Blog Portal of Durakatana

දුරකථනයෙන් print කරමු….

Cloud Print

ඕනෑම තැනක සිට ඕනෑම පරිගණකයකින්, Smartphone එකකින් හෝ Tablet එකකින් ඔබේ ප්‍රින්ටරයට printouts එවීමට හැකි යැයි ඔබ දැන සිටියාද ? කලකට පෙර එවන් පුවතක් ඔබ අවඥාවෙන් බැහැර කරනු ඇති වුවද, දැන් google සමගින් එම කරුණ සැබෑවක් බවට පත්වී ඇත. Google Cloud Print යනු ඔබට අවශ්‍ය ඕනෑම document එකක් අන්තර්ජාලය හරහා ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ මිතුරකුගේ ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කළ හැකි සම්පූර්ණ නොමිළේ සේවාවකි.

Google Cloud Print සඳහා අවශ්‍ය මොනවාද…?

  • ප්‍රින්ටරයක් : පරිගණකයට සම්බන්ධ කරන ලද ඕනෑම ප්‍රින්ටරයක් මේ සඳහා සෑහෙයි. නමුත් වර්තමානයේ වෙළඳපොල තුළ Google Cloud Print පහසුකම සහිත ප්‍රින්ටර ද ඇත.
  • Google Account එකක්
  • Google Chrome බ්‍රවුසරය install කරන ලද පරිගණකයක්
  • අන්තර්ජාල සබඳතාවක්

Google Cloud Print සක්‍රීය කරගැනීම…

ඔබ සතුව ඇත්තේ Cloud Print පහසුකම සක්‍රීයව අඩංගු (Cloud Print enabled) ප්‍රින්ටරයක් නම්, ඒවා විවිධාකාරයෙන් configure කළ යුතුය. මෙම පියවර ඔබේ ප්‍රින්ටරයේ manual එකෙහි අනිවාර්යයෙන් අඩංගු වන බැවින් ඔබට ඉතා පහසුවෙන් එය Cloud Print සේවාවට සම්බන්ධ කරගත හැකිය.

Cloud print ready

ඔබ සතුව ඇත්තේ Cloud Print පහසුකම අඩංගු නොවන ප්‍රින්ටරයක් නම්, ඔබට තරමක් වැඩි පියවර ගණනක් ඔස්සේ එය Google Cloud Print සේවාව සඳහා සකසා ගැනීම කළ යුතුය.

පළමුව කළ යුත්තේ ප්‍රින්ටරය on කර පරිගණකයට සම්බන්ධ කිරීමයි. ඔබේ පරිගණකයට printer එකෙහි drivers install කර, පරිගණකයෙන් ප්‍රින්ටරයට printout යැවීමට හැකි පරිදි සම්බන්ධතාව ඇතිකර තිබිය යුතුය.

මීළඟ පියවර නම් Google Chrome බ්‍රවුසරය open කරගැනීමයි. ඔබේ Gmail ලිපිනය හා password එක භාවිතා කර chrome තුළට logon වීම ඉන්පසු සිදුකළ යුතුය. log වී ඇත්නම් ඔබ බ්‍රවුසරයේ දකුණුපස ඉහළ කෙළවරෙහි ඇති “Options” අයිකනය click කර, එහි drop down මෙනුවෙන් Settings තෝරා ගත යුතුය. Settings හි පහළම ඇති Show Advanced Settings තුළට පිවිසි පසු ඔබට විවිධ සැකසුම් සහිත විධාන ගණනාවක් දර්ශනය වෙනු ඇත. මෙහි Google Cloud Print යන අංශය යටතේ ඇති Add Printers විධානය ක්ලික් කරන්න. එවිට ස්වයංක්‍රීයව ඔබේ පරිගණකයට සම්බන්ධිත ප්‍රින්ටර, Google Cloud Print සේවාවට එක් වනු ඇත. මෙම මෙනුව Cloud Printers මෙනුව ලෙස හැඳින්වෙන අතර එහි ඉහළින් අක්‍රිය වූ share button එකක් ඇති බවත්, Printer එකක් select කළ විට එම button එක සක්‍රීය වන බවත් ඔබට පෙනී යනු ඇත. මේ විශේෂාංගය පිළිබඳ විස්තර මෙම ලිපිය අවසානයේදී විස්තර කර තිබේ.

දැන් ඔබේ ප්‍රින්ටරය Google Cloud Print සේවාවට සම්බන්ධ කර හමාරය. දැන් තිඛෙන්නේ print කිරීමයි.

Print කිරීම ඔබට ලොව ඕනෑම තැනක සිට, ඕනෑම පරිගණකයකින් හෝ ජංගම උපාංගයකින් වුවද සිදුකළ හැකිය. පළමුව අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ලෙස පරිගණකයකින් document එකක් Google Cloud Print හරහා ප්‍රින්ට් කරන ආකාරයයි.

මෙය සිදු කළ යුත්තේ google Drive සේවාව හරහාය. ඔබ Gmail හි register වීමත් සමග ඔබට නොමිළයේ Google Drive ගිණුමක් ලැඛෙන අතර drive.goole.com වෙත පිවිසී ඔබේ Gmail user name හා password භාවිතයෙන් Google Drive වෙත පිවිසීමට හැකිය.

Gdrive

Google Drive යනු Online Storage Space හෙවත් Cloud Storage සේවාවකි. මේ තුළට ඔබට අවශ්‍ය ඕනෑම file එකක් upload කළ හැකිය. Google Drive හි PC app එක මගින් හෝ Google Drive වෙබ් සේවාව open කර, ඔබට අවශ්‍ය file එකක් එය තුළට drag n’ drop කිරීමෙන් ඔබට Drive තුළට files add කල හැකිය.

ඔබට print කිරීමට අවශ්‍ය document එක Google Drive තුළට upload කරන්න. ඉන්පසු එය මත double click කර Google Drive තුළ එය open කර ගැනීමට හැකිය. Google Drive තුළදී PDF, Word, Excel, Powerpoint, txt හා jpeg වැනි file format රාශියක් open කළ හැකිය. අදාල ගොනුව open කරගත් පසු එම තිරයේ දකුණු පස පහළ කෙළවරෙහි හෝ වම්පස ඉහළ කෙළවරෙහි කුඩා print අයිකනයක් දර්ශනය වේ. [ICON] නැති නම් Ctrl + P යන keys මගින් ද ඔබට print මෙනුවට පිවිසිය හැකිය.

 

Print මෙනුවට පිවිස විට එහි වම් පස පහළ කෙළවරෙහි “Print using Google Cloud Print dialog” ලෙස විධානයක් දක්නට ලැබේ. එය click කළ විට ඔබට ඔබේ cloud print තුළට add කරන ලද printers දර්ශනය වනු ඇත.

දැන් ඔබට අවශ්‍ය ප්‍රින්ටරය තෝරා print විධානය ලබා දුන් විට ඔබේ document එක print වනු ඇත. මෙය පළමුව ඔබේ පරිගණකයෙන් test කර බලන්න. දෙවනුව මිතුරකුගේ පරිගණකයකින් ඔබේ Gmail ගිණුමට log වී එම පරිගණකයේ ඇති file එකක් Google Drive වෙත upload කර, එය ඔබේ printer එකට print කර බැලීමට හැකිය. ඔබේ නිවසේ පරිගණකය පණ ගන්වා තිබුණද, නොතිබුණද, එයට printer එක සම්බන්ධ කළද නොකළද, ඕනෑම අවස්ථාවක යවන printout එකක් server එකක save වී ඔබ පරිගණකය on කර, printer එක සම්බන්ධ කළ විට ස්වයංක්‍රීයවම print වනු ඇත.

ඔබේ මිතුරන්ගේ printers වලට හෙවත් වෙනත් අයකුගේ cloud printer එකකට Printouts යැවීම…

Google Cloud Print හරහා printout යැවීමට හැක්කේ ඔබේ ප්‍රින්ටරයට පමණක්ම නොවේ. එමගින් ඔබට ඔබේ මිතුරන්ගේ ප්‍රින්ටර් වලටත්, ඔබේ මිතුරන්ට ඔබේ ප්‍රින්ටරයටත් printouts යැවීමට හැකියාව ඇත. පෙර සඳහන් කළ cloud printers මෙනුවේ ඇති Share button එක ප්‍රයෝජනවත් වන්නේ මෙම අවස්ථාවේදීය.

නැවත වරක් Google chrome හි Settings > Advanced Settings > Cloud Print යටතේ ඇති Manage Print Settings වෙතට පිවිසෙන්න. එහි වම්පස ඉහළින් ඇති Printers විධානය තෝරා ගත් විට ඔබේ cloud printers දර්ශනය වනු ඇත. මෙහි ප්‍රින්ටරයක් select කර, Share button එක click කරන්න.

එවිට ඔබට Share Dialog box එක විවෘත වනු ඇත. එහි පහළින් ඇති Invite People යන ඉඩෙහි ඔබේ මිතුරකුගේ Gmail ලිපිනය නිවැරදිව type කර share button එක click කරන්න. වෙනත් අයෙකුට මේ ආකාරයටම ඔහුගේ ප්‍රින්ටරය ඔබ සමගද share කළ හැකිය.

මේ ආකාරයට ඔබේ Gmail ලිපිනය වෙනත් අයකු share කළා යැයි සිතමු. එවිට ඔබේ cloud print මෙනුවෙහි notification එකක් දර්ශනය වේ. එය Accept කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ cloud printer එක ඔබේ cloud print devices අතර දර්ශනය වනු ඇත. දැන් ඔබට පෙර ආකාරයටම print කිරීමේදී ඔබේ මිතුරාගේ priter එක තෝරා ගැනීමෙන් එම printer එකට නිවසේ සිටම printouts යැවීමට හැකිය. ඔබට අවශ්‍ය නම්, ඔබේ ප්‍රින්ටරය ද ඔබේ මිතුරන් අතර මේ ආකාරයටම share කල හැකිය.

නිවසේ සිට කාර්යාලයට printouts යැවීමට, විදේශයක සිට ඥාතියෙකුට කෙලින්ම printouts එවීමට හෝ හදිසියේ මිතුරකුට අවශ්‍ය සටහන් කෙලින්ම print කර දීමට cloud print sharing යනු අගනා ක්‍රමයකි.

Google Drive නොමැතිව Cloud Print වෙතට කෙලින්ම Document Print කිරීම…

ඔබට Google Drive වෙත upload කර file print කිරීම කරදරකාරී නම්, ඒ සඳහා පිළියමක් තිබේ. ඔබ කල යුත්තේ http://www.rarefind.com වෙතින් Paperless Printer නම් free software එක download කර install කර ගැනීමයි.

ඉන්පසු ඔබට print කිරීමට අවශ්‍ය file එක open කර, සාමාන්‍ය ලෙසින් print විධානය ලබා දෙන්න. (file > print හෝ Ctrl + P) මෙවිට ඔබේ සාමාන්‍ය Print dialog box එක open වේ. එහි printers අතරින් “Paperless Printer” තෝරා ගෙන ඔබට අවශ්‍ය පරිදි Print Options සකස් කර Print විධානය click කරන්න.

එවිට Paperless Printer open වෙයි. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන මෙනුවෙන් “find a cloud printer” විධානය click කර OK කරන්න. ඉන්පසු ලැබෙන dialod box එකෙහි ඔබ ඔබේ Gmail ලිපිනය හා password එක ඇතුළත් කර sign-in විය යුතුය. එවිට ඔබේ cloud printers දැකගත හැකි අතර අවශ්‍ය printer එක තෝරා Submit විධානය ලබාදුන් විට document එක cloud print හරහා print වනු ඇත.

ජංගම දුරකථනයක් හරහා Cloud Print සේවාව භාවිතා කිරීම…

Cloud print හි වැදගත්ම පහසුකම ලෙස අප දකින්නේ Android, iOS හෝ Windows phone වැනි ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති හරහා ද printouts යැවීමට හැකි වීමය. බොහෝ දෙනා සතුව Android smartphone ඇති බැවින් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ Android smartphone එකකින් cloud print සේවාව භාවිතා කරනා ආකාරයයි.

පළමුව ඔබ Play Store එකෙන් Cloud Print නම් app එක search කර download කරගත යුතුය. මෙය Productivity Category එකෙහි ඇති, Paulo Fernandes විසින් සංස්කරණය කරන ලද app එකකි. [goo.gl/aXHfN] ඉතා කුඩා free app එකක් වන මෙය ක‍්ෂණිකව download වී install වේ.

Cloud print install කර open කළ විට ඔබට welcome screen එකක් දක්නට ලැබේ. එහි පහළින් දකුණුපස ඇති ඊ හිස touch කරන්න. ඉන්පසු ඔබට දිස්වන්නේ log-on තිරයයි. ඔබේ දුරකථනයේ ඇත්තේ ද ඔබ cloud print සඳහා භාවිතා කළ Gmail ලිපිනයම නම්, එය touch කිරීමෙන් ක‍්ෂණිකව cloud print සක්‍රීය වේ. එසේ නොමැති නම් ඉහළ දකුණුපස කෙළවරෙහි ඇති Add Account විධානය මගින් වෙනත් account එකක් add කළ හැකිය. ඉන්පසු ලැඛෙන තිරයේ Done විධානය click කළ පසු ඔබේ Gmail ලිපිනයට අනුබද්ධ සියලූ cloud printers දර්ශනය වෙයි. ඒ අතරින් එකක් default printer එක ලෙස තෝරා දිය යුතුය. අදාල printer එක select කර yes විධානය touch කළ විට එම printer එක Default ලෙස නම් වන අතර test page එකක් ද print වනු ඇත. දුන් ඔබේ දුරකථනය cloud print සඳහා සුදානම්ය.

ප්‍රධාන මෙනුවේ ඇති Local tab එක select කර ඔබට දුරකථනයේ ඇති Files, Pictures, SMS හා Contact යනාදිය browse කර print කළ හැකිය. එසේම ඕනෑම file එකක් share කිරීමේදී එම list එකෙහි ඇති cloud print අයිකනය මගින්ද ඔබට files පහසුවෙන් print කළ හැකිය.

අවශ්‍ය file එක තෝරා ගත් පසු ඔබට page setup හා printer එක තෝරා ගැනීමටත් හැකි අතර click here to print විධානය ලබා දීමෙන් ඔබේ document එක අදාල උපාංගයට print වනු ඇත.

සමස්ථයක් ලෙස ගත් කළ Cloud Print යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබේ ප්‍රින්ටරය “ගෝලීයකරණය” කරන්නා වූ අනගි සේවාවකි. මෙයින් ඔබට ඉතා ඉහළ ගණයේ හා වටිනා වාසි රැසක් ලබාගත හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු…

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්