RSS

151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

18 මාර්තු
151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

බ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!  කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න.

මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.

“චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,”

“ඇවිත් ගලවගෙන පලයං, මචං.”

“අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ.”

චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.

මම මගේ බැටරිය ගලවා,  වාහනයේ ඇතුලෙන්ම තබා, චූන්ජියා ගෙනා බැටරිය සවි කර යතුර කරකවා බැලුවා. එන්ජිම ක්ෂණිකව පණ ගැන්වුනා.  අර මර්ෆිගෙ නීතියට අනුව (Murphy’s Law) ඒ ගමන රතු එළිය දිගටම දැල්වීමක් නෑ.. සියල්ල සාමාන්‍යයි. බාස් ඉදිරිපිටදී හුඟක් වෙලාවට ලෙඩ අතුරුදහන් වෙන එක වාහනවලට පමණක් නෙවෙයි, හුඟක් බඩු වලට පොදු දෙයක්.  ඇයි අපටත් වෛද්‍යවරයා මුණ ගැසුනු විට කැක්කුම්, වේදනා නැතුව යනවනේ!

ලක්ෂ්මන් වැඩ කලේ වෙනම ගරාජ් එකක නෙවෙයි, තමන්ගේම ගෙදර ඉඳන්. මම ලක්ෂ්මන්ගේ ගේට්‍ටුවෙන් ඇතුල්වන විටම ලක්ෂ්මන් මෝටර් සයිකලය එලියට දාන්න බලාගෙන ඉන්නවා.

“හෙන්රි අයියේ, මට පැය කාලක් දෙන්ඩ පොඩි එකාව පන්තියට දාලා එන්න. ඔයා ඔහොමම ඉන්ඩකෝ.”

ලක්ෂ්මන් ආපසු පැමිණෙන තෙක්,  මම ලක්ෂ්මන්ගෙ බිරිඳගේ මල් පඳුරු අතරේ සවිකර තිබූ අලංකාර සිමෙන්ති බංකුවේ හිඳගෙන, පාවහන් ගලවා, තවමත් පින්නෙන් වැසුණු උඳුපියලිය තණපලසේ  දෙපා ඔබාගෙන කල්පනා ලෝකේ කිමිදුනා.

ගෙදරක ඇතිකරන සුරතල් සතෙක් එක්ක, විශේෂයෙන්ම බල්ලක් වගේ සතෙක් එක්ක හාම්පුතා ඇති කරගන්න බැඳීම වගේම බැඳීමක් අජීවී වස්තුවක් වන වාහනයක් එක්කත් ඇති වෙන බව වාහන පාවිච්චි කරන අය දන්නවා ඇති. මේක මහ විකාර අදහසක් වගේ පෙනුනත්, ඒක ඇත්තක්.


අලුත් එකක් නොවුනත්, ලංකාවේ හතර දිග්බාගෙම අපිත් එක්ක කරක් ගසා ඇති මේ වාහනයට මේ තාක් ඇතිවූ ආපදාවන් සියල්ලටම වගේ හේතු වුනේ මිනිස් දෝෂයක්, නැතිනම් human error.

යාල ගිහින් අර අනතුර සිද්ද වුනේ නිසියාකාර නඩත්තු නොකල සපත්තු පාලමක දුර්වල කොන්ක්‍රීට් තට්‍ටුවක්, වාහනය ඒ මතින් ගමන් කරද්දී, කඩා වැටීමෙන්. නමුත් ඒ අනතුරට පසුවත් මේ වාහනය අපි ‍රැගෙන ගෙදරටම ලඟාවුනා.

තව දවසක්, අලුතෙන්ම සවිකල KYB ෂොකැබ්සෝබර් හතරෙන් එකක්,  නුවර යන අතර මග නිට්ටඹුව කිට්‍ටුවදී ගැලවුනේ, බාස්ගේ ගෝලයාට ඉදිරිපස දකුණු ෂොකැබ්සෝබරයේ පහල නට් එක තද කරන්න අමතක වූ නිසායි.  මේ අතපසුවීමෙන්, ඇක්සලයේ වැදුණු ෂොකැබ්සෝබරයේ හයිඩ්‍රොලික් දියරය අඩංගු සිලින්ඩරාකාර කොටස තරමක් තැලී ගොස් තිබුනා.

තවත් දිනක, වාහනය ධාවනය කරද්දි  හරියටම නුවර පාරට මීටර් සීයකට පමණ කලින් බැලුම්මහර හන්දියේදී ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ඩිෆරන්ෂලයට සවිවෙන තැනින් ගැලවී ගියේ  අර ගෝලයාටම ප්‍රොපෙලර් ෂාෆ්ට් එක, ඩිෆරන්ෂල් එකට සවිවෙන ඇණ ටික තද කරන්න  අමතක වෙලා තිබුන නිසා. කලින් ෂොකැබ්සෝබරයේ සිද්ධියට වඩා බරපතල එකක් වූ මේ සිද්ධිය නිසා ඩිෆරෙන්ෂලයෙන් හම් එකක් එන්න ගත්තා. මේ නිසා, මට ජපන් රීකන්ඩිෂන් වාහන කොටස් වෙළඳ සැලකින් සම්පූර්ණ පසුපස ඇක්සල එකලසක්ම මිළදීගන්න සිද්ධ වුනා.

තවත් වරක් රේඩියේටර් සිසිලකාරක දියරය සම්පූර්ණයෙන්ම  ඉවත් කර, අලුතින්ම පුරවා ගෙදර ගෙනත් නැවතූ වාහනයෙන්, පසුදා උදෑසන බලන විට කොළ පැහැති  සිසිලකාරකය බිම පුරා ගලාගොස් තිබුණේ සේවාමධ්‍යස්ථානයේ ගෝලයා රේඩියේටරයේ අඩියේ ඇති ඩ්‍රේන් ප්ලග් එක හරියට තද නොකර තිබූ බැවින්.

මම ඔවැනි අමිහිරි අත්දැකීම්වලින් ඉගෙන ගත්ත පාඩම නම්, බාස්ලා බුරුල් කරන නට්, බෝල්ට් නැවත තද කරනවාදැයි අපම විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

බාස්ලා පමණක් නොවේ, ඉන්ධන පිරවුම්හල්වල ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝද මීට දෙවෙනි නෑ..  මේ නිවාඩු කාලෙදිම, අප නිවස කිට්‍ටුව ඉන්ධන පිරවුම්  හලකින් ටැංකිය පිරෙන්නට ඩීසල් පුරවාගෙන මහනුවර බලා ගියේ මංගල උත්සවයකට සහභාගී වෙන්නයි. උත්සව ශාලාව ඇත්තේ කොහේදැයි විමසීමට මම වෑන් රිය පේරාදෙණියේ නැවතූ විටයි මා දු‍ටුවේ ඩීසල් මූඩිය හරියට තද නොකර, පියන වසා තිබූ නිසා ගම්පහ සිට නුවරටම ඩීසල් හැලෙමින් පැමිණ ඇති බව. එදායින් පසුව, ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝ  මගේ මේ ක්‍රියාවට පොඩ්ඩක් අමනාප වෙන බව මම දැක්කත්, ඩීසල් පුරවා පියන වැසීමට පෙර, මූඩිය තද කර ඇද්දැයි මමම පරීක්ෂා කර බලනවා.

මේ තමන්ම බුරුල් කරපු ඇණ මුරිච්චි ආපහු තිබුණු විදියට තද කරන්න අමතක වෙන එක බාස්ලගේ ජානවලම තියෙන විකෘතියක්ද කියලත් මට හිතෙනවා

ඔය කියපු හැම දේටම හේතුවෙලා තිබ්බේ අර මම කිව්ව මිනිස් දෝෂයක් (human error).

ඒ හැර වරක් මී දෝෂයක් rodent error නිසාත් එක් සිද්ධියක් වුනා. 😀

එක දවසක් මීයෙක් ඉන්ධන පොම්පයට යන විදුලි වයරය කා තිබුණ නිසා  එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඒ බව නොදැන මම ඩීසල් ‍ෆිල්ටරයත් මාරු කර බැලුවා.  ඩීසල් ‍ෆිල්ටරය මාරු කිරීමට මම මුලු ‍ෆිල්ටර් එකලසම එන්ජිමෙන් ගලවාගෙන සේවා මධ්‍යස්ථානයට අරන් ගියා. ඔවුන් ‍ෆිල්ටරය ගලවා බලා ‍ෆිල්ටරය හිරවී ඇති බව කිව්වා. ඇත්තෙන්ම ඒ ‍ෆිල්ටරයේ ජීවිත කාලයෙන්  කාලක්වත් ගෙවා නොතිබුනත් මම අලුත් ‍ෆිල්ටරයක් සවිකරගෙන ගෙදර ආවා. නමුත් වරද තිබුනේ මීයා කා දැමූ වයරයේ නිසා එන්ජිම ස්ටාට් වුනේ නෑ. පසුව මගේ කාර්මිකයා පැමිණ පරීක්ෂා කර බලා මීයා කෑ වයරය සොයාගත්තා. වයරය එක ඇමුණූ වහාම එන්ජිම පණගැන්වුනා.

පසුව සේවාස්ථානයේ හිමිකරු මට ඇඟලුම් වෙලඳ සැලකදී හමුවුනා.

“ඔයා අර ‍ෆිල්ටර් එක හිරවෙලා කියලා අලුතෙන් දාන්න කිව්වට, ඒකෙන් එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඉන්ජෙක්ටර් පම්ප් එකට යන වයර් එක මීයෙක් කාලා තිබ්බා,” මම කිව්වා.

“ඇත්තද? හැබැයි මහත්තයෝ ‍ෆිල්ටරෙත් හොඳ නෑ. ඒකෙත් බලපෑමක් තියෙන්න ඇති.”

“වෙන්න ඇති. ඌමද දන්නේ නෑනෙ ‍ෆිල්ටරෙත් කෑවේ.”

මගේ සිතුවිළි වැලට භාදා කරමින් ලක්ෂ්මන් ගේට්‍ටු පලු දෙක අතරින් මෝටර් සයිකලය පදවාගෙන වත්තට ඇතුල් වුනා. නිරුවත් දෙපාවලින් තණපළසේ සුවය විඳිමින් සිටි මම වහා නැගීසිට වාහනයට ලංවුනා.

මම ලංෂ්මන්ට රෝග ලක්ෂණ විස්තර කලා. “පොඩ්ඩක් එලවලා  බලමු,” කී ලක්ෂ්මන් රියැදුරු අසුනට නැග්ගා. එන්ජිම පණගැන්වුනු වහාම රතු බල්බය නිවීගියා. මර්ෆි හරියටම හරි!

කඳු පල්ලම් සහිත ප‍ටු පාරේ වෑන් රිය ධාවනය වුනා. පෙරදා මෙන් නොව, මගේ සිතට ඇනසුමක් ගෙන දෙමින්.  රතු බල්බය දැල්වෙන්න ගත්තා. යටි තොල හපාගත් ලක්ෂ්මන්,

“අයියේ අපිට ඕල්ටනේටර් එක ගලවන්න වෙනවා.” යි කිව්වා.

ආපසු හරවාගෙන පැමිණි ලක්ෂ්මන් ගේ මිදුලේ වාහනය නතර කලා.

එන්ජිමෙන් ඕල්ටනේටරය ගැලවීමට මේ මාදිලිවල රියැදුරු අසුන පවා ගලවා අයින් කරන්න වෙනවා.

“දැන් ඕල්ටනේටර් එක ගිහින් නම් මොකද වෙන්නේ?”

“අපි බලමු අයියේ. වයින්ඩිං එකක් ගිහින්ද , සර්විස් කරලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා.”

එන්ජිමෙන් ඕල්ටනේටරය ගලවමින් සිටි ලක්ෂ්මන් එකවරම කියූ දෙයින් මම විමතියට පත්වුනා. මම ලක්ෂ්මන්ව අගය කරන ප්‍රධාන හේතුවක් මේකයි

“අයියේ. මාර වැඩේනේ.  මේ ඕල්ටනේටරේ ඇණ දෙකක් බුරුල්නේ.”

“මොනවා බං? ඒ කොහොමද?”

ඒක නේන්නං. පොඩ්ඩක් ඉන්නකෝ.

ලක්ෂ්මන් හැම බාස් කෙනෙක් නොකරන වැඩක් කලා. ඒ කියන්නේ සෑහෙන ගානක් උපයාගන්න තිබුණු අවස්ථාව අත්හරිමින් ලක්ෂ්මන් මෙහෙම කිව්වා,

“පොඩ්ඩක් ඉන්නකෝ අයියේ. අපි ඕල්ටනේටරේ ගලවන්නේ නැතිව, මේ ඇණ දෙක තද කරලා බලමු.”

ලක්ෂ්මන් ඇණ දෙක තද කලා.  යතුර කරකවා එන්ජිම පණ ගැන්නුවා. රතු එලිය නිවී ගියා.

