Lanka Rise – ස්ටොක් මාර්කට් ඉහළට

Posted on January 4, 2011



ගිය වසරේ ආසියාවේ හොදම කොටස් වෙළද පොළ බවට ශ්‍රී ලංකා කොටස් වෙළද පොල පත්ව ඇති බවට ආරංචිය ගෙනාවේ  Rise of Lanka වෙබ් අඩවිය යි. ඒක කියවන කොට මගේ මතකයට ආවේ සංඛ්‍යායනය අපට උගැන්වූ ගුරුවරයා ය.

ඔහු කීවේ වරක් ස්විස්ටර්ලන්තයේ විරැකියාව 300% න් ඉහළ ගිය බවත් එතරම් අනුපාතයකින් විරැකියාව ඉහළ ගිය රටක් තවත් නොවූ බව ය. එසේ කියූ ඔහු ඇසුවේ ස්විස්ටර්ලන්තය වාසයට සුදුසු රටක් හැටියට අප සළකන්නේ ද කියා ය. විරැකියාව 300% න් ඉහළ ගිය රටක් වාසයට සුදුසු රටක් හැටියට සැළකිය නොහැකි වේයැයි බොහෝ දෙනෙකු කියා සිටිය හ.

ඊළගට ඔහු කීවේ පසුගිය වසරේ 112 ක්ව තිබූ ස්විස්ටර්ලන්තයේ රැකියා නොලද්දවුන්ගේ ගණන මේ වසරේ 339 ක්වූ බව ය.

අප ගැන අපටම සිනහවෙන්නට සළස්වමින් ගුරුතුමා අපට කීවේ සංඛ්‍යායනයන් කෙතරම් වැරදි මානයන් ගෙනා හැකි ද යන්න ය.

අපේ පන්තියේ ගණන් බැරි සිසුවෙක් සිටියේ ය. ඔහු අපි නිමල් යයි හදුන්වමු. එක වාරයක ඔහුගේ ගණිතයට ලැබුයේ 5 කි. ඊළග වාරයේ ඔහුට ගණිතයට 10 ක් ලැබී තිබිණි. ඔහුගේ ගණිත ලකුණු 100% න් වැඩිවි තිබිණි. ගණන් හොදටම හදන්නට පුලුවන් එකා සරත් ය. සරත් ගේ මුල්වාරයේ ලකුණු ගණන 80 ක් වූ අතර ඊළග වාරයේ ඔහු අනුවක් ගත්තේ ය. ඔහුගේ ගණිත ලකුණු ප්‍රමාණය වැඩිවී තිබුනේ 12.5% න් පමණ ය.

වඩාත් හොද දියුණුවක් ලබා තිබුනේ කවුද?

ආසියාවේ හොදම කොටස් වෙළද පොල අපේ යැයි කියනවිට ඇත්තේ ද මෙවැනි සංඛ්‍යා විජ්ජාවකි. මැජික් බලා සතුටු වන්නට අප කොහොමටත් කැමති ය. සතුටු වෙනවා නම් රැවටිලා වුව සතුටු වීම යහපත් වන්නේ ය. එහෙම බැලුවහම ලංකා රයිස්ගේ සතුටු වීම ගැන කණගාටුවන්නට දෙයක් අපට නැත.

උද්ධමනය ගෙවී ගිය වසරේ 7% ක් යැයි කියන විට අප ගන්නා බඩු 50% සිට 300% දක්වා ඉහළ ගියේ කෙසේදැයි දැන ගැනීමට කැමති අය මැජික් විද්‍යාව හැදෑරිය යුතු ය. වැඩිදෙනෙක් කැමති මැජික් බලා සතුටු වන්නට මිස මැජික් විද්‍යාව ඉගෙනීමට නොවේ. ඒ නිසා මැජික් කාරයින් අපට දිගටම මැජික් පෙන්වනු ඇත්තේ ය.

අපට ඇත්තේ ඒවා බලා  සතුටු වීමට ය.

Posted in: Uncategorized