පනස් වසරකට පෙර ගොළු හදවත බිහි වූ හැටි. ගොළු හදවතේ සුගත්, දේව්දාස් චිත්‍රපටයේ දිලිප් කුමාර්ද?

Image

කරුණාසේන ජයලත්.

 

Image

 

ගොළු හදවත චිත්‍රපටයේ

සුගත් වික්‍රම බෝගොඩ , ධම්මි අනුලා කරුණාතිලක.

මාඑහි යන විට ලියැවී තිබුණේ ‍පොතේ මුල පරිච්ජේද කිහිපයක් පමණි.
සුමාන දෙකකට තුනකට වැඩිය මෙතැන තියෙනවා.” යයි කියමින් ඔහු ඒ කොළ ගොඩ මට බාර දුන්නේය.
ඒ තරම් කැත අකුරු ඊට පෙර මට කියවන්නට ලැබි නැත.
ගොළු හදවත නවකතාව මීට වසර 50 කට එපිට එනම් 1962 අප්‍රේල් මාසයේ මුද්‍රණය කොට ප්‍රකාශයට පත්වීමේ පසුබිම් පුවත හෙළි කරමින් අමරනාත් ජයතිලක කියන කතාවයි මේ. කැත අකුරු කරුණාසේන ජයලත්ගේය. අමරනාත් ජයතිලක තිර රචකයෙකු විචාරකයෙකු මෙන්ම සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වේ. අමරනාත් කියන ආකාරයට කරුණාසේන ජයලත් ලියූ ගොළු හදවත මුල් පරිච්ජේද තුන හතර කියවන්නට ලැබි ඇත්තේ 1960 වසරේය. අමරනාත්, ජයලත්ගේ හොරණ නිවසේ නවාතැන් ගැනීමට ආවේ ඒ සමයේය. ඒ වන විට ජයලත් “ලංකාදීප”පත්‍රයේ උප කතුවරයකු වූ අතර සතියකට වරක් පත්‍රයේ පළ වන “චිත්‍රපට” චක්‍රය” නම් සිනමා අතිරේකයේ සංස්කාරකවරයාද විය.
අමරනාත් නවකතාවේ පරිච්ජේද දෙක තුන දින දෙකකින් පිටපත් කර ඇත. ජයලත් සවස ගෙදර පැමිණි විට හැකි ඉක්මනින් ඉතිරි කොටස ලියා අවසන් කළ යුතු බව අමරනාත් යෝජනා කර තිබුණි. සිරිත් පරිදි ජයලත් ගෙදර පැමිණියේ ඇඳිරි වැටුණාට පසුය. දින චරියාවේ අංගයක් ලෙස දරුවන් සුරතල් කර බිරිය (රූපා) හා දෙමාපියන් සමග ඕපදූප කතාවේ යෙදී, රෑ කෑමෙන් පසු ජයලත් හා අමරනාත් ඉස්තෝප්පුවේ මිටි තාප්පය උඩ වාඩි වූහ.
දැන් කොහොමද ඉතුරු ටික?” අමරනාත් නොඉවසිල්ලෙන් ඇසීය.
මෙතැනින් එහාට මගෙ ඔළුවෙ මුකුත් නෑ. ජයලත් මඳ නිහඬතාවයකින් පසු කීවේය.
අමරනාත් මේ පිළිබඳව 1962 අගෝස්තු 10 වෙනිදා “කලා සිනමා පුවත්පතට විස්තර කර ඇත්තේ මෙසේය.
මා එතෙක් කියවූ කොටසේ ජයලත් ලියා තිබුණේ සුගත් වීරසේකර පිළිබඳ කතාවයි. එහෙත් ඔහුගේ අතින් ලියැවී තිබුණේ සුගත්ටම විශේෂ වූවක් නොව යොවුන් වියට පා තබා සිටින හැම කෙනෙකුටම ‍පොදු, ප්‍රේමය පිළිබඳ වේදනාව සහ රසවත් කමය.”
කොහොමද දැනට ලියවෙලා තියෙන කොටස?” ජයලත්, අමරනාත්ගෙන් අසා ඇත.
මම හිතන්නේ මේ ‍පොත පිටවුණු දවසක ගැටවර වියේ පාඨකයෝ කුල්මත් වෙයි.” අමරනාත් කීවේය.
ජයලත් සඳ එළියෙන් ඔප වුණ සුදුවැලි සහිත මිදුලට බැස සඳ මඬල බලනු අමරනාත් දකී.
දැන් එකොළහත් පහු වෙලා. මට නිදිමතයි” අමරනාත් කියයි. අමරනාත් නිදි මැරීමට කවදත් අකමැතිය.
ඔයා නිදා ගන්න මම එහෙනම් වැඩ ටිකක් කරන්නම්.”
කඩදාසිත් පෑනත්, සියල්ල සූදානම් කරගෙන ජයලත් වාඩි වෙයි. ඊළඟට සිගරට්ටුවක් දල්වා ගන්නා ඔහු එය දැවී අවසන් වීමට පෙර පෑන අතට ගනී. මෙසේ ලියන්නට පටන් ගන්නා ඔහු ලිවීම නතර කරන්නේ රාත්‍රී කීයටදැයි අමරනාත් නොදනී.
අමරනාත් අවදිවන විට ජයලත් නිදිය. මේසය මත කලිින් දා රෑ බිරිය විසින් තබන ලද අළු බඳුන හිස්ව ඒ විදියටම ඇත. කලින්දා ඔහු විසින් ලියන ලද කොටස දැන ගැනුම නොඉවසිලිමත් වෙයි. මේ අන්දමින් මාසයක දී පමණ ජයලත් නවකතාව ලියා අවසන් කරයි. අමරනාත් පිටපත් කරන ලද්දේ මේ අන්දමිනි.

ජයලත් නවකතාව මුලින් හඳුන්වා තිබුණේ “ආදරයයි කරුණාවයි” නමිනි.
කරුණාසේන ජයලත් තමා ලියූ ගොළු හදවත ගැන 1976 නව “යුගය” පුවත්පතට මා විසින් කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසුවේය.
මගේ ඔළුවට අලුත් අදහසක් ආවා. මම කතාව ලියන්න පටන් ගත්තා. කාලය 1959 යේ අවසාන භාගයයි. පාසල් වියේ දෙදෙනෙක් පෙම් කරනවා. පසුව තරුණිය අන් කෙනෙකුගේ අත ගැනීමට සිදු වෙනවා. විවාහ වීමෙන් පසු සැණකෙළියක් හෝ එබඳු තැනකදී ඇයට පරණ පෙම්වතා හමුවෙනවා. දැනට මා දන්නේ එපමණයි. නවකතාවේ ආරම්භය වශයෙන් සිතට නැගුණේ මේ ටිකයි.”
දිනක් ජයලත් කාර්යාලයේ වැඩ නිමකර මෙම අදහසත්් ඔළුවේ තබාගෙන හොරණ බස් රියට ගොඩවෙයි. බස් රිය පිටත් වෙයි. ජයලත් කතාව ගැන දිගටම හිතයි. බස් රිය කහතුඩුවේ වංගුව හරිය පසු කරයි.
සුගත්, ඔයා මුණ ගැහෙන්න දවස් ගණනක ඉඳලයි මම හිටියෙ.” යන වචනය තරුණියගේ මුවින් පිට වෙයි.
සුගත් ඒ ඔහුගේ නමයි. ජයලත් ඒ නම දැන ගත්තේද තරුණියන්ගෙන්. ඔහු ඒ විදිහටම ඔහු හඳුන්වයි.
කෙනෙකුගේ හිත පාරවන එක පවක් නමෛයිද දමයන්තී”
ඇයගේ නමත් ජයලත් දනී. සුගත් හා දමයන්තී.
ඇයි දම්මී ඔයා මගෙ ජීවිතයත් එක්ක සෙල්ලම් කළේ?”
ඇය දම්මි බවත්, ජයලත් සුගත්ගෙන්ම දැන ගනී.
ජයලත් ගෙදර ගියේය. අනිත් අය නින්දට ගිය පසු ඔහු ලියන්න පටන් ගත්තේය.
සුගත් ඔයා මුණ ගැහෙන්න දවස් ගණනක ඉඳලයි බලා හිටියෙ.”
ජයලත් ඔවුන්ගේ කතාව සටහන් කර ගනී. අන්තිමට ඇය පිටත් වී ගියාට පසු සුගත් තනි වෙයි. ජයලත්ට ඔහු ගැන දුකක් ඇති වෙයි. සුගත් අසරණය. අනාථය. සුගත් වීරසේකර කිසියම් තැනකට ගෙන යා යුතුය. තක්ෂිලාව ජයලත්ගේ මතකයට එයි.
ජයලත්, ගොළු හදවතේ අතීත කතාව එදා අපට විස්තර කළේ හරියට චිත්‍රපටයක දිග හැරෙන තිර නාටකයක් පරිද්දෙනි.
පාසල පිහිටියේ නගරයේ කඩ පෙළ කෙළවර මහජන පිට්ටනිය අසල රබර් වත්ත පා මුල. සුගත් වාඩි වී සිටින්නේ රබර් වත්ත පැත්තේ මිටි තාප්පය අසල අසුනකය.
මේ හොරණ තක්ෂිලාව නොවේද? සුගත් වාඩි වී සිටින්නේ එදා මට අයිතිව තිබුණ අසුනේ නොවේද?
තක්ෂිලාව, රබර් වත්ත වෙරළ තීරය, තානායම තානායම් වත්තේ ජම්බෝල ගස්, පිට්ටනිය කෙළවර නාගස් දිය පාර, ඉවුරේ බෝවිටියා, සහ බොරුපන් පඳුරු.
