RSS

145. පොරොන්දුව Licked!

20 ඔක්.
145. පොරොන්දුව Licked!


මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව.


මතක ඇති ඔබට


හොර ඇල්ලීම Exposer


එතකොට…


ඈක්කා!!!!!!! A Mouthful!


ඒ එක්කම, ඔබ ‘ඈක්කා!!!!!!!’ කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ.


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

cartoon 001_2
පොරොන්දුව – Licked!


හෙට ඩැඩීගේ කේන්තිය ටිකාක් නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ. එයා මුලින්ම හිනාවෙයි. ඊට පස්සෙ අඬයි. ඊට පස්සෙ මගේ බෙල්ලත් මිරිකයි. ඒත් කමක් නෑ. එයා මේ විඳින විඳවිල්ලෙන් එයාව මුදවන්නම ඕනෙ.


මම ඩැඩීට ආදරෙයි.


ඩැඩී මාත් එක්ක මාලු බාන්න යන්න එනවා. සමහර සීතල දවස්වල
රෑට ගිණි මැළේ ඉස්සරහ ඉඳගෙන අපි දෙන්නා ආම් රෙස්ලිං කරනවා. එයා (ඔය කොයි තාත්තත් කරන) ප්‍රවෘත්ති බැලිල්ලත් අල්ලලා දාලා, මාත් එක්ක ස්ක්‍රැබ්ල් ගහන්නත් එනවා. මට එක එක විදියේ ළණු දෙනවා. එයාගේ මම දකින හොඳම ලක්ෂණය තමයි හැම විටම දෙන පොරොන්දු රකිනවා.


නමුත් ඩැඩීගේ හදන්න බැරි වැරදි දෙකක් තියෙනවා.


එකක් මැස්සො සම්බන්ධව.


එයාට මැස්සො පේන්න බෑ. කාමරේ මැස්සෙක් හිටියොත් ඩැඩීට ඌව ඉවරයක් කරලා දානකල් ඉන්න බෑ. එයා ඒකට ඔය මෝර්ටීන් ස්ප්‍රේ වගේ දේවල් පාවිච්චි කරන්නෙත් නෑ අර කෙහෙල්මල් ඕසෝන් ස්ථරය හන්දා. ඒ හන්ද එයා මැස්සො පස්සෙ පන්නනවා අර මැස්සො අල්ලන ෆ්ලයි ස්වොටර් එක අරගෙන. එයා ගේ පුරාම දුවනවා ඕක වන වන පිස්සු හැදිලා වගේ. මැස්සාව තලලා චප්පම කරලම තමයි එයා පස්ස බලන්නෙ. සමහර වෙලාවට ෆ්ලයි ස්වොටර් එකේ ඇලිච්ච මැස්සො තවම නලියනවා..


ඩැඩීට මාරම එල්ලයක් තියෙන්නේ. එයාගේ ඉලක්කේ වරදින්නේ කලාතුරකින්. ඩැඩීගේ පරණ ෆ්ලයි ස්වොටර් එක ගන්නම දෙයක් නැතුව ගියාම මම එයාගේ උපන් දිනේට අලුත්ම කහපාට නියම භාණ්ඩයක් අරන් දුන්නා. හැබැයි ඒක වැඩි කාලයක් කහපාටට තිබුනේ නෑ. වැඩි දවසක් යන්න කලින් ඒකත් මැසි අතුණු බහන් වලින් වැහිලා ගියා.


චප්ප කරපු මැස්සෙක්ගේ ඇතුලේ මොන තරම් පාට වර්ග තියෙනවද කියලා විශ්වාස කරන්නත් අමාරුයි. වැඩියෙම තියෙන්නේ කලු දුඹුරු තමයි, ඒවා මත රතු විසිරිලා තියෙනවා අතරින් පතර නිල් පැල්ලම් එක්ක. උන්ගේ ත‍ටු එලියට අල්ලලා බැලුවාම දියමන්ති වගේ දිළිසෙනවා. නමුත් ඔය පිහා‍ටු හැලෙනවා උගෙ අතුණු බහන් වලින්
හරියට ස්වොටර් එකට ඇලවිලා තිබුනේ නැතිනම්.


මැස්සෝ පස්සේ පන්නන එක ඩැඩීගේ පළවෙනි වැ‍රැද්ද.


දෙවෙනි එක තමයි කෑම මේසේ සිරිත්-විරිත්, ඒ කියන්නේ ටේබල් මැනර්ස්. එයාට පුදුම පිස්සුවක් තියෙන්නේ සිරිත්-විරිත් ගැන – විශේෂයෙන්ම කෑම මේසේ සිරිත්-විරිත් ගැන.


අනික එයාට ප්‍රශ්ණෙ තියෙන්නෙම මගේ සිරිත්-විරිත් එක්ක.


“ඇන්ඩෲ,” එයා කියනවා.


“මේසේ උඩ වැලමිටි තියාගන්න එපා.”


“කටේ කෑම පුරවාගෙන කතා කරන්න එපා.”


“ඇඟිලි ලෙවකන්න එපා.”


“කෝපි එකේ කුකීස් ඔබලා කන්න එපා.”


හැම කෑම වේලක්ම ඔන්න ඔයාකාරයි.


එයාට තියෙන්නේ මැසි පිස්සුවෙත් හොඳ එකයි, මැනර්ස් පිස්සුවෙත් හොඳ එකයි.


හොඳයි, කතාවට ආපහු ආවොත්. ඔන්න දවසක් ඩැඩී අර්තාපල් සුද්ද කරනවා රෑ කෑමට. මම මේසේ යට ඉඳගෙන මීට සතියකට විතර කලින් මේසේ යටට රෝල් වෙලා ගිය සත පනහක් හොයනවා. මමී, ඩැඩීත් එක්ක කතා කර කර ගෝවා ගෙඩියක් හීනියට කපනවා. ඒ දෙන්නා දන්නේ නෑ මම මේසේ යට ඉන්න බව. ඩැඩීගේ ලොක්කා මිස්ටර් ස්පින්ක්ස් රෑ කෑමට එන නිසා මේක වැදගත් කෑම වේලක්. ඕවගේ කවුරු හරි කෑමට එනවානම් සිරිත් විරිත් ගැන තොර ‍තෝංචියක් නැතුව දේසනා කරන එක ඩැඩීගේ පුරුද්දක්.


“අනේ මේ ඔයා ඔය කෑම වෙලාවට ඇන්ඩෲගේ වැරදි හොයන එක නවත්තන්නකෝ අප්පා,”මමී කියනවා.


“කවුද වැරදි හොයන්නේ?”


“කවුද තමයි,” මමී කියනවා.”ඔයා කොච්චරවත් අරක කරන්න එපා, මේක කරන්න එපා කියනකොට කොල්ලට හීනමානයක් ඇතිවෙනවනේ.”


හීනමානයක් ගැන මම අහලා නෑ. ඒක ඔය කුරුලෑ, අලුහම් වගේ බයානක දෙයක් කියලා මම හිතා ගන්නවා.


“ඔන්න අද නම් කෑම වේල ඉවරවෙනකල්ම ඇන්ඩෘට මොකූත්ම කියන්නෙපා හරිද?”


“එහෙම කොහොමද?,” ඩැඩී විරුද්ධ වෙනවා.


“උත්සාහ කරලා බලන්න,” මමී කියනවා. “මට පොරොන්දු වෙන්න අද කොල්ලත් එක්ක කේන්ති අරගෙන කෑගහන්නේ නෑය කියලා.”


ඩැඩී මමී දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවා.


“හරි,” ඩැඩී කියනවා. “එහෙනම් ඔන්න ඔට්‍ටුයි. මම එයාගේ මැනර්ස් ගැන කිසි දෙයක් කියන්නේ නෑ. හැබැයි ඔයා කියන්නෙත් නෑ. මට හොඳ නැති දේ ඔයාට හොඳ වෙන්න බෑනේ.”


“එහෙනම් ඔන්න ඔට්‍ටුයි. ඈ,” දෙන්නා අතට අත දීලා එකිනෙකාට පොරොන්දු වෙනවා.


සත පනහ හොයා ගන්න මම, ඇඟිලි තුඩුවලින් ඇවිදගෙන කුස්සියෙන් පිටවෙනවා..


රෑ කෑමට ඉස්සෙල්ලා සත පනහ වියදම් කරන්න මම ටවුම පැත්තට යනවා.


ඩැඩී පොරොන්දු වෙලා තියෙන්නේ මට කෑ ගහන්නේ නෑ කියලා. මේ වගේ අවස්තාවක් ආයේ එන්නේ නෑ. ඩැඩීගේ ඔට්‍ටුව බිඳින්න මම මොනවද කරන්නේ?


