ජාතික දුර්වලකම් ජයගනිමු

සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කළ කාලයේ දී එය කඩාකප්පල් කර දැමීමට ඉදිරිපත් වූයේ පිටරැටියෝ නොව අපේම සිංහල අයියලා බව “දෙල්ගහ යට ගෙදර විප්ලවයෙන්” පැහැදිලි වේ. එහෙත් අද එම ව්‍යාපාරයෙන් ඵල නෙලා ගන්නේ අහිංසක සිංහල ගැමියන්ය.

හොඳ කටයුතු වලට හරස් කපන හා බාධා කරන, සහයෝගය දීමට ඉදිරිපත් නොවෙන සිංහලයා නරක දෙයකට, ලේ සෙලවීමකට විරුද්ධව කතා කිරීමට මැළිවේ.

අසූහාරදහසක් ධර්මස්කන්ධය හැමදාමත් අසා සිටින සිංහල බෞද්ධයා චතුරාර්ය සත්‍යය ධර්මයෙන් එක ධර්මයක් පමණක් අවබෝධ කරගැනීමට වෑයම් කරයි. ඒ දුක්ඛ සත්‍යයයි. ඔහුට හැමදාම දුක ගැන කතා කළත් එපා වෙන්නේ නැත. එහෙත් දුකින් මිදීමේ මාර්ගය හෝ දුකට හේතුව ගැන කියා දෙන විට “ඔය හැමදාම කියන්නේ එකම දෙයයි,” කියා එයට සවන් නොදී නැවත දුක අවබෝධ කරගැනීමට යැයි සිතා දුක හා නැති බැරිකම ගැනම කතාව පටන් ගනී.

එක එක විදියට ගොනුකර අප හැමදාමත් කියවන්නේ හෝඩියේ අකුරු ටිකමයි. එහෙත් අපිට කියවීම එපා නොවේ. හැමදාම බත්කන නමුත් බත් එපා නොවේ. මොහොතක් නෑර හුස්ම ගන්නා නමුත් හුස්ම ගැනීම එපා නොවේ.

එමෙන් සැපත, වාසනාව හා සෞභාග්‍යය ගැන අපි පණ තියෙන තුරු සිතිය යුතුය. “භාවිතෝ බහුලීකතෝ,” යයි කීවේ දන්නා බවක් සිතාගෙන නිදි කිරන්නට නොවේ. දන්නා දෙය නැවත නැවතත් භාවිතා කිරීමටය.

මඩ ගැසීමෙන් හා හෑල්ලු කොට කතා කිරීමෙන් කිසිවෙකුට කිසිම යහපත් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය.

කුමන හොඳ දෙයක් හෝ හෑල්ලු කොට කතා කරන පුද්ගලයාගෙන් ඔබ ඊට වඩා මානසික සුවයක් හා ජීවිතයට සහනයක් ලැබෙන මාර්ගයක් කියා දෙන ලෙස ඉල්ලන්න. චේතනාව කර්මය නොවේ නම් කර්මය යනු වෙන කුමක්දැයි අසන්න. දියුණුවීමට මාර්ගය අනුන්ට ගැරහීම හා ධනපතියන් භංගවේවා යැයි කීම ද? එසේ නැත්නම් ධනය හම්බ කරගත හැකි මාර්ග වලට සිත යොමු කරවීම ද?

සමාජ ක්‍රමය පෙරලා ඔබේ ප්‍රශ්න විසඳා ගතහැකි යැයි සිතනවා නම් සමාජ ක්‍රමය පෙරලන ලද රටවල පවත්නා සැබෑ තත්වය ගැන සොයා බලන්න.

බුදුහිමියන්ට විරුද්ධ වූයේ සම්බුද්ධ චීවරය දරාගත් ඥාතිකමක් ද තිබූ ගෝල තෙරණුවකි. ජේසු හිමියන් පාවා දුන්නේ උන්වහන්සේගේම ගෝලයෙකි. සිංහලයාට විරුද්ධව කටයුතු කරන්නේ සිංහලයෙකි. කැලෑව නසන්නට කැලෙන්ම එකෙක් ආ යුතුයි. ලෝකය පවත්නා තාක් කල් ඉදිරියට ගමන් කිරීම ද ලෝක නීතියයි. කවුරු “උම්බෑ” ගෑවත් අපි අවදි වී චිත්ත ධර්ම විද්‍යාව තුලින් ඉදිරියටම යමු.

-සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය