නව හිරු කිරණින් පිබිදෙමු.

සිරගේවල් දිවා රෑ දෙකෙහි වසා තිබුණ ඒවා නිරන්තරයෙන් පිරී පවති ආගමික සිද්ධස්ථාන දිවාරෑ දෙකෙහි විවෘත්තව තිබුණත් ඒවා පිරි නොපවතී.

කාලයකට පෙර ලංකාදීප පුවත් පතේ පන්නරය පිටුවේ මෙය පළකර තිබුනේ කවුදැයි දැන් මට මතක නෑ. ඒ කාලෙදිම මම මේ ප්‍රකාශය මුල් කර ගනිමින් එම විශේෂාංගයට ලිපියක් ලිව්වේ මේ නමින්මය. එයත් පළවුණා. මම මේක ආපහු ලියන්නේ පොඩි පොඩි වෙනස්කම් සහිතව. සමහරවිට මේක කලින් කියවපු කට්ටියත් ඇති.

කොහොම නමුත් නුතන සමාජය ගැන එක් හරස් කඩකි මින් නිරෑපණය වන්නේ.නුතන සමාජය මෙන්ම එහි ජිවත්වන පුරවැසියන් වන අපිද දියුණුයැයි අපිම කියාගනු ලබන්නේ මහත් උද්දාමයෙනි. එහෙත් ඉහත ප්‍රකාශය නෙත ගැටුණු මොහොතේ පටන්ම, මා සිතුවිලි සමඟ ගැටුනේ අපි ඇත්තටම දියුණු මිනිස්සුන්ද යන සමාජිය මතය සමඟ එකඟ වීමටය.

අපි ඇත්තටම දියුණු වීමට උත්සාහ ගන්නා මිනිසුන් මිසක්, දියුණු මිනිසුන් නොවේ.මෙම සමාජ ක්‍රමය දියුණු වීමට උත්සාහ ගන්නා සමාජ ක්‍රමයක් මිසක දියුණු සමාජ ක්‍රමයක් නොවේ. එවන් වු සමාජක්‍රමයක සිට අපි දියුණු මිනිසුන්යැයි කියා ගැනීම අපිම කියා ගැනීම හාස්‍යයට කරුණකි. අපි දියුණු මානවයින් නමි, මේ සමාජක්‍රමය දියුණු සමාජ ක්‍රමයක්නම් ඉහත ප්‍රකාශය යාථාර්තවාදි නොවන්නකි. එහෙත් එය යථාර්ත වාදි වන්නේ එය මෙම සමාජ ක්‍රමයට ගැලපෙන බැවිනි. මෙම සමාජ ක්‍රමය තුල දියුණු වුවේ අධ්‍යාපනය නොවේ,ආගම, සංස්කෘතිය හා සදාචාරයද නොවේ. එහි පුරවැසියන් ද නොවේ. මෙම සමාජයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්වුයේ හොරකම,මංකොල්ල කෑම,ජාතිවාදය,ආගමික භේදය,කුළ භේදය ආදි වශයෙන් වු සමාජයේ අධාර්මිෂ්ඨ පැත්තකි.

දුන්න ඊ තලය, කෙටේරිය, පොරව ආදිය වෙනුවට යුද්ධ සඳහා a.k46. T 56, පමණක් නොව මල්ටිබැරල්, මිසයිල ඉක්මවා ගොස් වර්තමානයේ ජෛයව රසායනික අවිද මිනිසුන් අතර ගැවසෙන කළ අප සිතුවේ, අපි දියුණු මානවයින් බවයි. අපගේ දේශය ඉක්මවා යමින් අසල් වාසි රටවල් අපට ඈදෑ ගන්නා කල ද අප සිතුවේ අපි දියුණු මිනිසුන් බවයි.එපමණක් නොව පයින් ගමන් ගිය අප දියෙන් හා අහසින් යන කළද අප සිතුවේ අපි දියුණු මිනිසුන් බවයි.එපමණක් නොව තුන්වේලටම බොක්ක පිරෙන්නට කුසට ආහාර වැටෙන කල අපි සිතුවේ දියුණු මිනිසුන් බවයි. සෑම ආගමකම පෙන්වා දුන් දියුණු ආධ්‍යාත්මික පැත්ත ඉක්මවා යමින් ආගම අපගේ වාසියට හරවා ගත්තේය. අපි ආගමට අවශ්‍ය විදියට හැඩ ගැසෙනු වෙනුවට අපට අවශ්‍ය ආකාරයට ආගම හරවා ගැනීම තුලින් වුයේ සංස්කෘතික හා සදාචාරාත්මක වශයෙන් අපි නොදියුණු මිනිසුන් බවට පත්වීමය. එහෙයි අපි නිගමනය කලේ අපි දියුණු සමාජයක ජිවත්වන, දියුණු මිනිසුන් බවයි. මෙවනි ආකල්ප අප සිතෙහි ගැවසෙන කල අප ට මෙහි අනෙක් පස නොපෙනුනි. අපට වැරදුනේ එතනය.

