හැකි බවය. තරඟය ආරම්භයේ සිට උණ‍ුසුම් හා ප්‍රවේගවත් වූයේ ජයග්‍රහණය හැර වෙනත් ඉලක්කයක් දෙපිලටම නොවූ නිසාවෙනි. තරඟයේ 5වන විනාඩියේ නායක දියාගෝ සිල්වා ලබාදුන් ගෝලය සමග තරඟයට ගිනි ඇවිලිනි. තරඟය පුරා අනතුරුදායක අභියෝග 31ක් බ්‍රසීලයෙන්ද 23ක් කොලම්බියාවෙන්ද වාර්ථා විණි.



තරඟය 2-1 වී බ්‍රසීලය ජය ගණිමින් තිබියදී ඉහලින් ආ බෝලයක් නේමා ලබාගැනීමට උත්සාහ කරද්දී කොලම්බියාවේ ජුවාන් සුනිගා පසුපසින් පැමිණ ඔහුගේ දකුණු දණහිස නේමාගේ කොන්දට තබා බෙල්ලෙන් අල්ලා නේමාව බිමට තල්ලු කලේ මාරාන්තික කරාටේ තරඟයක පහරක් ලෙසය. බෝලය අහලක වත් නොතිබූ ඒ අභියෝගය රතු පතක් ලබාදීමට සුදුසුය. නමුත් විනිසුරුවා එය නොදැක්කේය.



තරඟය දිනා නේමාගේ සගයන් ජයපැන් බොද්දී ඔහු ෆෝටලේසාවේ  රෝහලක වේදනාව දරන්නේ තම රටට උපරිමය ඉටුකල වීරයකු ලෙසිනි. හැමෝම රෝහලට රැස්වූවෝය. ආරංචිය එතරම් සුභ නොවීය. සුන්ගාගේ අනිසි අභියෝගයෙන් නේමා ගේ කොඳු ඇට පේ‍ළියේ තුන්වන ඇටය බිඳී ඇති බව බ්‍රසීල කණ්ඩායමේ දොස්තර රොඩ්රිගෝ ලස්මාර් පවසයි. "නේමාට ශල්‍ය කර්මයක් අවශ්‍ය නොවන නමුත් සති ගණනකට ක්‍රීඩා කිරීමට බැහැ" ලස්මාර් කියයි.





"නේමා 2014 ලෝක කුසලානය ලබාගන්නයි සිටියේ! ඔහුට ජර්මන් තරඟයටවත් ක්‍රීඩා කිරීමට බැරිවේවි." බ්‍රසීල ක්‍රීඩක මාරසෙලෝ පවසයි!



"නේමා අපේ ප්‍රධානම ක්‍රීඩකයා! ඔහු නැතිකම අපට විශාල පාඩුවක්! ඒත් අපි හැමෝම නේමා කෙනෙක් වෙලා හොඳට ක්‍රීඩා කරලා ඔහු වෙනුවෙන් ලෝක කුසලානය දිනනවා! " ෆ්‍රනාන්ඩිනෝ පවසයි.

ආරම්භයේ පටන් යුද්ධයක් මෙන්වූ තරඟයේ බ්‍රසීල ක්‍රීඩකයෝද කොලම්බියාවේ ජේම්ස් රොඩ්රිගස්ද ඉලක්ක කර අනතුරුදායක අභියෝග කළහ.

ක්‍රීඩකයෝ කොතරම් විනිසුරුවාට පාලනය කර ගැනීමට නොහැකි වූවාද කියන්නේ නම්, ඔවුන් දඬුවම් පත්‍ර වලට බය වූ බවක් නොපෙණිනි. ක්‍රීඩාවක අරමුණ ජයග්‍රහණය වුවද තවත් ක්‍රීඩකයකුට අනතුරක් කර ලබන ජයග්‍රහණය ලෝක කුසලානයක තරමටවත් වටින්නේද? ඉදිරි තරඟ වල උණුසුම තවත් වැඩිවිය හැකි අතර බ්‍රසීලය නේමා සහ දියාගෝ සිල්වා නොමැතිව ජර්මනිය සමඟ අවසාන පූර්ව තරඟයට නව සැ‍ලසුම් සැකසිය යුතුවේ!

1 comment:

Deutscher said...

Get well soon my dear