ජාතික අරමුණු වෙත එළඹීම සඳහා අධ්‍යාපනය ඔස්සේ ලබා දිය යුතු ප්‍රමිතීන් 60..

education

1992 දී නිකුත් කළ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව විසින් ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු සමාජ ගත කළා. එම ජාතික අරමුණු දරුවන් තුළ චරිතායනය කිරීම දරුවන්ට විතරක් නෙවෙයි, රටක් හැටියට මුළු ශ්‍රී ලංකාවේම යහපතට හේතු වෙනවා. මේ ජාතික අරමුණු දරුවන් තුළ චරිතායනය කිරීම එකවර කළ හැක්කක් නෙවෙයි. ඒ සඳහා අධ්‍යාපනය ඔස්සේ දරුවන්ට ලබා දිය යුතු ප්‍රමිතීන් 60 ක් තිබෙනවා. පියවරෙන් පියවර මෙම ප්‍රමිතීන් 60 දරුවන්ට ලබා දෙන්නට අපේ අධ්‍යාපන ක්‍රියාවලියට හැකි උනොත් ජාතික අරමුණු අපේ දරුවන්ගෙ ඇඟට ම කාවද්දන එක මහ අමාරු කාරියක් වෙන්නෙ නැහැ.

ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමගියක් ගොඩනැගීම.

  • ‘විශ්ව සමාජය පසුබිම් කරගත් ශ්‍රී ලාංකීය ජාතිය’ යන සංකල්පයේ වටිනාකම අවබෝධ කර ගැනීම හා අගය කිරීම.
  • ජාතියේ උන්නතියට හා සේවයට කැපවීමෙන් ජාත්‍යාලය පිළිබඳ දැඩි හැඟීමක් ඇති කරලීම. 
  • ශ්‍රී ලාංකීය ජාතිය සාරවත් කිරීම සඳහා සියළුම ජනවාර්ගික කණ්ඩායම් වල හා ආගම් වල සංස්කෘතික සම්ප්‍රදායන්ගේ දායකත්වය අගය කොට සැලකීම.
  • ජාතික ඒකාබද්ධතාවය පවත්වාගෙන යාම පිණිස සංස්කෘතික අගය කිරීම හා භාෂාවට ඇති ස්ථානය ගැන සංවේදී වීම.
  • තමන්ගේ ආගම අවබෝධ කර ගැනීම හා ඒ අනුව පිළිපැදීම.

පෘථුල වශයෙන් විසිර යන සාධාරණ සමාජ රටා පිහිටුවීම.

  • සමාජ සාධාරණත්වයේ වැදගත්කම හා විෂමතා තුරන් කිරීමේ වටිනාකම අවබෝධ කර ගැනීම හා සංවේදී වීම.
  • පෞද්ගලික වගකීම හා හේතු දැක්වීම ට බැඳී සිටීම පිළිබඳ හැඟීම.
  • අවංකවත්, ගෞරවාන්විත ලෙසත් ගණුදෙනු කිරීමට ශක්තියක් තිබීම.
  • තමන්ගේ හා අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ අවබෝධය හා සාධාරණත්වය පිළිබඳ හැඟීම.

දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීම.

  • ජීවිතයේ හා ඉටු කරන කටයුතු වල දී සාරධර්ම උකහා ගැනීමේ අවබෝධය හා සංවේදීතාව පිළිබඳව සැළකිල්ලක් දැක්වීම.
  • අනාගතය සඳහා දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳ අවබෝධය හා සංවේදීතාව.
  • තමන්ගේ හා අන්‍යයන්ගේ අභිවෘද්ධිය පිණිස නිරන්තරව දියුණු වීමේ ආකල්පයක් ඇති කර ගැනීම.
  • ශාරීරික – මානසික සෞඛ්‍යය සඳහා ප්‍රයෝජනවත් වන සේ විවේකය හා විනෝදය උපයෝගී කර ගැනීම.
  • පරිසරයේ සමබරතාවක් තිබීමේ අවශ්‍යතාව වටහා ගැනීම.
  • පරිසරය සංරක්ෂණය උදෙසා නිර්මාණශීලී ව සහභාගී වීමට ඇති කැමැත්ත.

එක් වරම ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ලැබීමට මග සලසන්නා වූත් ජීවනෝපායන් හා රැකියා අවස්ථා සොයා ගැනීම.

  • ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ගෙන දෙන්නා වූත් රැකියා අවස්ථා සහ ජීවන මාර්ග පිළිබඳ අවබෝධය.
  • අවංක හා ඵලදායී උත්සාහයන් මගින් තමන් හා සිය පවුලට අවශ්‍ය ධනෝපායන කටයුතු සපුරා ගැනීමේ ශක්තිය.
  • අන්‍යේන්‍ය වශයෙන් ආධාර වන, තෘප්තිකර සම්බන්ධතාවන් පිහිටුවා ගැනීම.
  • මානසික හා ශාරීරික වශයෙන් අනවශ්‍ය බර නොපැටවෙන සේ ජීවිතය හා කාර්යයන් පවත්වාගෙන යාම.
  • ලබා ගත හැකි සම්පත් වලට අනුකූල වන පරිදි තමන්ගේ අවශ්‍යතාවයන් ගැලපීම හා දැරිය හැකි ජීවන රටාවකින් සෑහීමකට පත් වීම.
  • ඉතිරි කර ගැනීමේ හා ඥාණාන්විත ව ආයෝජනය කිරීමේ ශක්තිය.
  • පෞද්ගලික දියුණුව සඳහා ක්‍රියාත්මක කළ හැකි උපායමාර්ග සකස් කර ගැනීමේ ශක්තිය.
  • ජීවිතයේ දී හා කටයුතු කිරීමේ දී හරය පිළිබඳ ව හැඟීමක් තිබීම.

රටේ සමාජයීය හා ආර්ථික වර්ධනයට ආධාර වන මානව සම්පත් සංවර්ධනයෙහි සහභාගීත්වය.

  • ජාතික සංවර්ධනයේ වැදගත් අංශ පිළිබඳ අවබෝධය හා ඒවාට සහභාගී විය හැකි ක්‍රම පිළිබඳ අවබෝධය.
  • ජාතික ව්‍යාපාරයන් හි නිරත වන උනන්දු වූත්, දක්ෂ වූත් සේවක පිරිසකගේ ක්‍රියාකාරිත්වය.
  • විවිධ කාර්ය පසුබිම් වල කළමනාකරණ අධීක්ෂණ හා විශේෂඥ පිරිස් හඳුනා ගැනීම තුළින් සඵල කළමනාකරණයක වැදගත්කම තේරුම් ගැනීම.
  • අවස්ථාවන්ට අවශ්‍ය වන පරිදි ජාතික හා අනෙකුත් භාෂා ස්වෝත්සාහයෙන් හැදෑරීමේ ක්‍රම හා මග පෙන්වීම් තෝරා ගැනීමේ ශක්තිය.
  • පුද්ගලයින් සතු ස්වයං රැකියා වලට යොමු වීමේ සහ උසස් වීමේ විධිමත් හා අවිධිමත් මාර්ග පිළිබඳ අවබෝධය හා ඒවා භාවිතා කිරීමේ ශක්තිය.

ජාතියක් ගොඩනැගීමේ කටයුතු වලට සම්බන්ධ වීම.

