Sinhala story Blog

ජනවාරි 11, 2014

කිබිසිනි -වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල්ම තමයි

Filed under: Uncategorized — arunishapiro @ 8:17 පෙ.ව.

“එහෙම තව තැන් තියෙනවා වෙන්නත් ඇති නේද?” අම්මා විමසන්නීය.

“මෙතනින් කතන්දරයකට ගිහින් ඒ ඇතුලෙන් තව කතන්දරයකට යන්න තැන් ද?” මිස් සුරම්‍යා අසන්නීය.

“නෝනා අහන්නෙ මේ ඉස්තෝප්පු කාමරේ වගේ තැන් වෙන ගම් පළාත් වලත් තියෙනවා ඇති කියල ද?” මෙහෙකාරිය අම්මා වෙතින් විමසයි.

අම්මා මෙහෙකාරිය හිසෙන් දක්වමින් ඔළුව වනමින් තමන් අහන්නේ ඒ බව යැයි පෑවාය.

“නැති වෙන්න හේතුවක් නැහැනෙ,” කියමින් යටිතොල විකන්නට ගත් මිස් සුරම්‍යා මඳක් කල්පනා කර “මෙහෙම තැනක් තියෙනවා කියලත් විශ්වාස කරන්න බැරි අපි කොහොම ද කියන්නෙ එහෙම තව තැන් නැහැයි කියල,” යැයි ඊට එක් කළාය.

ලීලා අම්මා දිහා බලා සිටියේ විමතියෙන්. මහතුන් මාමා විකුණා දමන්නට හදන ඉඩම ඇයට සිහිවිණ. එහි පස් පාගන්නට පවා මහතුන් මාමා අකමැති බවක් කියූ හැටිත්, ඒ ඉඩමේ සිද්ධ වූ කුමන හෝ අබැද්දිය ගැන අම්මාගෙන් අහගන්නට යැයි කියමින් එදා මහතුන් මාමා පිටවී ගිය සැටිත් ලීලාට මතක් විණ.

“අර ඉඩමේ මොකද වුනේ?” ලීලා ඇසුවාය.

“මහතුන් මාමාගෙ ලොකු පුතා නිතර ගියා ඒ ඉඩමේ ඇවිදින්න. හැමෝම විහිළු කළේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා වෙන්නැති කියල. ඒත් හිටිහැටියෙ දවසක් එයා අතුරුදහන් වුනා.”

“තාත්තා මොකද කිව්වෙ?”

අම්මා නළල රැළි කරගෙන කල්පනා කරන්නට උත්සාහ ගත්තාය.

“තාත්තා ඒ ඉඩම බලන්න ගියා ද?”

“ඔව්, අපි හැමෝමත් ගිහින් හෙව්වා හැම අස්සක මුල්ලකම. පොලීසියෙන් කීප සැරයක් ගියා විපරම් කරන්න. කවුරුවත්ම හිටිය බවක් හොයාගත්තෙ නැහැ.”

“මහත්තයා ඒ දවස්වල හරියට කෑමක් බීමක් ගත්තෙත් නෑ, නෝනට මතකද, අපි කොච්චර දේවල් හදලා දුන්නත් කටක් දෙකකට වඩා කෑවෙත් නැහැ,” මෙහෙකාරිය මතක් කළාය.

“අපි හැමෝම හිටියෙ දුකෙන්,” අම්මා කිව්වේ තාත්තා තුලින් අනෙක් අය තුල නොතිබූ විශේෂ දුකක් දකින්නට හැකි වූවා යන්න පිළිගන්නට අකමැත්තෙනි.

“මහත්තයා ඒ දවස්වල මේ කාමරෙන් ඔය කියන ගමන් ගියෙ නෑ මයෙ හිතේ,” මෙහෙකාරිය කියන්නීය.

“ඇයි එහෙම කියන්නෙ?” ලීලා ඇසුවාය.

“ඉස්තෝප්පුවේ වාඩිවෙලා පොත් කියෙව්වා මිසක් වැඩිය නිදාගත්තෙ නැහැ. අර බෙහෙත් කොළ තම්බලා දෙන්න කියලා ඉල්ලුවෙත් නැහැ කාලයක් යනකම්ම.”

අම්මා ඒ කියමන සමඟ එකඟ වෙයි. “ඔව් ඔව්, ඇත්ත ඇත්ත. ඒ දවස්වල ගෙදර ඉන්න හැම තිස්සෙම පොත් කියෝන එක තමයි කළේ මෙයා,” නින්දෙන් ගෙරවීම නවතා ඇතත් තද නින්දක තවමත් පසුවෙන තාත්තා දිහා ආදරයෙන් බලමින් අම්මා කියයි.

“කවුරුවත් හොයාගෙන ආවේ නැද්ද?” මිස් සුරම්‍යා විමසුවාය.

“තාත්තව?”

“නෑ නෑ, අර නැතිවෙච්ච පුතාව. යාළුවෝ නෙමෙයි. ගෙදර අය කළින් නොදන්න … කෙල්ලක් හිටියා නම් එයාගෙ පවුලෙ අය වගේ?”

“නැහැ, දන්න කියන යාළුවො නෑදෑයෝ මිසක් එහෙම පිට කෙනෙක් ආපු විත්තියක් කවුරුත් කිව්වෙ නැහැ. මහතුන් මල්ලිත් හෙව්වා දන්න කියන හැම තැනකින්ම. මම කියන්නේ කිසිම කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියැයි කියලා හොයාගන්න බැරිවුනා.”

“තාත්තා ඊට පස්සෙ ඒ ඉඩමේ ඇවිදින්න ගියා ද?”

“සිද්ධිය වෙච්ච දවස්වල අපි නිතර ගියා. තාත්තා මහතුන් එක්ක ගිහින් රැයක් නැවතිලා හිටියදත් කොහෙද. තාත්තා තනියෙම ගිහින් ඇවිද්දැයි කියල කීප සැරයක් මාත් එක්ක කිව්වා තමයි. ඒත් ඒකෙ ලොකු වැදගත්කමක් අපි කවුරුවත් දැක්කෙ නැහැ.”

“එහෙම ගිහින් ආවම ගෙදර ඇවිත් වැඩියෙන් නිදාගත්තෙත් නැත්නම් සමහර විට ඒ ඉඩමෙන් අන්කල්ට මෙහෙම ගමන් යන්න බැහැයි කියලා තීරණය කරන්න ඇති,” මිස් සුරම්‍යා කියද්දී එකඟ වෙනවා හැරෙන්නට ඊට විරුද්ධ වන්නට අනෙක් ගැහැණුන්ට සාධක කිසිත් නොතිබිණ.

“ඒත් මේ කාමරෙන් ගිහින් ඒ යන තැනක ඉඳලා අර ඉඩමෙන් යන තැන් ගැනත් හොයන්න පුළුවන් කියල අපි වගේම මහත්තයත් හිතන්න ඇති නේද?”

මිස් සුරම්‍යත් ලීලාත් නැහැ නැහැ තාත්තා එහෙම හිතන්න විදියක් නැහැ, මොකද එය එසේ සිද්ධ වෙන්නක් නොවන නිසා යැයි කියමින් හිස් වැනූ නමුත් අම්මා සහ මෙහෙකාරිය වටහා නොගත් දෑස් වලින් ඔවුන් දිහා බලා සිටියහ.

“සිද්ධ වෙන්න පුළුවන් දේවල් ලෝකෙ කොච්චරක් තිබ්බත්, ඇත්තටම වෙන්නෙ කීයෙන් කීයක් ද?” මිස් සුරම්‍යා ඔවුන් දෙදෙනට පැහැදිලි කරන්නට උත්සාහ ගත්තාය.

“ඒ කිව්වෙ?” මෙහෙකාරියත් අම්මාත් දෙදෙනාම එකවර ඇසූහ.

“පොත් කොච්චරක් තියෙනවා ද අපූරු අද්භූත දේවල් ගැන ලියල,” ලීලා මිස් සුරම්‍යාගේ සහයට ආවාය.

“කතන්දර වලින් උලුප්පලා, ත්‍රාසජනක විදියට, නැත්නම් බයෙන් වෙවුලලා යන්න, එහෙමත් නැත්නම් කියවද්දී ඇඬෙන්න තරම් ආවේගශීලීව ලියලා තිබුණත්, ඇත්ත ජීවිතේ වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල්,” මිස් සුරම්‍යා කියයි.

“ඔව්, හිතාගන්න බැරි තරම් අරුම පුදුම දේවල් නෙමෙයි,” ලීලා කියයි.

“ඉතින් බේබි ඒ කියන්නෙ එහෙම යන්න පුළුවන් තැන් තව තිබුණත් මේ කාමරෙන් ඒ තැන්වලට යන එක මේ කාමරේට යන එකටත් වඩා අමාරුයි කියල ද?”

මිස් සුරම්‍යා සහ ලීලා සමඟ එයයි නිවැරදි උත්තරය කියන්නට මෙවර අම්මා ද එකතු වූවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.