දහවල් එකට පාසල ඇරුණත් බොහෝ විට සවස පහ වනතුරු සෙල්ලම් කරනවා.
බෝල්ඩ්වින්, හිල්ටන්, ධර්මදාස, ධර්මසේන ගුණසෝම, වික්‍රමසිංහ, චන්ද්‍රපාල, සිල්වා ඩේවිඩ් තිලකරත්න, එදිරිසිංහ.
පද්මා මියුරි, සෝමා ලීලා, ගුණවතී මොනිකා ජෙනට්, හයසින්ත්, සහ තවත් අය.
තිසේරා, ලොක්කයියා, ගාර්ලිස්.
කාලයේ කඩතුරාව ඉරාගෙන මොවුන් මගේ මතක තලයට එනවා. යහළු යෙහෙළියන්ගේ ආදරණීය මුහුණ.
ඔව්, සුගත්ටත් එවැනි පිරිසක් විමල්, ජයතිස්ස, සිරිපාල, අනුල, පේමවතී ආදී චරිත බිහි වුණේ ඔය විදිහට.
සුගත් වීරසේකර වෙත දක්ෂතා රැසක් තියෙනවා. එහෙත් ඒ වගෙ දක්ෂතා මටත් තිබුණොත් යයි මම හිතුවා. වාර විභාගයේදී වැඩි ලකුණු ගැනීම නිසා මාව ඉහළ පන්තියට යවනු ලැබුවා. ඉහළ පන්තියේ වූ එක් දැරියක් මා ගැන විමසිල්ලකින් සිටින බව පසුව මට පෙනුණා. ඇය දෙස කෙළින්ම මුහුණ බැලීමටත්, ධෛර්යයක් මට නැහැ. ඇයට විහිළු කරන පිරිමි ළමයින්ට ‘බල්ලා’ යයි බණිනු මම අසා තිබුණි. එක් විවේක කාලයක මා තනි වී සිටි අවස්ථාවක් “ස්……ස්……” ශබ්දය ඇසී හිස ඔසවා බැලූ මම දුටුවේ වෙරළු ගෙඩි කිහිපයක් ඇතිව අත දිගු කර ගෙන සිටින ඇයයි. මම ඇය වෙත ගොස් වෙරළු ගෙඩි දෙක තුනක් ගත්තා. ඊළඟට තිබුණේ චිත්‍රකර්ම පාඩම. ඇය මට පැන්සල කපා දෙන්නැයි කීවා. එදා සවස ඇය මගෙන් ලොසින්ජර ඉල්ලුවා.
අවුරුදු දෙකක් අපි ළඟින් ආශ්‍රය කළා. ඇය මට ආදරේ යයි සිතුවා. වාර අවසානයට කලින්දා මම ඇයට ආදරය කරන බව කියා වාසගම් දෙකකින් යුත් ලිපියක් දුන්නා. තමා කලක් තිස්සේ කෙනෙකුට පෙම් කරන බව ඇය මගේ හොඳම මිතුරා මගින් මට කීවා. ඇයගේ නියම පෙම්වතා වූයේද ඒ පාස‍ලේම උගත් මගේ හොඳම මිතුරාය. නිවාඩු කාලය මම මූසල කමින් ගත කළා.
කරුණාසේන ජයලත් අපට එසේ තමා ලත් අත්දැකීම් සහිතව ලියූ නවකතාව අමරනාත් ජයතිලකගේ මුතු වැනි අත් අකුරින් ලිවීම නිසා අමුතු ඔපයක් වැටී එය ඉක්මණින් ලියා අවසන් කළ බවය. කතාව ලිවීමෙන් පසු ජයලත්ට අවශ්‍යව ඇත්තේ තවත් ආසාවකි. ලංකාදීප පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පී ජී.ඇස්. ප්‍රනාන්දුට කියා පිට කවරයට චිත්‍රයක් ඇඳ ගැනීමටය.
මොකක්ද ‍පොතේ නම……..” ජී. ඇස්. ඇසීය.
ආදරයයි කරුණාවයි
සිංදු ‍පොතක්ද
?”
ජයලත්ට ලැජ්ජා සිතුණි. ‍පොතේ නම වෙනස් කළ යුතුය. ඔහු ලංකාදීප කර්තෘ මණ්ඩලය මිතුරන් සමග ‍පොතේ නම ගැන කතා කළේය.
දෙගිඩියාව‘ අසහනය දමයන්ති මිතුරෝ එක එක නම් යෝජනා කළහ.
ඊට වැඩිය හොඳයි කතා කරන්න බැරි හිත වගේ අදහසක් පෙරමුණේ තිලක කීවේය.
ගොළු හදවත….” දීගොඩ පියදාස එක වරම කීවේය.
ගොළු හදවත” බිහි වුණේ මෙහෙමයි.” ජයලත් එදා බුලත් කහට රැඳි දත් පෙන්නා කී අයුරු මට මතක් වෙයි.
ගොළු හදවත නවකතාව ලිවීමේදී ජයලත්ට 1955 තිරගත වූ ඕඪථචත අධර අධ්‍යක්ෂණය කළ ච්ඥමඤචඵ චිත්‍රපටයේ ආභාසය ලැබෙන්න ඇතැයි මට සිතුණි. ‍ලේඛකයකු වීමට ප්‍රථම චිත්‍රපට නළුවකු වීමට සිතූ ජයලත් එකල හින්දි චිත්‍රපටවල රඟ පෑ දිලිප් කුමාර්ට ඇලුම් කළ බවත්, දිලිප්ගේ නළලට කඩාවැටුණු අකීකරු කෙස් රොද අනුව තමාගේ කෙහේ රැල්ලද සකස් කර බවත් අපට කියා තිබේ.
මෙය දිලිප්ගේ මුහුණට කොතෙක් දුරට අමුතු කළ එළියක් ගෙන දුන්නේද යත් ඒ කා‍ලේ හින්දි චිත්‍රපටවල රඟපෑ හැම කතා නායකයාම හිස පීරුවේ උවමනාවෙන්ම නළලට කෙස් රොදක් වැටෙන පරිදිය. දිලිප් කුමාර්ගේ රඟපෑම්වලින් වශීවුණු දහසක් දෙනා අතර මමද කෙනෙක්මි.
(සිනමාවයි මමයිසරසවිය 1976)
1976 ‘සරසවිය පුවත්පතට ජයලත් ලවා ඔහුගේ සිනමා අත්දැකීම් සහිතව ලිපි පෙළක් ලියවා ගමුයි සරසවිය ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරාට යෝජනා කළේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්මසිරි ජයකොඩිය. ප්‍රශ්නයකට හිටියේ ජයලත්ගේ අත් අකුරු ගැන ප්‍රශ්නයයි.
අමරනාත් කීවාක් මෙන් ලෝකයේ කැතම අත් අකුරු ජයලත්ගේය. ජයලත් කියන විට ලිවීමේ කාර්යය කතුවරයා පැවරුවේ මටය.
කොම්පඤඤවීදියේ නි‍පෝන් චීන අවන්හලට හවස් වරුවට එන ජයලත් කියන දේ මට පිටපත් කිරීමට ලැබිම තුළින් අසීමිත සතුටක් ලැබුවෙමි. බිර බොමින් ඔහු බොහෝ දේ කීවේය. සිනමාවයි මමයි ලිපි පෙළ ‘සරසවිය’ තුළින් බිහි වූයේ ඒ අයුරිනි. එපමණක් නොව 1993 වසරේ මා සරසවිය පුවත්පතේ කතුවරයා වීමෙන් පසු “ගොළු හදවතේ අතීත කතාව ලියන්න” යැයි මා කළ ආරාධනය පිළිගත් ජයලත් කියන විට ලිවීම සිදු කළේ අප කර්තෘ මණ්ඩලයේ විවේකා සමරසිංහ විසිනි.
ජයලත්, දිලිප් කුමාර්, ලංකාවට පැමිණි 1954 වසරේ ඔහු සමග සාකච්ඡා කරන අතර දිලිප්ට සිගරට්ටුවක් දල්වා ගැනීමට අවශ්‍ය විය. ජයලත්ගේ ගිනි පෙට්ටියේ තිබුණේද එක ගිනි කූරකි. ජයලත් ඒ බව කී විට දිලිප් කියා ඇත්තේ “එක ගිනි කූරකින් ලෝකයක් ගිනි තියන්න සෑහෙන” බවයි. 1954 ෆිල්ම් ෆෙයාර් සඟරාවේ දිලිප් කුමාර් ගැන විශේෂාංගයක් පළ වී තිබුණි. ආදරය වියෝවපරාජිත ප්‍රේමය අවිවාහක බව ගැන දිලිප්ගේ අදහස් සහිතව චිත්‍ර ශිල්පියෙකු සිත්තම් කර තිබුණේ බිමත්ව හිස මේසය මත සිටින තරුණයෙකුගේ චිත්‍රයකිනි. එහි සුරා සහිත වීදුරුවක් පෙරළී තිබුණි. (මෙය ‘දේව්දාස්’ චිත්‍රපටයේ දිලිප් රඟ පෑ කොටසක් සංකේතවත් කරයි.) මේ චිත්‍රයෙන් ගොළු හදවතේ මුල් පිටකවරය සඳහා ආභාසයක් ලබා ගන්නැයි ජී.එස්. ප්‍රානන්දු චිත්‍ර ශිල්පියාට ජයලත් ඉඟියක් දුන්නා යැයි සිතිය හැකිය. මේ විශේෂාංගයෙන් දිලිප් පුන පුනා කියා තිබුණේ තමා රඟ පෑ දේව්දාස් චිත්‍රපටයේ චරිතය ගැනය. ප්‍රථම ප්‍රේමයෙන් පරාජිත බේබද්දෙකු වී ජීවිතය විනාශ කර ගත් චරිතයකි. දේව්දාස්.
දේව්දාස් චිත්‍රපටයේ ඒ චරිතය රඟ පෑ දිලිප් කුමාර් සිය පෙම්වතී පාර්වතීගෙන් වෙන් වී නගරයේ කාමරයකට වී බිමත්ව සිටි අවස්ථා ගොළු හදවතේ සුගත් වීරසේකරගේ චරිතය සඳහා ආභාසයක් ලබා ඇතැයි මනාව පැහැදිලි වේ.
මේ පිළිබඳව මා ජයලත්ගෙන් ඇසූ විට එදා ඔහු සිනාසෙමින් නිහඬතාවය රැක්කේය.
මිස්ටර් ජයලත්ගේ ගොළු හදවත පිට වුණාට පස්සේ පරාජිත ප්‍රේමවන්තයන් බිර බොන්නට පෙළඹුණා නොවේදැයි මා ඊළඟට ඇසූ විට ජයලත් නිහඬතාවය පළ කළේද සිනාසෙමිනි.
ගොළු හදවත නවකතාව නිකුත් වී පනස් වසරක් පිරෙන මේ බක් මාසයේ ජයලත් ජීවතුන් අතර නැතත්. ඔහුගේ සත්‍ය ප්‍රේම කතාවට සම්බන්ධ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩී.බි.කුරුප්පුත් කොල්ලුපිටියේ පදිංචිව සිටින පද්මා ගුණරත්නටත් නොමැකෙන නොමියෙන මතක සටහනක් වනු ඇත.
ඔවුන්ගේ සත්‍ය කතාව 2006 ජනවාරි 29 වෙනිදා ගොළු හදවතේ ඇත්ත දම්මි සොයා ගතිමි’ නමින් “ලක්බිම ඉරිදා සංග්‍රහයට” මම ලිව්වෙමි.
ආධුනිකයකුගේ ප්‍රථම ප්‍රයත්නයක් හැටියට 1962 දී මුල්වරට පළවුණු ගොළු හදවත වසරේ බිහි වූ උසස්ම නවකතාව වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි, මෙහි මුල් රචකයාගේ නම සඳහන් වී නොමැත)

About nalakadahanayaka


ප්‍රතිචාරයක් ලබාදෙන්න