ඒක එච්චර අමාරු වෙන එකක් නෑ. සුප් එක ‘සොරෝස්’ ගාලා සද්දෙට බොන්න ඕනේ. ඒක එයාට පේන්න බැරි වැඩක්. එතකොට පොරොන්දුව අමතක වෙලා එයා මට බනින්න පටන් ගනී. සමහර විට කෑ ගහයි. මට හොඳටම විශ්වාසයි එයාට මට කෑගහන්නේ නැතුව කෑම වේලක්ම පහුවෙනකල් ඉන්න බෑ කියලා.


“මාර ආතල් එකක් ගන්න පුලුවන් වැඩක් වෙන්න යන්නේ.” මම මටම කියාගන්නවා.


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


එදා රෑ මමී කෑම මේසෙට අලුත් රෙද්දකුත් දානවා. ගෙදර තියෙන හොඳම හැඳි ගෑරුප්පු සෙට් එක මේසෙන් තියනවා. මට වෙනදට අල්ලන්නවත් නොදෙන සෙට් එකේ පිඟනුත් එක්ක. අත්පිස්නාවල් තියන්නේ අර වළලු ඇතුලට දාලා. මේ හැම දෙයින්ම කියවෙන්නේ මේක ඉතාම වැදගත් කෑම වේලක් බවට බවයි. අපි සාමාන්‍යයෙන් රෙදි අත්පිස්නාවල් පාවිච්චි කරන්නේ නෑ.


මිස්ට ස්පින්ක්ස් එන්නෙත් ඉස්තරම්ම ඇඳුම් කට්ටලයක් ඇඳගෙන, රත්තරන් රාමුවක් තියෙන කණ්නාඩි කුට්ටමක් දාගෙන. කෝච්චරවත් ‍රැවුමක් මූණේ තියෙනවා. මිනිහා ළමයින්ට වැඩිය කැමති නැතුව ඇති කියලා මට හිතෙනවා. ඔය ළමයින්ට අකමැති වැඩිහිටියෝ කවුද කියලා කියන්න පුලුවන් දැක්කම. එයාලා හිනාවෙන්නේ කටින් විතරයි, ඇස් වලින් නෙවෙයි.


කොහොමින් කොහොමින් හරි අපි හැමෝම කෑමට ඉඳගන්නවා. මම මගේ රහස් ආයුධය මේසේ යට හංගනවා. මට හොඳටම විශ්වාසයි ඒක පාවිච්චි නොකරත් මට ඩැඩීව පරද්දන්න පුලුවන් කියලා. නමුත් හැම දෙයක්ම අසාර්ථක වුනොත් ගන්න ඒක සූදානමින් තියෙනවා.


පළමු වටය සුප් සහ පාන්. මම මහ හඬින් ‘සුරුස් – සුරුස්’ හඬ නගමින් සුප් එක බොනවා. කිසි කෙනෙක් කිසි දෙයක් කියන්නේ නෑ. මම ‘සුරුස්’ සද්දේ දිගත් හඬත් වැඩි කරනවා. දැන් හරියට අර බාත් ටබ් එකේ ප්ලග් එක ගැලෙව්වාම එන සද්දේ වගේ ඇහෙන්නේ. ඩැඩී උගුර පාදනවා, නමුත් මොකුත් කියන්නේ නෑ.


මේ වැඩේ අසාර්ථක නිසා මම වෙනත් උපක්‍රමයක් හොයා ගන්නවා. මම සුප් එකේ පාන් කෑල්ලක් පොඟවනවා. ඉන් පස්සේ උඩ බලාගෙන කට ඇරගෙන පෙඟුනු පාන් කෑල්ල උඩ ඉඳන් කටට අතාරිනවා. පාන් කෑල්ල කටට වැටෙන කොට හව් ගාලා හපන්නේ කෑලි ටිකක් එලියට ඉහිරෙන විදියට.


මම ඊලඟ පාර ඊටත් වඩා ලොකු පාන් කෑල්ලක් සුප් එකේ පොඟවනවා. මේ පාර පාන් කෑල්ල කටෙන් අහකට වැටෙන්නේ. ටිකක් මගේ ඇහැටත් යනවා. කවුරුවත් කිසි දෙයක් කියන්නේ නෑ. ඩැඩී මා දිහා බලනවා. මමීත් මා දිහා බලනවා. මිස්ටර් ස්පින්ක්ස් මා දිහා නොබලා ඉන්න උත්සාහ කරනවා. එයාලා කතා කරන්නේ ඩැඩීට ලැබෙන්න ඉඩ තියෙන උසස්වීමක් ගැනයි. මගේ කෑම දැකලා අප්පිරියාවක් ඇති නොවෙච්ච බව හඟවන්න හැම උත්සාහයක්ම එයාලා ගන්නවා.


ඊ ලඟ වටය කුකුල් මස්, මේ පාර නම් ඩැඩීගේ සීමාව පනින බව මම දන්නවා. එයා මොනවා හරි කියාවි. එයාට පේන්න බෑ මම ක‍ටු සූප්පු කරන එක. “ආ, ඔන්න මට කුකුලගේ කක්කා පැත්තම හම්බ වුනා,” මම මහා හයියෙන් කියනවා. ඩැඩී ඔරවලා බැලුවත් මොකුත් කියන්නේ නෑ.


මම ඇඟිලි වලින් ඔබමින් කටට කුකුල් මස් පුරවනවා. රෝස්ට් කරපු අර්තාපල් ගෙඩියක් අරන් දෙකට කඩන මම ඇඟිල්ල ඔබලා මාගරීන් තලියක් අරන් අර්තාපල් පලු උඩට හලනවා. මාගරීන් දියවෙලා හැම තැනම ගලනවා.


මම කවදාවත් දැකලා නෑ කිසි කෙනෙක් ඩැඩී මා දිහා බලන තරම් කේන්තියෙන් මා දිහා බලනවා. ඩැඩී රවනවා, ඔරවනවා, උගුර පාදනවා. නමුත් පරදින්නේ නෑ. මාරම චරිතයක් ඩැඩී! මම මොනවා කලත් ඩැඩී පොරොන්දුව කඩන්නේ නැති විදියයි.


මම කුකුල් ක‍ටුවක් අරන් ටකාස් ගාලා දෙකට කඩලා ඇට මිදුළු උරනවා. ක‍ටුව ඇහැට තියලා බැලුවාම මැද හිස් නිසා එහා පැත්ත පේනවා. මම තවත් සද්දෙට අනිත් කටුත් උරලා ඇට මිදුළු ගිලිනවා. ඩැඩීගේ මූණ රතුම රතුයි. නහයෙත් පුංචි නහර මතුවෙලා පේනවා. නමුත් ඩැඩී පරදින්නේ නෑ.


අන්තිම වටය බේක් කරපු ඇපල් සහ කස්ටර්ඩ්. මේ වටේදි නම් කොහොම හරි ඩැඩීව බිම දාන්න වෙනවා. දැන් මිස්ට ස්පින්ක්ස් තාත්තගේ උසස්වීම ගැන කතා කිරිල්ල නවත්තලා, දැන් කියවන්නේ විනය ගැන. සීමාවල් පැනවීමක් ගැන. ප්‍රමිතීන් පවත්වගෙන යාමක් ගැන. ඔන්න ඔය වගේ දේවල්. මම උරලා මැද සිදුර පාදාගත්ත කුකුල් ක‍ටුවක් ස්ට්‍රෝ එකක් හැටියට පාවිච්චි කරලා කස්ටර්ඩ් එක කුකුල් ක‍ටුව හරහා උරලා බොනවා.


ඩැඩී උගුර පාදනවා. මූන බීට් රූට් අලයක් වගේ රතුයි. “ඇන්ඩෲ,” ඩැඩී කියනවා.


“ඇයි ඩැඩී,?” මම කටේ කස්ටර්ඩ් පුරවාගෙන අහනවා.


“මොකුත් නෑ,” ඩැඩී මුමුණනවා.


ඩැඩී නම් මාරයි. මෙච්චර පීඩනයක් යටතෙත් පුපුර හැලෙන්නේ නැතුව ඉවසගෙන ඉන්න! තව එක දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. මම මේසේ යටට අත දාලා මගේ රහස් ආයුධය – අන්තිම තුරුම්පුව – එලියට ගන්නවා.


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


මම කහ පාට ෆ්ලයි ස්වොටර් එක මේසේ උඩින් තියනවා මගේ පිහිය ලඟින්ම. සුදු පාට මේස රෙද්ද උඩ කැපිලා පේන ෆ්ලයි ස්වොටරය දිහා හැමෝම ඇස් ලොකු කරගෙන බලනවා ඉවරයක් නැතුව. නමුත් කිසි කෙනෙක් මොනවත් කියන්නේ නෑ.


