මතකයේ ඇති සිද්ධියක්… (මිදි තිත්තයි)

රටේ දැන් දැන් සිද්ධ වෙන බරපතල සිද්ධිත් එක්කම මට එකපාරටම පරණ යමක් මතක් වුණා. 2005 අවුරුද්දෙ උසස්පෙළ නිමා කරල රජයේ විශ්වවිද්‍යාලයකට යන්න සුදුසුකම නූලෙන් මිස් වෙලා රාජගිරියෙ රසායන විද්‍යා ආයතනයෙ උපාධිය හදාරන්න යන කාලෙ ඇහිච්ච, හිත කලකිරවන වචන කීපයක්.

එක දවසක් අකාබනික රසායනය පිළිබඳ දේශන පවත්වපු මහාචාර්ය වරයෙක් දේශනයෙ කොටසක් ඉවර වෙලා පොඩි අතුරු කතාබහක් පටන් ගත්තා. පොඩි බ්‍රේක් එකක්. කතාව ඒ දවස් වල ජ‘පුර කැම්පස් එකේ සිසු ගැටුම් ගැන. වලි ගැන කලකිරීමෙන් කතා කරපු මහාචාර්යතුමා අන්තිමේ අවධාරණාත්මක ස්වරයකින් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා.

“Free education should be stopped now.”

ඒක අවුලක් නෑ කියමු. කැම්පස් වල මිනීමැරුම් පවා සිද්ධ වෙලා තියෙන එකේ එතුමගෙ හිතේ තියෙන්න ඇති කලකිරීමත් එක්ක ඒ ප්‍රකාශය කළා වෙන්න පුළුවන් [සමහරවිට].

තත්පරෙන් දහයෙන් පංගු දෙකක නිහඬතාවයෙන් පස්සෙ දේශන ශාලාවෙ හිටපු ශිෂ්‍යයින්ගෙන් බාගයක් විතර ඒකට අත්පොළොසන් දුන්න. අන්න ඒකට මට හොඳටම රිදුන. (හ්ම්… දේශන වලදි කියන ඔය වගේ දේවල් වලට අත්පුඩි ගහලා සමරන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමේ)

යකෝ මමත් ඕකට ආවෙ අනිත් එවුන් වගෙම සල්ලි දීල. කැම්පස් එකකට යන්න රෑන්ක් එක මදි වෙච්ච නිසා. ඒ දවස් වල දැනන් හිටියෙ නෑ මට රජයේ විශ්වවිද්‍යාලයක නොමිලේ ඉගෙනගන්න චාන්ස් එකක් ලැබෙයි කියල. එහෙම වෙලත්, මට නිදහස් අධ්‍යාපනයත් එක්ක කිසිම කිසිම කෝන්තරයක් තිබුණෙ නෑ. තමන්ට අවස්ථාවක් අහිමි වුණා හෝ තමන්ට අවස්ථාවක් අනවශ්‍ය නිසා අනුන්ට ලැබෙන අවස්ථාව නැති වීම පිළිබඳ ප්‍රසාදය පළ කරන එක කොයි තරම් ආචාරශීලීද, නේද?

2006 අවුරුද්දෙ දෙවන වර පෙනී සිටි උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණාට පස්සෙ මම විවිධ හේතු සහ කලකිරීම් මත රසායන විද්‍යා උපාධිය නතර කරල දැම්ම. ඒ වෙනුවට, මගේ දක්ෂකමට නිදහස් අධ්‍යාපනයෙන් මට ලැබුණු තෑග්ග මම තෝරගත්ත.

 

ප. ලි.

හැබැයි ඉතිං මේ කතාබහ අත්පොළොසනින් සමරපු තැනත් පස්සෙ කාලෙක වලියක් එහෙම ගිහින් තිබුණලු. 😀

මතකයේ ඇති සිද්ධියක්… (මිදි තිත්තයි)

Leave a comment