වතුර උඩ ඇවිදිමුද?

මේක මේ ජෝකර් මල්ලි සුද්දංගෙ රටේ ඉන්න කාලෙ ආරංචි උන වැඩක්.

පීටර් කියන්නෙ ජෝකර් මල්ලිගෙ යාළුවෙක්. ඔන්න පීටර්ගෙ 18 වෙනි උපන් දිනෙ එනවලු. මේ පීටර්ලගෙ පවුලෙ පිරිමි අයගෙ විශේෂ ලක්ෂණයක් තිබුණලු. එයාලගෙ 18 වෙනි උපන් දිනේදි එයාලට වතුරෙ ඇවිදින්න පුළුවන් වෙනවලු. පීටර්ගෙ තාත්ත, අත්තා (සීයා) සහ මුත්තා තුන් දෙනාම තමන්ගෙ 18 වෙනි උපන් දිනේදි ගමේ තියෙන වි‍ල උඩ ඒ විධියට ඇවිදගෙන එහා පැත්තෙ බාර් එකට ගිහින් නිල වශයෙන් මුල්ම බියර් එක ගහනවලු.

පීටරුත් උපන් දිනේ එනකල් බලං හිටියෙ වතුරෙ ඇවිදින්නලු. ඔන්න උපන් දිනේ දවසෙදි මිනිහ යාළුවෙක් එක්ක විලට ගිහින් ලකුණු දාගන්නත් එක්ක ගැඹුරු තැනකින් වතුරට බැස්සලු. ඇවිදිල්ල කොහොම උනත් පොර හොඳටම ගිලිල නොමැරී බේරුණෙ අනූ නමයෙන්ලු.

සිහිය ආවට පස්සෙ මිනිහට හොඳටම මල පැනල ගියාලු ආච්චි හම්බ වෙන්න.

“මගෙ නෑයො ඔක්කොම මාව රැවැට්ටුවා. අපේ තාත්ත, අත්ත, මුත්ත තුන් දෙනාම 18 වෙනි උපන් දිනේදි වතුර උඩ ඇවිද්දලු. මම විතරයි ගිලුනෙ. සේරම බොරු කාරයො. ආච්චිත් මට බොරු කිව්වා”

ආච්චිටත් මල පැන්නලු.

“අනේ බූරුවො. තෝ උපන්නෙ ජූලි මාසෙනෙ බං. තොගෙ තාත්තයි, මයෙ මිනිහයි, උන්දැගෙ මහ මිනිහයි තුන් දෙනාම ඉපදුනෙ දෙසැම්බර් මාසෙ. ඒ කාලෙට විලේ වතුර මිදෙනවනේ ගොනෝ….”

8 thoughts on “වතුර උඩ ඇවිදිමුද?

  1. කව්ද ආච්චිට සිංහල ඉගැන්නුවෙ ??

  2. හිනාව නවත්තගන්න වෙනම හිතන්න වුනා..!

    • එහෙම හරි නවත්තගත්තු එක හොඳා… තව ඉස්සරහට කොච්චර හිනාවෙන්න තියෙනවද?

  3. අපරාදෙ මං ඉපදුනේ නොවැම්බර් නෙ.

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!