Pages

Friday, March 7, 2014

Widgets

අතුරුදහන් වූ ගම්මානය

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී පුද්ගලයන් අතුරුදහන් වීම ගැන අපට වරින් වර අසන්නට ලැබෙනවා. නමුත් ගම්මානයක ජීවත් වූ සම්පූර්ණ ජනගහනයම අතුරුදහන් වීමක් ගැන නම් එලෙස නිතර අසන්නට ලැබෙන්නේ නැහැ. මේ කියන සිදුවීම නම් ඒ ආකාරයේ සිදුවීමක්.

කැනඩාවේ නුනවුට් හි කිවලික් ප්‍රදේශයේ ඇන්ගිකුනි නම් විල අසල තිබූ ඉනියුට් ගම්මානයේ (කැනේඩියානු එස්කිමෝවරුන් ජීවත් වන ගම්මාන මෙසේ හැඳින්වේ) ජීවත් වූ සියලුම දෙනා කිසිම සළකුණක්වත් නොතබා සම්පූර්ණයෙන්ම අතුරුදහන් උනා.

කැනේඩියානු එස්කිමෝවරුන්ගේ (ඉනියුට් වරුන්ගේ) සාම්ප්‍රදායික පැල්පත්


1932 නොවැම්බර් මාසයේ දිනයක සැන්දෑයාමයේදී කැනේඩියානු ජාතික සත්ව සම් එකතු කරන්නෙකු වන ජෝ ලැබෙල් නමැත්තා හිම කතරේ තිබූ අධික ශීතලෙන් ගැලවීමට ආවරණයක් සොයා යනවිට ඇන්ගිකුනි හි ඉනියුට් ගම්මානයට පැමිණියා. ජෝ මෙම ස්ථානයට අමුත්තෙකු නොවිනි. මීට කලින්ද වරින් වර මෙහි පැමිණ තිබූ ඔහුට ගම්වැසියන්ගේ ආගන්තුක සත්කාර නුපුරුදු දෙයක් උනේ නැහැ. නමුත් මෙදින ඔහුට මෙම ගම්මානයේ අමුත්තක් දකින්නට ලැබුනා. මුලු ගම්මානයම භයානක නිෂ්ශබ්දතාවයක ගිලී ගොස් තිබුනා. ගම් වැසියන්ගේ සිනා හඬ, කතාබස් කරනා හඬ හෝ අසන්නට ලැබුනේ නැහැ. අඩුම තරමෙන් ඔහුට හුරු පුරුදු ගම්මානයේ විසූ බල්ලන්වත් දකින්නට ලැබුනේ නැහැ. ඔහු හඬ නඟා ගම්වැසියන්ට කතා කලත් ඔහුට කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ. ගම්මානයේ සියලුම පැල්පත්, කූඩාරම් භයානක නිහඬතාවයක ගිලී තිබුනා. පුදුමයට පත්වූ ඔහු ගම්මානය පුරා ඇවිදිමින් කිසිවෙකු සොයමින් සිටිනාවිට ඔහුට දකින්නට ලැබුනේ ඈතින් ගින්නක් ඇවිලෙන ආකාරය. ඉක්මනින්ම ඒ දෙස්ට ගමන් ගත් ඔහුට දකින්නට ලැබුනේ ලිප තබා තිබූ ඉස්ටුවක්. නමුත් ඒ අවටත් කිසිවෙකු සිටියේ නැහැ. ඉන් පසුව ඔහු ගම්මානයේ සෑම තැනක්ම පරීක්ෂා කලා. ගම්වැසියන්ගේ බඩු භාණ්ඩ, ආහාරපාන ආදිය මෙන්ම ආයුධ පවා නියමිත තැන්වල ඒ ආකාරයෙන්ම තිබුනත් එකදු ගම් වැසියෙක්වත් දකින්නට ලැබුනේ නැහැ. අධික ශීතලද නොතකා අපහසුවෙන් ආසන්නතම ටෙලිග්‍රාෆ් කාර්යාලය වෙත ගිය ලැබෙල් ආසන්තම පොලිස් බැරැක්කය වෙතට පණිවිඩයක් යැව්වා.