ඉන් පසුව අපි පැයක් පමණ ධාවනයේ යෙදී බැලුවත් රතු එලිය මතු වුනේ නෑ. ලයිට්, හෝන්, වයිපර් සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වුනා. ලක්ෂ්මන් නිකරුනේ ඕල්ටනේටරය ගලවා බොරුවක් කර මගෙන් ගානක් අයකර ගැනීමේ අවස්ථාව මග හැරගෙන තිබුනා.

අප ඉන්පසුව බැස තිබූ මගේම බැටරිය සම්බන්ධ කර වාහනය පල්ලමට දමා පණ ගැන්වීමට උත්සාහ කලා. ලක්ෂ්මන් රියැදුරු අසුනේ සිටිද්දී මම තනිවම ගේට්‍ටුව අසල පල්ලම දෙසට වාහනය තල්ලු කලා.  මෙන්න මේ මොහොතේ දුරකථනය නාද වුනා. වෙනියා!

“හිටපං මචං මම මේ ඉලෙක්ට්‍රීෂන් ගාවා ඉන්නේ. මේ වෑන් එක තල්ලු කරන ගමන්.”

මම දුරකථනය සාක්කුවේ ඔබාගෙන වාහනය තල්ලු කලා. පල්ලමේදී වාහනය පණ ගැන්වූ නිසා දුවගොස් වාහනයට නැගගත් මම වෙනියාට වාහනයේ තත්වය ගැන, මම ඒ වනවිට වෙමින් තිබූ දේ කෙටියෙන් පැහැදිළි කලා.

වාහනය දුවද්දී රතු එලිය දිගටම නිවී පැවතුනේ මගේ සිත අමානන්දනයට පත් කරමින්.  සියල්ල යහපත්ව නිම වෙමින් තිබුනා.  ලක්ෂ්මන්ගේ මුදල ගෙවා, ඔහුට ස්තුති කර ආපසු එන ගමන්, මම බැටරිය ආරෝපණය වෙනතෙක්ම අරමුණක් නොමැතිව ධාවනය කලා.  පල්ලම් කිහිපයක නවතා එන්ජිම නැවත පණ ගැන්වෙනවාදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව, චූන්ජියාගේ බැටරියත් ආපහු දීගෙනම  මම ගෙදර ගියා.

නමුත් ඕල්ටනේටරයේ බුරුල් වූ ඇණ දෙක මගේ සිතට වද දෙන ප්‍රශ්ණයක් වුනා. බුරුල් වූ ඇණ දෙකක්ද, නැතිනම් සුපුරුදු ලෙස තද කිරීමට අමතක වූ ඇණ දෙකක්ද?

අමතර කොටස් සඳහා සාම්පල් ලබා ගැනීමට, ගලවා ඉවත් කරන සමහර කොටසුත්, අලුත් ඒවායේ දවටනත් දමා තිබෙන පෙට්ටියට එබී බැලූ මට පිළිතුර දැකගන්නට ලැබුනා. උඩින්ම තිබුනේ මිට්සුබොෂි සහ බැන්ඩෝ  වර්ගවල ෆෑන්, පවර් ස්ටියරිං සහ AC බෙල්ට් තුනක්.   මේ බෙල්ට් තුන අලුතින් දැම්මේ පසුගිය දෙසැම්බරයේදී.. ඕල්ටනේටරය බුරුල් කරන්න ඇත්තේ එදා. ඊට පස්සෙත් අපි සෑහෙන ගමන් ගියා. ඒ වගේම මේ ගමන යන්න පෙරත් අපි නුවර ගියා. කොළඹ දිනපතා වගේ ගියා. නමුත් රෝගය උත්සන්න වුනේ දැනුයි.

එහෙනම් මේ සිද්ධියත් කාර්මිකයාගේ නොසැලකිල්ල නිසා සිදුවූවක්. තව විදියකට කිව්වොත් මිනිස් දෝෂයක්. Human Error!

පසු වදන


ඇයි මේ වගේ අවදානමක් ගත්තේ කියන එක හුඟ දෙනෙක් අහලා තිබුනා.

අපේ ජීවිතයෙන් වැඩි හරිය අපි කරන්නේ ලොකු, කුඩා අවදානම් ගැනීම තමයි.  දිනපතාම පාරේ දකුණු පැත්තේ අධිවේගයෙන් ධාවනය කරන බස් රියැදුරෝ, මෝටර් සයිකල් පදවන්නෝ මොන තරම් අනවශ්‍ය අවදානමක් ගන්නවද? ඇත්තෙන්ම ඔය බස් එකක ගමන් කරන අපි ගන්නේ අවදානමක්.

අපිත් වැඩිපුර ගමන් යන්නේ මහ රෑ. වාහන අඩු නිසා පහසුවක් තිබුනත්, නින්ද යාමේ අවදානම නෑ කියන්න බෑ.  මමත් මහ රෑ රිය පදවද්දී නිදිමත සමඟ සටන් කරනවා. වතාවක් දෙකක් නින්ද ගිහිනුත් තියෙනවා.

මම අවදියෙන් ගියත්, ඉදිරියට එන වාහනයේ රියැදුරාට නින්ද ගිහින් වෙන්න පුලුවන්. එහෙම නින්ද ගිහින් මගේ මුහුණට ආ රියැදුරන් මම මගේ නලාව නාද කර ඇහැරවා තියෙන්නේ එක් වතාවක් නෙවෙයි. ඇත්තෙන්ම රාත්‍රී ගුවන් ගමනක යෙදෙන මඟියෙක් ගන්නේ අවදාමක්. හුඟක් ගුවන් කියමුවෝ ප්‍රමාණවත් නින්දක් නොලබන බව ප්‍රසිද්ධ කාරණාවක්.


බද්දේගම අපි නොදන්න පළාතක්.  මළ ගෙදරක් වෙලා තියෙද්දි රෑ මැදියම විදුලි කාර්මිකයෙක් හොයන්න ඇල්කෙමියට කියන්න මට හිතුනේ නෑ. අනික එහෙම කෙනෙක් හොයාගත්තත් බාස්ලගේ හැටි අපිට කියන්න බෑ. හැම එකාම ඔය ලක්ෂ්මන්ගේ ජාතියේ නෙවෙයි. මේක ආදායම් මාර්ගයක් කරගෙන ඕල්ටනේටරේ විනාස කරන්නත් ඉඩ තිබුනා වෙනත් කෙනෙකුට. අනික ප්‍රශ්ණේ කොතනින් කෙළවර වෙයිද කියලා කියන්න බෑ.  නමුත් දමිත් ගුණවර්ධන සොයුරා එදා රෑ මළ ගෙදර ඇවිත් හිටියානම් කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා.

අනික ප්‍රශ්ණේ මේකයි කියලා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. පරීක්ෂා නොකර කියන්නත් බෑ. ඇත්තෙන්ම මම හිතුවේ මේක රෙක්ටිෆයර් එකේ ප්‍රශ්ණයක් කියලා.  අනික වෑන් එකක ඕල්ටනේටරය තියෙන තැන අනුව, කාර් එකක වගේ ලේසියෙන් ලඟාවෙලා බලන්නත් අමාරුයි. ඒ හැරත්, ඕල්ටනේටරයේ ඇණ බුරුල් වී තිබීම සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවන නිසා එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ.

අනික වාහනේ ගිය අනිත් උන්ට දොස් කියන්න බෑ, මොකද මම මේ ගැන උන්ව දැනුවත් කරලා බය කලේ නැති නිසා.  මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න අනිත් අයත් එක්ක බෙදාගන්නවා අඩුයි. තනියෙම නිහඬව ප්‍රශ්ණ විසඳාගැනීම මගේ එක ලක්ෂණයක්. මහ රෑ වාහනේක නින්ද යන එක සාමාන්‍ය දෙයක්.  ඒකේ වරදක් මම දකින්නේ නෑ. මේ වෙලාව මැදියම් රෑ. මට නම් දවල්ටත් හොඳටම නින්ද යන්නේ අනුන් පදවන වාහනවල.

මේ ඔක්කොටම වඩා අධිවේගී මාර්ගයේ ලයිට් නැති බව මම දැනගත්තේ ඒකේ ඇවිල්ලමයි. ඇත්තෙන්ම ගමන යනකොට වාහනේ ලයිට් තිබුන නිසා පාරේ ලයිට් නැති බව දැනුනේවත් නෑ.

අවසාන වශයෙන් පරමාදර්ශී චරිතයක් නොව, සාමාන්‍ය පුද්ගලයෙක් වන මගේ මේ කතාව හපන්කමක්, මෝඩකමක් හෝ පුරසාරමක් යන කැමති ප්‍රවර්ගයකට දාගන්න ඔබට නිදහස තියෙනවා. මට නම් මේ හුදෙක් තවත් අමතක නොවන අත්දැකීමක් එය සිදුවූ ආකාරයටම අකුරු කිරීමට කල දුබල උත්සාහයක් පමණයි. මෙවන් අවස්ථාවක් යෙදුනොත් මා කල දෙය කරන්න කියන එක නොවෙයි මෙයින් ගත යුත්තේ. වාහනයක මෙවන් රෝග ලක්ෂණ පහල වුවහොත්, එන්ජිමේ කොතනද පරීක්ෂා යුත්තේ කියන එකයි. මෙවැනි බ්ලොග් ලිපියක් මටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන්න තිබුනා එදා රාත්‍රියේ.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

4 responses to “151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

  1. පිණිබිඳු

    මාර්තු 18, 2014 at 12:54 ප.ව.

    තමන්ගෙ වාහනේකට දරුවෙක්ට තරම් ආදරේ කරන මිනිස්සු ඉන්නවා. ඔබත් ඒ එක්කෙනෙක්. වාහනේකට හිතක් පපුවක් නෑ තමයි. ඒත් ඒ වාහනෙත් එක්ක එන බැඳීම සුලුපටු නෑ. ගොඩක් කල් පාවිච්චි කරපු වාහනයක් විකුණුවට පස්සෙ දුක දැනෙන්නෙත්, පාරෙදි අහම්බෙන් වගේ විකුණපු වාහනේ ආයෙ දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙත් ඒ බැඳීම හන්දා.

    කොහොම හරි වාහනේ වැරැද්ද හොයාගත්තනෙ. ජීවිතේ මැක්සිමම් රිස්ක් ගන්න වෙනවා ඉතින් නේද.

    සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවෙ. පරණ පෝස්ට් ඔක්කොම කියෙව්වා. මගෙ බ්ලොග් එකත් අප්ඩේට් කරේ නෑ සෑහෙන කාලෙකින්.

     
  2. Dulip Sikurajapathy

    මාර්තු 18, 2014 at 10:47 ප.ව.

    //ගෙදරක ඇතිකරන සුරතල් සතෙක් එක්ක, විශේෂයෙන්ම බල්ලක් වගේ සතෙක් එක්ක හාම්පුතා ඇති කරගන්න බැඳීම වගේම බැඳීමක් අජීවී වස්තුවක් වන වාහනයක් එක්කත් ඇති වෙන බව වාහන පාවිච්චි කරන අය දන්නවා ඇති. //

    ඇත්ත. මගෙ ජීවිතේ මට විස්වාසවන්තම සගයා තමයි මගෙ බයික් එක. ඒක මං ගැන දන්න ඕනෙම කෙනෙක් දන්නව 😀

     
  3. Kenji @ Japan

    මාර්තු 19, 2014 at 4:09 පෙ.ව.

    උඹේ මේ ලිපි දෙක ගොඩක් අයට ප්‍රයෝජනවත් මචං .
    මමත් දන්න අයගෙන් අහල තියෙනව සම හරක් බාස්ල කරන පර වැඩ.
    කොහෙද බං පයිලට්ල නිදි මරන්නෙ…?දෙන්න යානයට ගොඩවන්න පෙර සම්පුර්ණ ශාරීරික පරික්ෂාවකට ලක් කරනව.පැය 24 පෙර ඇල්කොහොල් භාවිතා කරලා පවා ඉන්න බැහැ.

     
  4. hiruni

    මාර්තු 21, 2014 at 12:37 පෙ.ව.

    හරිම කේන්තියි බාස්ලා ගැන……:/ මිනිස්සුන්ගේ ජීවිත එක්ක කරන සෙල්ලමක් වගේ දෙයක් තමයි……
    දෙවියන් පිහිටෙන් පරිස්සමෙන් ගෙදර ආවනේ ඔය තුන් දෙනා ඒ ඇති. 😀

    මට හරිම සතු‍ටුයි ඩුඩ්ලට වගේම මේක මිනිස් දෝශයක් වෙච්ච එක ගැන මොකද ඔය වෑන් එක අපේ පවුලේ සාමාජිකයෙක් වගේ…..හරිම ආදරෙයි අපිට 😀

    අනික ඩුඩ් ඔයා ඒ වෙලාවේ කලේ ඒ වෙලාවෙ කරන්න පුලුවන් හරිම දේ…..ගෙදර ඉදන් කියවද්දි කොච්චර අදහස් කියන්න පුලුවන් උනත් ඒ වෙලාවට අපි කරන්නෙ කරන්න පුලුවන් හොදම දේ…..ඔයාලා කලදේ හරියටම හරි….. 😀 (Y)

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න