එම්බා යුවතිය….පමා වැඩියි ඔබ,hey girls…you are too late.

හා පුරා කියලා අවුරුද්දට පස්සේ ඒ කියන්නේ මං කාපු අවුරුද්ද හෙවත් මාව කාපු අවුරුද්දට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුවා.අද මං දාන්න යන්නේ ඉස්කෝලේ යන දවස්වල එක්තරා ටියුසොන් පන්තියකදී සිද්ද වෙච්ච අලකලංචියක්.

මේ කියන පන්තිය ඇවිල්ලා සද්දන්ත පන්තියක්.ඒ කියන්නේ දැන් කියන්නේ ඔය අර mass classes, hall classes කියලා අන්න ඒකක්.

මේ පන්තියේ ලමයින්ට වාඩි වෙන්න බංකු පේලි තුනක් තිබ්බා.සාමාන්‍යයෙන් වෙන විදිහට මේකෙත් ඉස්සරහ පේළි වල ගෑනු ලමයි සහ පස්සේ පේලිවල පිරිමි ලමයි තමයි වාඩි වෙලා හිටියේ.

මේ ගුරුවරයා මේ පැත්තේ නම ගිය ගුරුවරයෙක් නිසත් අනික් අතට එයාට හොඳ තරගයක් දෙන්න තරම් ලොකු ගුරුවරයෙක් හිටපු නැති නිසත් මෙයාගේ පන්තියේ ලමයි තද බද වෙලා තමයි හිටියේ.ඒ හින්දා පරක්කු වෙලා එන ලමයින්ට විශේෂයෙන්ම අපි වගේ කොල්ලන්ට ඉඳගන්න ගියාම හරි අර්බුද.

මේකට පිළියමක් විදිහට කෙල්ලො ඉන්න පේලිවලට කොල්ලො දාන්න හැදුවත් අන්තිමේදී කෙල්ලගේ කෙසේ වෙතත් ඒ කොල්ලන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඒ වැඩේ නවත්තන්න ඒ සර් හිතුවා.

අන්තිමටම වුනේ පරක්කු වෙලා එන පිරිස පන්තියේ අර ඩෙස් පේළිවල ඉස්සරහම පේලියට ගෙන්නන එක.දැන් එතකොට ඉස්සරහ පේලියේ පිරිමි ලමයි.ඊට පස්සේ පේලි ගණනාවක් ගෑනු ලමයි,ඊටත් පස්සේ පිරිමි ලමයි.දැන් ඕක තමයි මේ කියන්න යන කතාවේ පදනම.මොකද මේ තත්ත්වය දන්නේ නැතුව මේ කියන්න යන සංසිද්ධිය වෙච්ච විදිහ හිතා ගන්න අමාරු වෙනවා.

අපිත් එක්ක හිටපු එක කොල්ලෙක් තමයි බට්ටා.මූට මුලින් කිව්වේ වම්බොට්ටා කියලා වුනත් පස්සේ අපි ඒක හැදුවා බට්ටා කියලා.

අර පහුගිය කාලෙක ඡන්ද වැඩවලදි කතා වෙච්ච වම්බොට්ටා එහෙම නෙවෙයි මේ.බට්ටා කලින් පොළක දා ගත්තු ලෙඩක් හින්දා තමයි ඌට වම්බොට්ටා කියලා කිව්වේ.

දැන් බට්ටාත් මේ පන්තියේ යාව ජීව සාමාජිකයෙක්,විශේෂයෙන්ම අර උදේට පටන් ගන්න පන්තියට දවල්ට කාලා එන ජාතියේ පොරක් තමයි බට්ටා.අපි සාමාන්‍යයෙන් මේකා පරක්කු වෙලා එන කතාව දන්න හින්දම මේකට ඉඩ අල්ලලා තියා ගත්තත් විභාගේ ලංවෙලා දවසක තිබ්බ පන්තියක හොඳටම ඉඩ මදි වුනා.ඒ කාලේ පෝන් එහෙම එච්චර තිබ්බේ නැති හින්දා මේකට කියන්න විදිහකුත් නෑ.අපි ඉන්න පේළියෙත් දැන් මේකට ඉඩ නෑ.

ඔන්න ඉතින් සුපුරුදු පරිදි බට්ටා උගේ වෙලාවට පන්තියට ආවා.ඉඩ නෑ.

දැන් මොකද කරන්නේ? බට්ටයි ඌත් එක්ක පරක්කු වෙලා ආපු පිරිසයි ගියා ඉස්සරහම පේලියට.

ඌට පිටිපස්සේ දැන් ඉන්නේ අපේ පැත්තේ තිබ්බ බාලිකා පාසැලක නට් බුරුල් වෙච්ච කෙල්ලො ටිකක්.

අපි නම් කියන්නේ උන්ට කලිසම් කකුලක්  වත් පෙන්නන්න බැරි ජාතියක් කියලා.(උන් අපිට කියනවලු අපිට රේන්ද පටියක් පෙන්නුවත් ඇති කියලා…ඒ කියන්නේ උන්ගේ කවුරු හරි අපිට රේන්ද පටි පෙන්නන්න බලන් ඉඳලා තියෙනවා….)

