ඉරිසියා නොකිරීම

ප්‍රතිපත්තියක පිහිටුවීමට අපේ සිත යම් අරමුණකට ගොනු කරගත යුතුය. අපි නිතරම ඉරිසියා කරන්නේ අප ළඟ නැති යමක් තවත් කෙනෙකු ළඟ තියෙනවා දැකීමෙනි. “මං කාටවත් ඉරිසියා කරන්නේ නැහැ,” කියා යම් කෙනෙක් කියනවා නම් එය බොරුවකි.

එසේම අපේ ඉරිසියාව නිතරම අප හොඳින් දන්නා අඳුනන අය වෙත පමණක් එල්ල කිරීම සිදුවේ. අප නාඳුනන අයට නිතරම හැම ලොතරැයියක දී ම මුල් දිනුම ඇදේ. එහෙත් ඒ අය කවුද කියා නොදන්නා නිසා අපට ඉරිසියාවක් හටගන්නේ නැත. එහෙත් අප හොඳින් දන්නා හඳුනන අයෙකුට ලොතරැයියක් ඇදුනොත්? එවිට අපට ඉරිසියාවක් පහළ වේ.

අපි යම් කෙනෙකුට ඉරිසියා කරන විට අපේ ස්වයං යෝජනාව වනුයේ “මට නැහැ,” යන චේතනාවයි. මේ අනුව කර්ම විපාක ලබන්නේ ඉරිසියා කරන පුද්ගලයාටය. අනිත් පුද්ගලයාගේ යස ඉසුරු වර්ධනය වීම නතර නොවේ.

ඔබ අනුන්ට ඉරිසියා කළ තරමට ඔබ පිරිහේ. ඉරිසියා නොකර ඒ අයට යහපතක් වීම ගැන ඔබත් සතුටුවුවහොත් ඒ අයගේ මෙන්ම ඔබේ යස ඉසුරු ද වර්ධනය වේ.

අල්ලපු ගෙදර අයෙක් මෝටර් රථයක් මිල දී ගැනීම නිසා ඔබ ඉරිසියා වුනාට වැඩක් නැත. ඔබ ඉරිසියා කරන්නේ ඔබට මෝටර් රථයක් නැති නිසාය. ඔබේ සිතේ තවත් වර්ධනය වෙන්නේ “මට නැත,” යන සිතුවිල්ලයි.

තම පුතා අළුත විවාහ වූ ඔහුගේ බිරියට ආදරයෙන් සංග්‍රහ කරනවා දකින මෑණියන්ට ඉරිසියාවක් පහළ වේ.මෙසේ මෝඩ විදියට තම දූ දරුවන්ට ඉරිසියා කරන මෑණිවරු තමන් රෝගීන් බවට පත්වෙමින් අනුන්ගේ සතුට බාධා පමුණුවති.

ඉරිසියාව මානසික රෝගයකි. එය ඔබේ ශරීරයට හා හදවතට දැඩි බරකි. හිතට වදයකි. ශරීරයේ ඉන්ද්‍රියයන් මනා ලෙස ක්‍රියා නොකරන තත්වයට පත්වේ.

ඇතැම් සිල්ගත් උපාසකම්මලා තමන්ට වඩා තරුණ හා රූමත් අය දකින විට “ඔය ලස්සන කන්ඩ ද? කුණු ශරීරෙ පොළවට පස්කරන්නට සිද්ධ වෙනවා,” ආදී වශයෙන් ඇනුම්පද කියති. එය ඉරිසියාව තමන්ටත් හොරා ධර්මයක වේශයෙන් තමන්ට ආරූඪ වී සිටීම බව ඒ අයට වැටහෙන්නේ නැත.

සමහරු ගමේ කෙනෙක් පොලිසීයට හෝ ග්‍රාමසේවක තනතුරකට ඉල්ලුම් කර ඇති බව දැනගත් විට ඔහු වෙත ගොස් එම රැකියාවල ඇති දුෂ්කරතා කියන්නේ ඒ පුද්ගලයාට බලවත් ආදරයක් අනුකම්පාවක් ඇති අයෙකු මෙනි. එහෙත් සත්‍යය නම් ඔහු එවැනි රැකියාවක් අනෙකෙක් කරනවාට ඇති ඉරිසියාව තම වදන් වලින් පිටකරන බවයි.

අනුන්ට ඉරිසියා කිරීම සඳහා ඔබ ප්‍රයෝජනයට ගන්නේ ඔබේම වටිනා සිතයි. එනිසා එය බලවත් සේ අපිරිසිදු වේ. ඔබට ඉරිසියා කරන අන් අයට ඔබ සමාව දිය යුතුයි. ඔබේ සිතේ කිසිම කෙනෙක් ගැන හෝ කිසිවෙකුගේ ක්‍රියාවක් ගැන හෝ කිසිම ඉරිසියාවක් තියා නොගන්න. එය ඔහුට යහපතක් වේවා යන ධනවේගයෙන් පැතීමෙන් ඔබට නිදහස් සිතක් හා පිරිසිදු ඥානයක් ලැබේ.

-1979 මැයි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය