තමන් සොයන්න ඇත්තේ තමන්ගෙන් පිටස්තරව නොවේ

අප ඉපිද සිටින සමාජය පුරුදු වී සිටින්නේ සෑම සියළු දෙයක්ම තමන්ගෙන් පිටස්තරව ඇතැයි සිතීමටය. ධන සම්පත්, ඥාන සම්පත් හා ගුණ නුවණ ආදිය අපට ලබාගත හැක්කේ බාහිර කරුමයක, වාසනාවක බලයෙන් යයි සිතීමට අපට පුරුදුකර ඇත. ආගම ධර්මය අතින් පවා දිව්‍ය ලෝක සැප සම්පත්, බ්‍රහ්ම ලෝක හා නිවන ආදී ලෝකෝත්තර තත්වයන් පවා ඇත්තේ අප තුල යයි කියා කිසිවෙකු උගන්වන්නේ නැත.

මේ හේතුව නිසා අවශ්‍යය දෙය එය තියෙන තැනේ දී නොසොයා අන් තැනක සෙවීමට අපි පෙළඹී සිටිමු. ධනය යනුවෙන් අප අදහස් කරන සතුට ලබාදෙන සෑම දෙයක්ම බාහිර වශයෙන් සොයන්නට යෑම නිසා බොහෝ දෙනෙකුට එය නොලැබී යයි. වැඩි දෙනෙකුට ඕනෑ ලොතරැයියකින් ධනවත් වීමටය. සමහරුන්ට කෑම බීම, ඉඳුම් හිටුම්, ගෙවල් දොරවල් ආදිය “නොමිලේ ලබාදෙන” සමාජවාදී රජයක් ඕනෑ කෙරේ.

ලක්ෂ පහක් හයක් පමණ ජනයා ලොතරැයිපත් මිල දී ගන්නේ තමන්ට ඇදෙන බව විශ්වාස කරමිනි. ලොතරැයි මණ්ඩලය දිනුම් අදින්නේ ටික දෙනෙකුටය. දිනුම් අදින සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් නිතරම තමනට දිනුමක් ඇදෙන තුරු බලා සිටියාට දිනුම් ඇදෙන අයගේ සංඛ්‍යාව වැඩි වන්නේ නැත.

එසේ නමුත් හැමදාම ‘දිනුම් ලොතරැයි’ ඇදෙන අය අප අතර සිටිති. ඔවුන් තමන්ගේ ආදායම් මාර්ග ක්‍රමානුකූලව සකස් කරගෙන ඇති බැවින් ලොතරැයි වාසනාවට වඩා ඉක්මණින් ඔවුන් වෙත ධනය ගලා එයි. ඒ තමනට ධනය සොයාගත හැකි මාර්ග ඔව්හු අහම්බෙන් කෙනෙකුට ඇදෙන ලොතරැයියකට ඔවුන් සීමා කරගෙන නොසිටින නිසයි.

බලාපොරොත්තු ඉටුවේ යැයි අවුරුදු ගණන් බලා සිටින්නෙකු නොවී නොයෙකුත් ධන උපයන මාර්ග වලට ඔබේ සිත යොමු කරන්න. නිකං කටට වැටෙන තුරු බලා සිටින කම්මැලියාට කළින් ඔබට ධනවතෙකු වෙන්නට පුළුවන. තමන් තුල හැකියාවක් ඇතැයි කියා එය හඳුනාගන්නා පුද්ගලයා නිතරම දියුණුවක් ලබයි.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය