Sinhala story Blog

නොවැම්බර් 9, 2013

කිබිසිනි -ඔය ළමයට මොකක් ද දැනගන්න ඕනෑ?

Filed under: Uncategorized — arunishapiro @ 11:05 පෙ.ව.

පුස්තකාලයට ඇතුල්වෙන ලීලාව මුලින්ම දැක්කේ මිස් ප්‍රියදර්ශනී.

“මේ අර කලන්තෙ දාලා වැටිච්ච ළමයා නේද? තනියෙම ද ආවේ?” ඇය ලීලා දෙස රකුසු බැල්මක් හෙළා ඇසුවේ අහළ පහළ හැමෝටම ඇහෙන්න.

ඉක්මන් ගමණින් ගිය ලීලා එය ඇසී තිගැස්සී නැවතුනේ හැමෝම ඇය දිහා හැරී බලද්දී. පුස්කාලයේ දී වැඩි සද්ද බද්ද එපා යැයි අනුන්ට කියනා අයම මෙසේ මහ හඬින් කතා කරන්නේ ඇයි? ප්‍රියදර්ශනී මිස් මඟහැර ලීලා හිමින් හිමින් අඩි තැබුවේ ඊ ළඟට දාංගලයක් ගැන කියමින් ඇයගෙන් අවලාදයක් අහන්නට සිද්ධ වීමෙන් ගැලවෙන්නට.

එහෙත් සිතූ පරිදිම “දාංගලේට තනිවම එහෙ මෙහෙ දුවනවා ඊ ළඟට කලන්තෙ දාලා වැටුනම අපිටයි කරදර,” යැයි මිස් ප්‍රියදර්ශනීගේ මුවින් පිටවුනි.

කිසිත් නොකියා තමන් මඟහැර යන ලීලා දිහා බලා මැදිවියේ කාන්තාව යම් තරඟයකින් ඇය ජයගත්තියක් ලෙසට සිනාවක් පෑවාය. එහෙත් ඒ ගැන තැකීමට කාලයක් ලීලාට නැත. මිස් සුරම්‍යාව සොයා ගන්නට පුස්තකාලයේ පොත් රාක්ක පේළි පසුකරමින් ලීලා හිමින් පා තැබුවේ කිසිවෙකුගෙන් උදව් ඉල්ලන්නට තිබි අකමැත්ත නිසා. මිස් සුරම්‍යා පෙනෙන තැනක නොසිටි බැවින් ඇය ඇතුල් කාමරයක වැඩ කරන්නේ දැයි කාගෙන් හෝ අහන්නට වෙන බව වැඩි වේලාවක් යන්නට පෙර ලීලාට පසක් විය.

පොත් නිකුත් කරන මේසය අසල කාන්තාවන් කිහිප දෙනෙක් පොත් අරන් යන්නට පෝලිම් ගැසී සිටිති. එතැන සිටින කාන්තාව හැරෙන්නට වෙන පුස්තකාල සේවකයෙක් පෙනෙන මානයක නැත. ඒ මේසයේම කොනක මිස් ප්‍රියදර්ශනී වාඩි වී කුමක් දෝ කුරුටු ගාන වැඩක් පටන් ගෙන.

“යමක් සඳහා කැප කිරීමක් නොකළොත් එහි දී ලැබෙන ඵලය අගයෙන් අඩුයි,” යන්න ලීලාට සිහිවිය. ඒ ඇය අපූරු ගමනක දී අසන ලද්දකි.

පොත් රාක්ක වල පොත් අත ගගා කොපමණ කාලයක් බලා සිටියත් මිස් සුරම්‍යා අද වැඩට පැමිණ නැත්නම්? ඒ ගැන දැනගන්න කාගෙන් හරි ඇසිය යුතුමයි. ඒ ගැන අසද්දී මිස් ප්‍රියදර්ශනී වැන්නියක් වෙතින් අනුන් ඉදිරියේ හාස්‍යයට ලක්වීමෙන් ගැලවෙන්නට නොහැකියි කියා ඊට පසුබට වේ නම් තමන්ට ලැබෙන ඵලයක් නැත. ලැජ්ජා වේ යැයි බියෙන් මුළුගැන්නී සිටීම ඇය කැප කළ යුත්තයි.

ලීලා හුස්මක් ඉහළට ඇද පිට කළේ සිත එඩිතර කරගන්නට.

“මිස් සුරම්‍යා අද වැඩට ආව ද?”

“ඔය ළමයා ඔය අනික් අය වගේම පෝලිමේ එන්න,” මිස් ප්‍රියදර්ශනී පොතෙන් ඔළුව උස්සා ඇය දෙස කෙළින්ම බැලුවාය.

“මම පොතක් අරගන්න නෙමෙයි..”

“මෙතන පෝලිමක් තියෙන්නෙ ඒ ඒ අය එන එන හැටියට උදව් කරන්න. ප්‍රශ්නයක් අහන්න උනත් පෝලිමේ එන්න ඕනෑ,” ඇය අභියෝගාත්මක දෑසෙන් ලීලා දෙස බලා සිටින්නීය. පෝලිමේ සිටිය කාන්තාවන් ඔළුව වනමින් ඇය හා එකඟ වූහ. ඔවුන් සියල්ලන්ම පෝලිමේ සිටගෙන සිටි එකිනෙකාට තවත් ළං වූයේ ඇය මැදින් පෝලිමට එකතු වේ යැයි සිතමින් ඊට ඉඩක් නොතබන්නට මෙනි.

ලීලා පෝලිමට එකතු වූවාය.

පොත් නිකුත් කරන කාන්තාව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම පෝලිමේ සිටි සෑම කාන්තාවක්ම පාහේ කරන ලද්දකි. ඔවුන්ට පොත් අරගෙන යන්නට කලබලයක් නැත. ඇත්තේ පෝලිමේ තැන රැකගන්නට ඇති කලබලය පමණකි.

මිස් ප්‍රියදර්ශනී වරක් දෙකක් කුරුටු ගෑම නවත්තා ලීලා දිහා බැලුවේ ඇය පෝලිමෙන් පැන ඇත්දැයි පිරික්සන්නට මෙනි.

ඔය මිස්ට මම කරපු මදිපුංචිකම මොකක්ද මෙහෙම මා ගැන ඔච්චර වදවෙන්න යැයි ඇයගෙන් අහන්නට ලීලාට සිතුණත් ඇය එසැණින්ම ඒ ගමන මාත් එයා ගැන වදවෙන්න පටන් ගෙන යැයි මතක් කරගනිමින් ආපු වැඩේ ගැන හිතන්න යැයි සිතට බැන්නාය.

ලීලාගේ වාරය පැමිණියේය.

“මිස් සුරම්‍යා අද වැඩට ආවද?”

“නැහැ, අද ආවේ නැහැ.”

“එයාගෙ ගෙදර තියෙන්නෙ..”

“අපිට බැහැ ගෙවල් ගැන විස්තර දෙන්න.”

“මිස්ට අසනීපයි ද? හදිසියක් .. පණිවිඩයක් යවන්න විදියක් වත් නැද්ද?” ලීලා ඇසුවේ අසරණ හඬකින්. ඇය මේසයේ ගැට්ට අත් දෙකින්ම අල්ලා ගෙන සිටියාය.

“මේ ළමයා පොතක් අරන් යන්න ඕනෑ නම් පොතක් අරගෙන එන්න. මෙතෙන්ට එන හැමෝටම දෙන්න බැරි අනම් මනම් විස්තර අහන්න අපේ කාලේ නාස්ති කරන්න එපා,” මිස් ප්‍රියදර්ශනී එවර කතාවට හවුල් වූයේ ඇයගේ කුරුටු ගෑමෙන් මුහුණ උස්සන්නේ නැතිව.

“මොකක්ද දැනගන්න ඕනෑ?”

ඔවුන් පිටුපසින් ඇසුන කටහඬෙන් කාන්තාවන් දෙදෙනාම තිගැස්සුනහ.

“ඔය ළමයට මොකක්ද දැනගන්න ඕනෑ?” එසේ විමසූ හීන්දෑරි වයසක පිරිමියා එහි පුස්තකාලාධිපතියි.

“මිස් සුරම්‍යාට හදිසි පණිවිඩයක් යවන්න ඕනෑ,” ලීලා ඇඬුම්බර හඬකින් කීවාය, “..අපේ ගෙදරින් එව්ව පණිවිඩයක්,” යැයි ඇය එකතු කළේ එය බොරුවක්ම නෙමේ යැයි සිතට හඟිස්සවා ගනිමින්.

“එන්න මා එක්ක,” ඔහු කරුණාවන්ත ලෙසින් ඇයට අඬගැසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.