මම ෆ්ලයි ස්වොටර් එක අතට අරගෙන අයිස් ක්‍රීම් කෝන් එකක් වගේ ලෙවකන්න ගන්නවා. ෆ්ලයි ස්වොටර් එකේ දුඹුරු පාටට ඇලවිලා තියෙන මැසි තලි ගැලවිලා දිවට ආ ගමන් මම ගිලලා දානවා. කර කර ගාලා හැපෙන වියළි කලු කෑලි ඊ ලඟට.


මිස්ට ස්පින්ක්ස් නැගිටලා කුස්සියට දුවනවා.


ඕර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ක්, ඕර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ක් !


ඊ ලඟ ඇහෙන්නේ එයා කුස්සියේ සින්ක් එකට වමනේ දාන හඬ.


ඩැඩී නැගිටිනවා. එයාගේ ඉවසීමේ සීමාව පැනලා.


“ආආආආආආආආආආආආර්ග්හ්ක්!”
ඩැඩී කෑගහනවා.


ඩැඩී මා දිහාට පනින්නේ මාව අල්ලා ගන්න කොටියෙක් වගේ අත් දෙක දික් කරගෙන.


විදුලි වේගෙන් පු‍ටුව පස්සට ඇදලා නැගිටින මම පැනලා දුවනවා පණ බේරාගන්න. මම කෙලින්ම නතර වෙන්නේ මගේ කාමරේ. මම කාමරේ දොර දඩාස් ගාලා වහලා අගුල දානවා. ඩැඩී කෑ ගහනවා, දොරට පයින් ගහනවා. මම සද්ද නැතුව ඉන්නවා.


හෙට එයාගේ කේන්තිය ටිකාක් නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ.


මම එයාට කියනවා මම ඊයේ ටවුමට හිහින් සත පනහකට අලුත් ෆ්ලයි ස්වොටර් එකක් ගත්ත බව. මම එයාට කියනවා මම ඒකේ මුද්දරප්පලම් කෑලි චොකලට් හේසල් නට් පේස්ට් එක්ක අනලා අතුල්ලලා තිබ්බ බව.


මම කියන්න හදන්නේ මම ඇත්තෙන්ම මැරිච්ච මැස්සෝ කීයටවත් කන්නේ නැති බව…මේ නොවැලැක්විය හැකි කරුණකට ඇර.

 

Picture of fly swatter from peacefulwife.com

Picture of fly swatter from peacefulwife.com

 


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


මට හිතුනා මේකට තව කෑල්ලක් එකතු කරන්න.


මිස්ටර් ස්පින්ක්ස් ගෙදර ගියාම එයාගේ බිරිඳ ජේන් අහනවා මෙහෙම.


ජේන් ස්පින්ක්ස්: ඩෙවිඩ්. මොකද අනේ ඔය ඔයාගේ හැටි? මොකද වුනේ?


ඩේවිඩ් ස්පින්ක්ස්:……………………………………………..


මිස්ටර් ස්පින්ක්ස් මොනවා කියන්න ඇද්ද? 😀


Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , ,

5 responses to “145. පොරොන්දුව Licked!

  1. සෑම්

    ඔක්තෝබර් 21, 2013 at 5:07 ප.ව.

    සොරි.. මට මේ කතාවට ඊක්කා කියන්නම වෙනවා..

    ජය !

     
  2. hiruni

    ඔක්තෝබර් 21, 2013 at 9:47 ප.ව.

    හරිම ලස්සන කතාව ඩුඩ්! පරිවර්තනය ශෝක්. චිත්‍රෙත් හරිම ලස්සනයි. මේ කතාව අර ඈක්ක කතාව තරම් අප්ප්‍රසන්න නෑ.
    😀

    මිස්ටර ස්පින්ක්ස් මිසිස් ස්පින්ක්ස්ට කියන්න ඇති ” මේ ලෝකේ ඉන්න ජරාම ලමය ඉන්න අප්‍රසන්න කෑම වේලකට ගිහින් ආව” කියල. 😀 😀 😀

     
    • henryblogwalker

      ඔක්තෝබර් 22, 2013 at 10:55 පෙ.ව.

      ඈක්කා කතාව තරම් අප්‍රසන්න නෑ? 😀

      මම හිතන්නේ ඊට වැඩිය වැඩ දාලා කියන්න ඇති, අර ‘කාලකන්නි පෙරේත කොල්ලෙක්’ කියලා වගේ…

       
  3. සූස්ති ගුනේ

    ඔක්තෝබර් 23, 2013 at 5:16 පෙ.ව.

    එල කතාව සෑර්.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න