පැය කීපයකින් අනතුරුව ගම්මානයට ගිය පොලිස් නිළධාරීන්ටද දැක ගැනීමට හැකි වූයේ ගම්වැසියන් රහිත ගම්මානයයි. මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ පොලීසියට කට උත්තරයක් ලබාදුන් ආර්මන්ඩ් ලොරන්ට් නම් තවත් සත්ව සම් එකතු කරන්නෙකු පවසා සිටියේ මෙම ගම්මානයට ඉහළින් පැමිණි දිලිසෙන පියාඹන පීරිසි වලින් ගම්මානය දෙසට ආලෝක කදම්භ එල්ල වන අයුරු තමන් දුටු බවයි. තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවාගෙන ගිය පොලීසියට සොයා ගැනීමට ලැබුනේ ගම්වැසියන්ගේ මුතුන්මිත්තන්ගේ සොහොන් හිස්වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම සොහොන් මතුපිට හා අවට හිම තදින් ගනව පැවතුනා. එමෙන්ම සොහොන් කොත් හරි මැදින් දෙකට පැලී තිබුනු අතර මෙය සතුන්ගේ වැඩක් නොවන බව එයින් ඔප්පු උනා. එමෙන්ම ගම්මානයට සැළකිය යුතු තරම් දුර ස්ථානයක හිමෙහි අඩි 12ක් යට වළලා තිබූ බල්ලන්ගේ මළකුණු 7ක් සොයා ගැනීමටත් පොලීසියට හැකි උනා. එම බල්ලන් සියලුම දෙනා මියගොස් තිබුනේ හාමතින්. එක් වාර්තාවක සඳහන් වූ පරීදි මෙම බල්ලන්ව ගස් වල ගටගසා තිබෙනවා ඔවුන්ට ආහාර සොයාගත නොහැකි වන අයුරෙන්. ඉන්පසු පොලිස් නිළධාරීන්ද තවත් පුදුමයට පත් උනේ ඔවුන්ටත් දිලිසෙන නිල් පැහැති ආලෝක කිරණ ආකාසයේ දැකගත හැකි වූ නිසාවෙන්.



මීට අමතරව වෙනත් කිසිවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි වූ අතර එකම ගම් වැසියෙකුවත් මින් අනතුරුව දකින්නට ලැබුනේ නැහැ.


පුවත්පත් වාර්තාකරුවෙකු වන ෆ්‍රෑන්ක් එඩ්වර්ඩ්ස් විසින් 1966දී රචිත 'Stranger Than Science' නම් ග්‍රන්ථයට මෙම සිදුවීම අන්තර්ගත කිරීම නිසා මෙම සිදුවීම නැවතත් ලොව පුරා කතා බහට ලක්වෙන්නට පටන් ගත් අතර ඔහු මෙම සිදුවීම තම කෘතියේ පළකර ඇත්තේ 'The Danville Bee' නම් පුවත්පතේ සිදුවීම ගැන එකල වාර්තා කර තිබූ ලිපිය ආශ්‍රයෙනුයි.






කෙසේ වෙතත් මෙම සිදුවීම 1966දී නැවතත් කරළියට ඒමත් සමග කැනේඩියානු පොලීසිය පවසා සිටියේ තමන් මෙවැනි සිදුවීමක් පිළිබඳව කිසිදිනෙක පරීක්ෂණ පවත්වා නොමැති බවයි. මේ කියන ප්‍රදේශයේ මේ කියන තරම් විශාල ගම්මානයක් පවා නොතිබූ බවයි ඔවුන් පැවසුවේ. (මෙම කාලයේ ඉනියුට් ජනගහණය පිළිබඳ වාර්තා ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් වන අතර මෙම ප්‍රදේශය සම්බන්ධව වාර්තා ඇත්තේම නැති තරම්. එම නිසා මෙවන් ගම්මානයක් තිබූ බවට ලිඛිත සාක්ෂි සොයාගැනීමට නැහැ.) එමෙන්ම මෙම කතන්දරය සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක් ලෙසටද ප්‍රකාශ කර ඇති ඔවුන් ඒ පිළිබඳව එඩ්වර්ඩ්ස් හට දෝශාරෝපණය කර තිබෙනවා. නමුත් එඩ්වර්ඩ්ස් ගේ පසුබිම සළකා බලන විට ඔහු මෙම කතාව ගොතන ලද්දක් බව පිළිගැනීමට අපහසුයි.

කෙසේ වෙතත් පසුකාලීනව පොලිස් වාර්තා වලට අනුව ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු කර තිබෙන බව හෙලි උනා. මෙම වාර්තා අනුව ඔවුන් පවසා සිටියේ මෙහිදී ඉතා සාමාන්‍ය සංක්‍රමණ ක්‍රියාවක් සිදුව ඇති බවයි. නමුත් ගම් වැසියන් තව තවත් අධික ශීතල තුලට සංක්‍රමණය වෙද්දී ඔවුන් තම ආහාරපාන හා ආයුධ පවා හැරගියේ ඇයිද යන්නට හේතුවක් ඉදිරිපත් කිරීමට පොලීසියට නොහැකි උනා.


ලැබෙල් පවසා සිටියේ මෙය ටොංගාර්සුක් (ඉනියුට්වරුන්ගේ විශ්වාසයන්ට අනුව අහසට අධිපති දුෂ්ඨ දෙවි කෙනෙක්) නම් දෙවි කෙනෙකුගේ වැඩක් බවයි.

මෙහිදී පිටසක්වල ජීවින්ගේ මැදිහත්වීමක් සිදුව ඇති බව පිළිගන්නා බොහෝදෙනෙකු සිටිනවා. ඔවුන්ගේ මතවාදයට ප්‍රධාන හේතුව වන්නේ අහසේ පැතිර ගිය ආලෝක කදම්භයි.

කෙසේ වෙතත් මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න තීරණය කිරීම ඔබට භාරයි.



No comments:

Post a Comment

Related Posts with Thumbnails