දැන් මුන්ට බට්ටා වගේ ඇම්ඩන් පොරක් උන්ගේ ඉස්සරහට ආපුවාම හෙන ජික් එක.බට්ටාට ඇහෙනවලු මුන් එක එක කතා කු‍ටු කු‍ටු ගානවා,හිනා වෙනවා,එක එක වැඩ කෝටියයි.

අනික බට්ටත් නිකං ඉන්න පොරක් නෙවෙයිනේ,ඌ තැනකට ගියාට පස්සේ එතන ඉන්න කෙල්ලො එක එක විදිහට අවුස්සනවා.මූ කොච්චරවත් පන්තියකට ආපුවාම ඒ අවට කෙල්ලෙක් හිටියොත් ඌට ඕන හැම දේම ඉල්ලන්නේ    ඒ කෙල්ලගෙන්.පෑනේ සිට වතුර බෝතලය දක්වා.ඉතින් මූ මෙතනත් එහෙමයි.ආපු වෙලේ ඉඳන් පිටිපස්සේ කෙල්ලන්ගෙන් පෑන් ඉල්ලනවා,වතුර ඉල්ලනවා.වැඩ කෝටියයි මූට.

ඔන්න දැන් පන්තියේ ඉන්ටර්වල් එක.මේකා ගියා පන්තියෙන් එලියට.ගිහිල්ලා රෝන්දයක් එහෙම ගහලා එන කොට මේක දැක්කලු මේකගේ පොත් ටික, ඒ කියන්නේ අර මේසේ උඩ තිබ්බ පොත් ටික කවුරුහරි ඇදලා දාලා කියලා.මේකා පොත් ටික පෙරලලා බලද්දි මෙන්න තියෙනවා අන්තිමට නෝට් එක ලියලා ඉවරවෙච්ච තැන chit එකක්.හිමීට වාඩි වෙච්ච බට්ටා කියෙව්වා එක.ඒකේ ලියලා තියෙනවා ගීතයක පද දෙකක්.

“”සඳේ සිසිල මට එපා, සඳට වැඩියෙන් සිසිලක් ඔබගෙන් ලැබෙනවා….”” කියලා.

මූ දැන ගත්තා මේක නම් අනිවා පිටිපස්සේ ඉන්න කෙල්ලොන්ගේ මගඩියක් කියලා.මූව මඩවන්න හිතා ගෙන මේ කෙල්ලො ටික මේක දැම්මා කියලා මූට ෂුවර්.මොකද ඒ කෙල්ලන්ගේ කොල්ලො, බට්ටගෙත් හොඳ යාලුවො.

හිමීට ඉඳ ගත්ත බට්ටා මුකුත් දන්නේ නෑ වගේ ඉන්නවා.දැන් ඔන්න පන්තිය ආයි පටන් ගන්න කියලා හදන්නේ.තාම සර් අර වේදිකාවට ආවේ නෑ පන්තිය පටන් ගන්න.

බට්ටා ට පිටිපස්සේ අර කෙල්ලෝ ටික වාඩි වෙලා.මුන් හිමීට හිනා වෙනවා බට්ටට ඇහෙනවා.මූත් හරියට ඒ වෙලාවෙ දැක්කා වගේ අර chit එක අතට අරන් බොරුවට රඟපානවා.

ඔන්න දැන් සර් ආවා.

මූ එක පාරටම මොකද කරේ සර්ට දුන්නා අර chit එක හරියට සර්ට ආපු එකක් වගේ .සර් දන්නේ නෑනේ මේ කතාවක්.සර් ගත්තා chit එක.කියෙව්වා  mike එකෙන්.

මේ සර්ගේ කටහඬ හරියට තල් අත්තට බොරළු ගහන්න වගේ.කියවද්දි පන්තියට විතරක් නෙවෙයි පාරටත් එක්ක ඇහෙනවා.ඉතින් සර් මහ සද්දෙන් මේක කියවලා අන්තිමට කියනවා

“”දුව ප්‍රමාද වැඩියි දැන්””…කියලා.

මොකද සර් හිතලා තියෙන්නේ ඒක එයාට එවපු එකක් කියලනේ.මේකත් එක්ක මුළු පන්තියම හිනා වුනා විතරක් නෙවෙයි කරුමෙටම සර් අර බට්ටට පස්සේ හිටපු පේළිය දිහා බලලා මේක කියපු හින්දා උන් ටික නැට්ටටම මේකට අහු වුනා.

මේකෙන් පස්සේ බට්ටා පන්තියට පරක්කු වෙලා එන එක නම් නැවැත්තුවේ නෑ.එකම දේ මේක වෙන තැන් හොයාගෙන වාඩි වෙච්ච එක.අර සර්ගෙන් චා… වෙච්ච කෙල්ලො ටික පස්සේ බට්ටට return  එක දීලා තිබ්බා බට්ටා අර ඉස්කෝලේ try කරපු පොඩි කෙල්ලෙකුට ඉස්කෝලෙදි කෑ ගහලා පෝරියල් එකක් දීලා.

2 thoughts on “එම්බා යුවතිය….පමා වැඩියි ඔබ,hey girls…you are too late.

Leave a comment