අවුරුද්දට රජ හොද්දක්.අතිශයින්ම පිරිමින්ටයි.greatest gruel of the world.:-)

ඔය එක එක රස කෑම හදන්න ගෑනු කට්ටිය කියලනේ කියන්නේ.ඒ වුනාට එයාලට වැඩිය රසට උයන්න පුලුවන් පිරිමි අය නැතුවාම නෙවෙයි.අද දාන්න යන්නේ පිරිමි අයට සුවිශේෂි හොද්දක් ගැන.මේක ගෑනු අයටත් හදන්න පුලුවන්.ඒ වුනාට එයාලාව මේකෙන් ඈත් කරලා තියන එක ඇඟට ගුණයි.ඒ මොකද කියලා හොද්ද හදන හැටි කියන් යද්දි තේරෙයි.මේ හොද්දේ නම තමයි “””රජ හොද්ද””.පුදපු ගමන් කාපි යකා ක්‍රමයට දාන්නේ නැතිව හොද්ද හොයා ගන්න හේතු භූත වෙච්ච කතාවත් කියමින්ම වට්ටෝරුව කියන්නම්.

Image

ඔන්න පහුගිය දවස් වල තිබුනනේ දිග නිවාඩුවක්.ඒකට අපි කට්ටියක් එක්කම සෙට් වෙලා මංගැච්චුවා එක්තරා හද්ද ඩොටයක.මොකද කාලයක් තිස්සේ යන්න හද හද හිටියට අන්තිමට ඔක්කෝටම එකඟ වෙන්න පුලුවන් වෙන්න පුලුවන් වුනේ තැන් කීපයකට විතරක් හින්දා.

දැං ඔන්න ඔය කියන පැත්තට ගියා කියමුකෝ.ප්‍රශ්නය වුනේ මේ තැනට ගියාම අපිටම උයාගෙන තමයි කන්න වෙන්නේ.මොකද ඒ පැත්ත පලාතක කෑම ගන්න කඩයක් නෑ.කලින්ම දැනං හිටපු හින්දා අපි ඉතින් අඩුම කුඩුමත් අරගෙන තමයි මංගැච්චුවේ.

ඔන්න ඉතින් කට්ටිය බෙදිලා එක එක කට්ටිය එක එක ව්‍යංජන හදන්න ගත්තා.අපිට සෙට් වුනේ සැමන් වලින් කරියක් හදන්න.අපිත් ඉතින් ඒක පැනලා ගත්තා.මොකද ලොකු වැඩක් නැතිව ඇති කියලා.ඉතින් ඒ අත්දැකීම් වලින් තමයි මේ නියම හොද්දක් හදන උපදෙස දෙන්නේ,හොඳේ.

මුලින්ම සැමන් ටිං එක කඩලා ඒක දාගන්න ඕන බේසමකට.ඊට පස්සේ ඔය පස් වැනි සිල් පදේ කඩපු එකාලා ඉන්නවනම් එතනින් එලවන්න ඕන.නැත්නම් සැමන් ටික වාෂ්ප වෙනවා.ඊළඟට හොඳට හයි හත්තිය තියෙන හතර පස් දෙනෙක් එකතු වෙලා අර සැමන් කුට්ටි හොඳට චප්ප කරලා ගන්න ඕන.හරියට ක්ලේමෝ එකකට අහු වෙච්ච මාලුවා වගේ වෙන්න.

හොද්ද හදද්දි පොල් මිරිකන්න දෙන්න ඕන හරියට අර ගජබා රජතුමා එක්ක ඉන්දියාවට ගිය නීල මහා යෝධයා වගේ ඩයල් එකකට.මොකද නීල මහා යෝධයා වැලි මිරිකා තෙල් ගත්තා කියනවනේ.ඉතින් ඒ ක්‍රමයට තමයි පොල් මිරිකා කිරි ගන්න ඕන.

Image

drawsigner.com

ඒ කිරි ටික සාස්පානකට දාලා අර සැමන් අංශුටිකත් දාලා තව ඔය අතට අහුවෙන රම්පේ,කරපිංචා,සුදු ළූනු,රතු ළූනු,බී ළූනු,ලොකු ළූනු..ඔය ඕන ළූනු ජාතියක්,එතකොට මිරිස් ,ලුණු,ගම්මිරිස් හැම දේම දාන්න ඕන.ඊට පස්සේ අර දිග මිට තියෙන කුඩයක් අරගෙන හොඳට අර හොද්ද හැඳි ගන්න ඕන.ඒකට ඔය දොදොල් තාච්චි හැඳි ගාපු අය ඉන්නවනම් සුපිරි.හොද්ද ලිපේ තියලා බුබුළු දාන්න දාන්න කුඩෙන් හොඳට හැඳි ගාන්න ඕන.

ඔය හොද්ද හොඳට ඉදුනා කියලා දැන ගන්නේ සියලුම සමන් කෑලි හොද්දට දිය වුනාම තමයි.ඊට පස්සේ අර හොද්ද නිවෙනකං ඉඳලා රස කාරක එකතු කරන්න ඕන.අපේ එකෙක් නම් දාලා තිබුනේ ගල් කාලක්.ඒකත් හොඳට අර කුඩෙන් මිශ්‍ර කරන්න ඕන.

Image

wallpapersdb.org

අන්තිමටම ඔයාලට ලැබෙනවා නියම රියල් දේශීය හොද්දක්.ආයි හොදි ඕන්නෑ මේ හොද්ද කෑවාම.පාන් එහෙම කන්න මරු.

ඒ වගේම මේ හොද්දත් අතිශයින්ම පිරිමින්ට පමණයි.මොකද මේ හොද්ද කාන්තා පාර්ශවය රස බැලුවොත් පිරිමි අයට හැමදාම කුස්සියට වෙලා තමයි ඉන්න වෙන්නේ.හොඳේ.

 

අනික මේ හොද්ද හදන්න ගිහින් හරි,කාලා හරි වෙන අතුරු ආන්තරා වලට මං වගකියන්නේ නෑ ඕං.

2 thoughts on “අවුරුද්දට රජ හොද්දක්.අතිශයින්ම පිරිමින්ටයි.greatest gruel of the world.:-)

  1. මරු හොද්දක්නේ.. කාලා වැනි වැනි උන්නෑකි. මාත් කැමතියි ඔය හොද්දත් එක්ක පාං කන්න.

Leave a comment