අප නොදියුණු මිනිසුන් බවට පත්වන්නේ එතනිනි. දුන්න,ඊතලය,කෙටේරිය ආදියෙන් යුධ කරන කළ සිදුවු විනාශය අවමය. පරිසර දුෂණය අවම විය. සතුරාටද සතුරකු වශයෙන් නොව මනුෂ්‍යයකු ලෙස ගරු කළේය. එවන් වු සමාජයක ජාතිවාදය,පක්ෂභේදය ආගමික වාදය එම සමාජයේ කිසිසේත්ම දක්නට නැත. එවන් වු සමාජ ක්‍රමයක දක්නට ඇත්තේ සමානාත්ම තාවයකි. සියලු මිනිසුන් එකම ආකාරයට සැනසෙන අලුත්බර සමාජ ක්‍රමකි. එහෙත් වත්මන් සමාජය තුල ඇත්තේ බොහෝ අල්පය.

ඔබ හොඳින් අවට පරිසරය නරඹන්න. අවට පරිසරය සමඟ ඒකාත්මික වන්න. එය අධ්‍යනය කරන්න. කුළභේදය, පක්ෂභේදය, වර්ණවාදය ඇත්තේ තිරිසන් සතුන් අතරය. ප්‍රමුඛයා ජයගැනීම ඉතාහොඳන් දක්නට ඇත්තේ එතනය.උදාහරණයක් ලෙස සුනඛයින් රුළකට පිටතින් වෙනත් සුනඛයෙක් පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද, වඳුරු රංචුවකට හෝ ඇත් රුළකට පිට රුළක ඇතකු ආවිට සිදුවන්නේ කුමක්ද. අලුතින් පැමිණි සත්වයාට මරණය නියතය. එනම් ජාතිවාදය,වර්ණවාදය, ඇත්තේ එතනය.තිරිසන් සමාජය තුල ඇත්තේ අසාධාරණයයි. එම සමාජයේ දියුණු වීමක් නැත. එය ඉදිරියට විකාශනය වීමක් නැත. එතන ඇත්තේ මත්ස්‍ය න්‍යායයි එනම් කුඩා මාළුවා විශාල මාළුවාගේ ආහාරය බවට පත්වීමේ න්‍යායයි.

මානවයා වනයෙන් මෑත් වු දා පටන්ම සමාජය අරුත්බර වු මාවතකට යොමුකිරීමට සැමදා උත්සාහ ගත්හ. බුදුරදුන් ,ක්‍රිස්තුස් වහන්සේ, මහමුද් තුමන් වැනි වු අසම සම ආගමික ශාස්තෟන් වහන්සේලා ඒ සඳහා උත්සාහ දැරූහ. ඒ ලේ වැගිරීමකින් තොරවය. එහෙත් එම ආගම් පිළිගන්නා, ඒ මඟ ගමන් ගන්නා අප ඒ ගමන් මඟ නොගොස් වෙන වෙන පැති කරා යෑම තුලින් සිදුවුයේ මිනිසා මිනිසුන් අතර තනි වීමය. අසරණ වීමය.

කරුණු මෙලෙස පෙළගස්වන විට මාගේ තර්කය වන්නේ මෙය නොදියුණු සමාජ ක්‍රමයක් බවයි.මාක්ස්වාදය හෝ වෙනත් ක්‍රමතුලින් කතා කරන්නාවු සමාජ සමාන්ත්ම තාවයට වඩා අරුත්බර වු සමාජ සමානාත්ම තාවයක අවශ්‍යතාවය තදින්ම දැනෙන්නාවු කාල වකවානුවකි මේ. එසේනම් සොයුරණි සියල්ලන්ම එකට සැනසෙන්නාවු , එකට හිනහෙන්නාවු අරුත්බර සමාජ ක්‍රමයක් වෙනුවෙන් සියල්ලන්ම එකට පෙළගැසෙමු. ලේ වැගිරීම් වලින් තොරව සියල්ලන්ම ක සිතින් නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් එක්වෙමු.

About nalakadahanayaka


ප්‍රතිචාරයක් ලබාදෙන්න