Monday 23 December 2013

ඉන්ද්‍රානි - වසන්තයේ මල් කැකුලකි

ඉන්ද්‍රානි පෙරේරා සිංහල ගීතයේ අසම සම ගායිකාව යි මම කවදාවත් නොකියමි. එහෙත් ඇයගේ කටහඬ අසම සම යයි පැවසීමට බිය නොවෙමි.

සිංහල ගීත ඉතිහාසයේ කලින් කල වැජඹුන ගායිකාවන් ගණනාවක් සිටි. රුක්මනී දේවිය ගේ සිට ලතා/ඇන්ජලින්/ නන්දා මාලනී මින් කිහිප දෙනෙකි.  තවද චන්ද්‍රලේඛා, දීපිකා ආදී  ගායිකාවන්ද සිංහල ගීතයට එක් කල නිර්මාණ අති විශේෂය. මෙසේ කී නොකී බොහෝ ගායිකාවන්ගේ කටහඬ මිහිරිය. කෙනෙකු මුසපත් කල හැකි කටහඩක් මේ සෑම ගායිකාවකටම ඇත. ඉන්ද්‍රානි ගේ කටහඬ මේ සෑම කටහඩකටම වඩා සුවිශේෂිය. මේ සුවිශේෂී බව නම් එහි ඇති cheerful බවය. සැබවින්ම අනෙකුත් ගායිකාවන් අභිබවා යන සතුට ප්‍රීතිය උතුරා යන සොම්නසින් පිරී ගිය කටහඬක් ඇයට සතුය.

ඉන්ද්‍රානි සැබවින්ම 'Product of Clarence'යි කිවොත් නිවැරදිය.  ක්ලැරන්ස් ගේ ගීත චාරිකාවේ එක් එක් කාලවලදී විවිධ ගායිකාවන් සිටියද ඉන්ද්‍රානි තරම් එය වර්ණවත් කල තවත් ගායිකාවක් නැති තරම්ය. ක්ලැරන්ස් ට පමණක් හසුඋනු අනිත් බොහෝ නිර්මාණ කරුවන් නොදුටු ඒ සුවිශේෂී ගුණය කුමක්දැයි මට තවමත් ප්‍රෙහෙලිකාවකි. මා සිතනුයේ මුලින් සඳහන් කල කටහඬේ ඇති cheerful බවය.

'වසන්තයේ මල් කැකුලයි..' ගීතයේ 'හා... හා හා..හ්ම්..හ්ම්...'යි ගයන කොටස මා සඳහන් කරන cheerful බව සඳහා ප්‍රමාණවත්ය. එච් ඩී  ප්‍රේමරත්නයන්ගේ  'සිකුරුලියා' චිත්‍රපටයේ සුවිනිතා විමලවීර රඟන 'නාමලී' ගේ චරිතය කෙතරම් කෙළිලොල් නිදහස් ප්‍රීතියෙන් පිරී එකක්දැයි පැවසීමට මේ ගීතය ප්‍රමාණවත්ය. පෙම්වතා එනතුරු බල සිටින යුවතියකගේ සිතේ පවතින දෙගිඩියාවට වඩා එහා ගිය බලාපොරොත්තුව, සතුට, දඟකාරකම ගෙනෙන්නේ ඉන්ද්‍රනිගේ කටහඬ ය.

ඉන්ද්‍රනිගේ ම ගීතයක් වන 'පවුරු වළල්ලක් බැඳලා...' ගීතයද මා සඳහන් කල ඉහත කටහඩේ ගුණය විදහා දක්වන තවත් ගීතයකි. පවුරු වළල්ලක් බැඳ තිබුනද එය බිඳ ගෙන එන බව දනවන සොම්නස් සිතුවිල්ල අපට හඟවන්නේ ඉන්ද්‍රනිගේ කටහඬයි.

නොයෙකුත් සංගීත තරඟ වල ප්‍රවීන ගායිකාවන්ගේ ගීත ගායනය කරනවා අසා ඇත්තෙමු. සමහරු ප්‍රවීනයන්ගේ කටහඬ අනුකරණය කරයි. සමහර අවස්ථා වලදී එය සාර්ථක වේ. නමුත් ඉන්ද්‍රනිගේ ගීත ගායනය අනුකරණය කිරීමට උත්සහා කරනවා මා කිසි විටෙක දැක නැත. සැබවින්ම ජෝතිපාලගේ කටහඬ සේම ඉන්ද්‍රනිගේ කටහඬ ද ඇයට පමණි.

වසන්තයේ මල් කැකුලයි 
දසන්තයේ නලරැල්ලයි 
මගේ ගෙලේ හර සොල්ලයි 
ඔබේ නෙත් කැලුම් ඉල්ලයි 
අදත් මගේ අතින් අල්ලයි 

ගලින් ගලට පැන දිදුලන පෙණ කැටි මත්තේ 
මලින් මලට ඉගිලෙන සමනල තටු මත්තේ 
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ 
බලා සිටින්නෙමි තවමත් අයි ඔබ නැත්තේ 

ඈත මග දිහා බලලා නෙත කකියනවා 
සිතේ කාන්සිය හා මට තරහත් එනවා 
පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉන්දින්නම් හෙට 
ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්


http://www.youtube.com/watch?v=CGNhj30shK4

No comments:

Post a Comment