ප්‍රශ්න වලට බිය නොවන්න

සිතට වදදෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීමට මාර්ගයක් ඇත. චේතනාව කර්මය බව අදහන ඔබ පළමුකොට ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ඇතැයි යන බලවත් චේතනාවක් ඇති කරගත යුතුය.

සමහරු තමන්ගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳී යනවාට කැමති නැත. පීනස සුව වුවහොත් රෑ වැඩ කරන්නට සිදුවේ යයි සිතන අයෙකුගේ පීනස සුව වෙන්නේ බාගෙටය. රක්ෂාවක් ලැබුනොත් දුෂ්කර පළාතකට යන්නට සිදුවේ යයි සිතන පුද්ගලයා තමාගේ රැකියා ප්‍රශ්නය විසඳෙනවාට අකමැතියි.

ඉතා සුළු වෙළඳාමක් ඇරඹීමට සූදානම් නැති පුද්ගලයා ඉතා විශාල ව්‍යාපාරයක් ඇරඹීමට බාධාවක් ඇතිකර ගන්නෙකි. තමාගේ ප්‍රශ්නය විසඳා ගන්නට තමා කිසිදු වෑයමක් නොකරන පුද්ගලයා අනුන්ගේ අනුකම්පාව බලාපොරොත්තු වෙන යාචකයෙකි.

කෙනෙක් නිතරම තමන්ගේ දුක් ගැනවිල්ල ගැන පමණක් කිය කියා සිටින්නේ අනුන්ගේ අනුකම්පාව ලැබීමේ ආශාව නිසාය. දුකින් මිදීමට බලවත් ඕනෑකමක් ඇති තැනැත්තා දුක කිය කියා නිකන් ඉන්නේ නැත.

ඔබේ දුක් කරදරයෙන් ජයගන්නවා යයි ඔබ දැඩි අධිෂ්ඨානයක් කළ සැනින් ඔබේ යටි සිත ඔබව එම ජයග්‍රහණය දක්වා ගෙනයෑමට සූදානම් වෙයි. අදිටන වෙනස් කළ සැනින් යටිසිතේ සූදානම් වීම ද අත්හැරේ.

අවංක සිතින් ඔබේ මානසික අසහනයට හේතුව සොයා බැලීමට මොහොතක් වෙන් කරන්න. එම හේතුව සෙවීම කළ යුත්තේ සත්‍යවාදී, මධ්‍යස්ථ මත දරණ අවංක හා සේවයට කැපවූ රහස් පරීක්ෂකයෙකු රහසක් අනාවරණය කරගන්නට වෑයම් කරන ආකාරයෙනි.

ඔබේ දුක් කරදරය ඔබේ වාසියට හා අවාසියට විසඳන හැටි මනසින් බලන්න. නඩුකාරයෙකු ඉදිරියේ කරන නඩු විභාගයක් මෙන් එය මනස නමැති විනිශ්චය ශාලාව තුල විභාග කර බලන්න. එම රහසිගතව ඔබම කරන විභාගයේ දී ඔබ වරදකරුවා වුවත් නිවරදකරුවා වුවත් ඔබට ගැලවීමක් ඇත.

ඔබට හිරිහැර කරන ප්‍රශ්නය මිල මුදල් හිඟය නම් එයට හේතුව ඔබ ළඟම ඇත. ඔබ සමාජ ඇසුර සීමා කරගෙන සිටින්නෙකි. මිනිසුන් ප්‍රිය කිරීම යනු ධනය ප්‍රිය කිරීමයි. එක් අයෙකු හෝ පිළිකුල් කරනවා නම් එම පිළිකුල (ද්වේෂය) ඔබ කරා ධනය ගලා ඒමට හරස් වන බාධකයකි. ඔබේ ස්වයං යෝජනාවට එවිට අංශ භාගය වැළඳී ඇත.

සත්‍යය අවබෝධය සහ දැනුම ඔබේ සිත තුලට එකවර ගලා එන්නේ නැත. කොටස් වශයෙන් වරින් වර සිත තුලට ගලා එන විසඳුම් ගැන විමසිලිමත් වන්න.

කුමන හේතුවක් හෝ නිසා ඔබේ ප්‍රශ්නයට විසඳුමක් නැතැයි නොසිතන්න. විසඳුමක් ගැන සිතනවා මිස දුක් කරදරයට තව තවත් බලය දීම සඳහා ඒ ගැනම සිතන්න එපා. ප්‍රශ්නය සිතා ගන්නට බැරි තරම් අවුල් සහගත නම් එවැනිම ප්‍රශ්නයක් ඇති හිතවෙතෙකුට ඔබ දෙන උපදෙස කුමක් ද? අන්න ඒ විදයට ඔබේ ප්‍රශ්නය අන් කෙනෙකුගේ ප්‍රශ්නයක් හැටියට සිතන්න.

ප්‍රශ්න විසඳීම පසුවට කල් දමන්න එපා. අද විසඳීමට බැරි නම් හැකි තරම් දුරට විසඳා ඉතිරි හරිය පමණක් කල් දමන්න.

ප්‍රශ්න යටපත් කිරීම යනු විසඳීම නොවේ.

ප්‍රශ්න හා අසහන වැඩි වූ විට මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීමට පෙළඹේ. එවිට තවත් අලුත් ප්‍රශ්නයක් එකතු වෙයි.

ජීවත්වීම යනු එදිනෙදා පැන නඟින ප්‍රශ්න විසඳීමය. එයට බිය නැතිව මුහුණ දෙන්න.

පසුබට වන ගතිය දියුණුවට බාධාවකි.

ඇතැම් දෙමාපියන් ප්‍රශ්න නොවිසඳා මිය යති. ඔවුන්ගේ දරුවන්ට හා දරුවන්ගේ දරුවන්ටත් ඒ නිසා ඇතැම් ප්‍රශ්න විසඳා ගන්නට බැරිවේ.

ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ඇති බව නිතරම සිතන්න. එවිට ඒ විසඳුම සොයා ගැනීම ඔබ අතින් ඉක්මනින් සිද්ධ වේ.

-සුමනදාස සමරසිංහ, 1979 මැයි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය