බැංකු කතා ….


තෙරේසා මගේ මිතුරියක්. ඇගේ ” හුරතල් ” නම ටෙස්. අපි එකම ආයතනයේ සේවය කරන්නේ. ටෙස් හිනා උනේ එහෙමත් දවසක. කලාතුරකින්. ඇයට මුදල් ප්‍රශ්න. ආදායමට වඩා වියදම වැඩි. ඉතිරි කරන්න දන්නේ නැහැ.
මේරිත් මගේ ආයතනයේ සේවය කරන කළු කාන්තාවක්. මට වඩා වයසින් වැඩි.

මේරි හා ටෙස් හිතවත්. එකම වර්ගයේ ප්‍රශ්න ඇති දෙන්නෙක් ඉක්මණට යාලු වෙනවනේ. මේරි දවසක් ආවා ටෙස් හමුවෙන්න.
” ඒයි ටෙස්.. මා ළඟ $ 100 ක් තියෙනවා.උඹට තියා ගන්න පුළුවන්ද . මම ලබන සතියේ ආපහු ගන්න තුරු. මා ගාව තිබුණොත් වියදම් වෙනව.

( වක්කඩේ යට හකුරු හංගනවා වාගේ )

පාරෙන් එහා පැත්තෙ බැංකුව. මම ඇහුවා උඹට saving account එකක් නැද්ද කියල. මේරි කියනවා account එකක් තියෙනවා ඒත් මට යන්න කම්මැලියි කියල.
වැඩේ ඒ විදියට සිදු උනා. ටෙස් වහාම අල්ලපු බිල්ඩිමේ තියෙන T Mobile එකට ගිහින් එයාගේ ෆෝන් බිල ගෙවල ආවා. ඒ අර මේරි පරිස්සමට තියාපු 100 න්.

මේක ඊ ළඟ මාසෙත් උනා.දිගටම උනා. මේරි ඇගේ යෙහෙළිය ෂැරොන්ටත් කිව්ව. එයත් ටෙස් ළඟ මුදල් පරිස්සමට තිබ්බා.

ඒ සල්ලි වලින් ටෙස් එයාගේ බිල් ගෙව්වා. පඩි ගත් විගස දෙන්නගේම ගණු දෙනු බේරුවා. මේරියි ෂැරොනුයි මුදල් සේරම ආපසු ගත්තෙ නෑ. ටිකක් එකතු කරනවා නත්තලට ගන්න. දැන් ටෙස් ගෙත් ප්‍රශ්න ටිකක් අඩුයි.

14 වන සියවසෙ බැංකු පටන් ගන්න ඇත්තෙත් මේ ආකාරයට.

බැංකුවට ඉන්ගිරිසියෙන් කියන්නේ ” Bank ” කියල. ගංගා වල ඉවුරුත් bank. ඒ River Bank. හතර වටෙන්ම ලබා ගන්නා සාරවත් පෝෂ්‍ය කොටස් ගං ඉවුරු වල තැන්පත් වෙනවා. Deposit වෙනවා. Bank කිය වචනේ පැහැදිලියි දැන්. යම් වටිනා දෙයක් තැන්පත් කරන තැන බැංකුව.

බාගෙට ඉන්ගිරිසි ඉගෙන ගත්තු කෙල්ලක් , ඇගේ පෙම්වතා ගැන තව කෙනෙකුට මෙහෙම කියනවා.
” එයා හරි ඩිපොසිට් අනේ…” කියල ඈ අදහස් කරන්නේ ඔහු නිවුනු ගති ඇත්තෙක් බවයි. ඔහු ළඟ හොඳ ගති ගුණ තැන්පත් ව ඇති සමහර විට.

බැංකුවල තියෙන්නේ සල්ලි විතරක් නෙවි. ලේ බැංකුවේ – ලේ
රැකියා බැංකුවේ – රැකියා
දත්ත බැංකුවේ – දත්ත.

මහ රෑ බැංකුවකට ඇතුලු වුනු හොරෙක් සේප්පුව හෙව්වා. මිනිහ හැම තැනම දැක්කෙ ශීතකරණ විතරයි. මිනිහට දැන් මහන්සියි එලාර්ම් වදින්න කලින් පිට වෙන්නත් ඕන. කොයිකටත් ශීතකරණයක් ඇරියා. යෝගර්ට් කෝප්ප වගේ ඒවයේ මොනවදෝ මිදුනු දෙයක් තිබුනා. ටිකක් අපුල රසක් දැනුනත් බඩ ගින්න නිසාම කෝප්ප දෙකක්ම කෑව. මිනිහට සල්ලි හොයා ගන්න බැරි උනා. එළියට ගිහින් ආයෙම බැලුවා බෝඩ් එක දිහා. ” Sperm Bank ”

ඉතින් අපිත් හොඳ තැන්පත් කරුවො තමයි. නැද්ද ?

දියුණු රටවල බැංකු ක්‍රමය ඉතා උසස්. මිනිසුන්ගෙන් 90% ක් පමණ බැංකු විශ්වාස කරනවා. සියළුම ගනු දෙනු සිදු කරන්නේ බැංකු හරහා. ඒ නිසා ඒ රටවල මූල්‍ය දෙපාර්තමෙන්තුවට ( අපේ නම් මහ බැංකුව ) කියන්න පුළුවන් රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන්. ඒ නිකුත් කර ඇති මුදල් ප්‍රමාණයෙන් තැන්පතු වල එකතුව අඩු කිරීමෙන්.

ලංකාවෙ එහෙම නිවැරදි අගයක් ගන්න බැහැ. අපේ මිනිස්සු බැංකු ක්‍රමය එච්චරම විශ්වාස නොකරන නිසා. ඒ අය තාමත් කොට්ට අස්සෙ – මෙට්ට අස්සෙ සල්ලි හංගනව.

එක්තරා අතීතයේ දවසක මම ගියා බැංකුවට මගේ saving account එකෙන් මුදල් ටිකක් ගන්න. එතකොට ATM තිබුණේ නැහැ. මගේ account එකෙන් මගේම සල්ලි ගන්න විනාඩි 45 කට වඩා ගියා. ගන්න මුදල් ප්‍රමාණය අනුව එක් එක් නිලධාරියා අනුමත කරන්න ඕන. 50000 ට වැඩි නම් මැනේජර් මහත්තයාම අත්සන් කරන්න ඕන.

මේ නිසා විශේෂයෙන් ගම් වල මිනිස්සු මුදල් , මුදල් වශයෙන්ම තියා ගන්න කැමතියි.

බැංකු , තැන්පත් කරුවන් ගෙන් ලබා ගන්න මුදල් , වෙනත් මුදල් අවශ්‍ය අයට ණය වශයෙන් දෙනව. දීල ඒ හිලව්වට පොලියක් අය කර ගන්නව. ඒ ණය පොලී. ඉන් කොටසක් අර තැන්පත් කරුවන්ටත් හිමි වෙනව. ඉතිරියෙන් තමා බැංකු දුවන්නෙ.

බැංකුවකින් ණයක් ගන්න එක ආපහු ගෙවනවාට වඩා අමාරුයි. සිය පොළක විතර අස්සන් ගහන්න ඕන. මිස්ලගෙ ගෑස් බලන්න ඕන. බැංකු කියන්නේ පායන කාලෙදි කුඩයක් ණයට දී වැස්ස කාලෙදි ආපහු ඉල්ලනව වගේ ආයතන.
ගෙයක් හදන්ට අවශ්‍ය මූලික ඇස්තමෙන්තුව බොහෝ විට වැඩි වෙනව. හේතුව… ණය පාස් වෙනකොට බඩු ගණන් ගිහින්.

අපේ මිනිසුන්ගෙ වග විශ්වාස නැති නිසා චෙක් වලින් ගනු දෙනු කරන්න අමාරුයි. ඒ නිසා සමහර ආයතන බැංකු අණකරයක් ඉල්ලනව. අපි අපේ සල්ලි බැංකුවට දුන්නම ඒ වෙනුවට ඒ ගානට බැංකුවෙ නිල චෙක්පතක් දෙනව. එය ඕනම කෙනෙක් බාර ගන්නව. මෙහේ නම් කියන්නෙ official check චෙක් නැත්නම් cashier’s check චෙක් කියල. ලංකාවෙ කියන්නේ Pay Order කියල.

ලංකාවෙ මුස්ලිම් කෙනෙක් දවසක් බැංකුවකට ගිහින් ඉස්සරහ කවුන්ටරේ හිටපු සමනළියක් වගේ මිස් කෙනෙකුගෙන් පයෝදරයක් ඉල්ලලා… Pay Order කියන එක දිගට ලිව්වාම සද්දෙ එහෙමයි.

ඉතින් දවසක් පඩි හම්බ වෙන්ට කලින් දවසක මේරි ඇවිත් ටෙස් ගෙන් සල්ලි ඉල්ලුවා. ටෙස් ට තරු පෙනුනා. කොහොම හරි බොරු 60 ක් විතර කියල ඉල්ලූ ගානින් අඩක් දුන්නා. මේරි ඕක ෂැරොන්ට කිව්වා. ගෑනිත් පහුවදා සල්ලි ඉල්ලුවා.
තුන් දෙනා අතර විශ්වාසය පළුදු උනා.
බැංකු කඩා වැටෙන්නේ ඔහොමයි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to බැංකු කතා ….

  1. ranja පවසයි:

    හික් හික් හික්…..මටත් පයොදරයක් ගන්න බැරි වෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න