Blog Portal of Durakatana

තමන්ගේ හුරු පුරුදු රටාව මෙවරත් අනුගමනය කරමින්, පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද iPhone 5 ස්මාට් දුරකථනයට සිදුකරන ලද වැඩිදියුණු කිරීමක් ලෙසින් ඇපල් සමාගම විසින් සිය නවතම දුරකථන නිෂ්පාදනය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ලොවට ඉදිරිපත් කරන ලදී. iPhone 5S ලෙසින් හැඳින්වුනු මෙම නවතම ස්මාට් දුරකථනයට විශේෂ ලක්ෂණ කීපයක් අන්තර්ගත කොට තිබුණත් පසුගිය මාදිලියට වඩා කැපී පෙනෙන වෙනසක් නැති බව විචාරක අදහසයි.

iPhone 5S හි ඇති මෙම වැඩිදියුණු කිරීම් වලින් විශේෂතම අංගය වන්නෙ Touch ID ලෙසින් හ‍ඳුන්වා ඇති නව පහසුකමයි. මෙය iPhone එකෙහි Home බොත්තම මත අන්තර්ගත කරන ලද ඇඟිලි සළකුණු කියවනයක් හෙවත් Fingerprint Reader එකකි. මෙමගින් Home බොත්තම මත ඔබේ මහපටඇඟිල්ල තබා iPhone එක Unlock කරගත හැකියි. ඉදිරියේදී මෙම ක්‍රමය මගින් විවිධ Apps සඳහා පිවිසීමටද, Apple Store හි විවිධ මිළදී ගැනීම් සිදුකිරීමටද අවස්ථාව ලබාදෙන බව ඇපල් සමාගම පවසා තිබේ.

නව අයිෆෝන් එකෙහි ඇති ප්‍රොසෙසරය Apple A7 වර්ගයේ නවතම ප්‍රොසෙසරයකි. එය පසුගිය මාදිලියට වඩා වැඩිදියුණු කළ එකක් වන අතර dual core වර්ගයේ එකකි. කෙසේ වුවත් මෙහි දක්නට ඇති විශේෂතම වැඩිදියුණු කිරීම වන්නේ මෙම ප්‍රොසෙසරය 64-bit ආකාරයේ එකක් වීමයි. ඒ අනුව ලොව ප්‍රථම 64-bit ප්‍රොසෙසරය සහිත ස්මාට් දුරකථනය බවට Apple iPhone 5S පත්වේ. මෙම A7 ප්‍රොසෙසරය පෙර පැවති ප්‍රොසෙසර වලට වඩා දෙගුණයක් වේගවත් බව පැවසේ.

iPhone 5s හි නව කැමරාව පෙර පැවති 8 MP අගයෙන් වෙනස්ව නැති නමුත් මෙහි සෙන්සරය HTC One හා සමාන ලෙසින් වැඩි දියුණු කර ඇතැයි සඳහන් වේ. මෙමගින් digital image stabilization හා තවත් කැමරා පහසුකම් කීපයක් ලබාදී තිබේ. එසේම iPhone 5s දුරකථනය දැන් රත්රන් පැහැයෙන් යුතුව ද ලබාගත හැකියි. රන්, රිදී හා අළු ලෙසින් වර්ණ තුනකින් මෙය ලබාගත හැකියි. iOS 7 නවතම මෙහෙයුම් පද්ධතියෙන් මෙම ඇපල් ස්මාට් දුරකථනය ධාවනය වන අතර අනෙකුත් විශේෂාංගයන් පෙර වසරේ පැමිණි iPhone 5 හා සමාන වේ.

මෙම නව iPhone 5s හි මිළ ගණන් $199 (16GB), $299 (32GB), හා $399 (64GB) ලෙස දක්වා තිබේ. මේවා දුරකථන සේවා සමාගම් මගින් ලබාදෙන සේවා කොන්ත්‍රාත්තුවට අදාල මිළ ගණන් වන අතර සාමාන්‍ය මිළ ඩොලර් 600 ක් පමණ වනු ඇතැයි පැවසේ.

මේ සමගම ඇපල් අයිෆෝන් හි අඩුමිල සංස්කරණයක් ලෙසින් කටකථා වලට බඳුන්ව තිබුණු Apple iPhone 5C නම් මාදිලියට මෙහිදී එළි දැක්විණි. මෙය නියම iPhone එක මෙන් ඇළුමිණියම් ආවරණයකින් නොව ප්ලාස්ටික් ආවරණයකින් යුතු අතර නිල්, කොළ, රෝස, කහ සහ කළු යන වර්ණ වලින් ලබාගත හැකියි. මෙහි අවම මිළ ඩොලර් 100 කි.

iPhone 5S හා එහිදී එළිදුටු අනෙකුත් උපාංගයන් ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න…

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්