  • අනුන් ගැන සැළකිලිමත් වීමට හුරු වීම.
  • එකිනෙකා පිළිබඳ ව සැළකිලිමත් වීමේ ගැඹුරු හා ස්ථිර හැඟීමක් ඇති කර ගැනීම.
  • තමන්ගේ මෙන් ම අන්‍යයන්ගේත් සංස්කෘතීන් වටහා ගැනීම හා ඒවා අගය කොට සැළකීම.
  • සියලුම ආගම් හා ඇදහිලි ක්‍රම පිළිබඳ ව හැඟීම හා ඒ පිළිබඳ ව අවබෝධයෙන් ඇති වන ගෞරවය.
  • අන්‍යයන්ගේ දෘෂ්ටීන් හා අවශ්‍යතාවයන් ගැන සැළකිළිමත් වීම.
  • සහයෝගයෙන්, ඉවසිල්ලෙන් හා එකඟතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව.
  • තමන්ගේ හා අන්‍යයන්ගේ අභිවෘද්ධිය පිළිබඳ හැඟීම් හා මානව සීමාකම් හඳුනාගෙන කටයුතු කිරීම.
  • ඒකපාර්ශ්වික හා හිතුවක්කාර ක්‍රියා වළක්වාලමින් පොදු එකඟතාවයන් හා අන්‍යෝන්‍ය සම්මුතිවලට එළඹීමේ ආකාරයන් පිළිබඳ අවබෝධය.
  • උපදෙස් ලබා ගැනීමේ, අදහස් දැක්වීමේ හා වගකීමක් ඇතිව කෙරෙන නිර්මාණශීලී විවේචනයේ වැදගත්කම අවබෝධ කර ගැනීමේ හා එවැනි ක්‍රියාකාරිත්වයන්ට අනුබල දීමේ හැකියාව.
  • උද්‍යෝගයෙන් හා ඉතා සුලු කරුණු සම්බන්ධව පවා සැළකිලිමත් ව අවස්ථානුකූල ව ක්‍රියා කිරීමේ ශක්තිය.
  • කාර්යයන්හි සහභාගී වන සියලු දෙනා තුළ ගැඹුරු ලෙස හා ස්ථාවර ව කටයුතු කරවීමේ හා උනන්දුව ජනිත කරවීමේ ශක්තිය.

වෙනස් වීම් වලට ගැලපෙන පරිදි ඉගෙනීම හා සකස් වීමේ ශක්තිය උදා කර ගැනීම. (ඉගෙනීම හා වෙනස්වීම ඇති කිරීමේ නියාමක ශක්තිය උදා කර ගැනීම.)

  • ශීඝ්‍ර වෙනස්වීම් පිළිබඳව අවබෝධය, ඒ පිළිබඳව සැළකිලිමත් වීම හා එවැනි අවස්ථා වලදී අනුගමනය කළ යුතු විවිධ විකල්ප ක්‍රම පිළිබඳව අපේක්ෂා සහිත වීම.
  • ස්වභාවික හා කෘත්‍රිම ව්‍යසනයන්ට සූදානම් ව සිටීම අගය කොට සැළකීම හා පුද්ගලයන් විසින් හෝ කණ්ඩායම් විසින් හෝ ජාතික ආයතන විසින් හෝ අපේක්ෂාවෙන් හා සාමුහිකත්වයෙන් කෙරෙන ක්‍රියා.
  • සිදු වී තිබෙන අලාභ, හානි හා ආපදාවන් සම්බන්ධයෙන් වන කනස්සල්ලෙන් වැළකීම හා ඵලදායී වන අලුත් ක්‍රියාවන් ආරම්භ කිරීමට ඇති දක්ෂතාව.
  • නව හැකියාවන්, විකල්ප අවස්ථාවන් පිළිබඳ අධ්‍යයනයන් කිරීම හා යල්පැන ගිය දේත්, නිෂ්ඵල දේත් අත්හැරීම.
  • ජීවත් වීමට හා පැවැත්මට ආධාරක වන අංගෝපාංග සම්පාදනය කර ගැනීමේ ශක්තිය.

ව්‍යාකූල වූත් අනපේක්ෂිත වූත් අවස්ථා වලට මුහුණ දීම හා සංරක්ෂිත ස්ථාවර හැඟීමක් ඇති කර ගැනීම.

  • ව්‍යාකූල වූත්, අස්ථිර වූත් ලෝකයේ ස්වභාවය හා අනාගතයේ දී එම තත්වයන් තවත් උග්‍ර වීමට හැකි බව දැන සිටීම.
  • ආරක්ෂිතභාවය හා ස්ථාවරභාවය කෙරෙහි නම්‍යශීලී ආකල්පයක් ඇති කර ගැනීමත්, අවදානම්, අනතුරු, ආපදා, අසමර්ථ වීම්, ක්‍රම සම්පාදනයේ දී හා යෝජනා සකස් කිරීමේ දීත්, තීරණ ගැනීමේ දීත් ඇති විය හැකි වැරදි ගැන රැකවරණ සකස් කර ගැනීම.
  • ඉහත සඳහන් තත්වයන් තුළ යාවත්කාලීන කළ යුතු හා  ළඟ තබාගත යුතු තොරතුරු වලට සංවේදී වෙමින්, එම තොරතුරු වල අවශ්‍යතාවය හඳුනා ගැනීමත් –  විශේෂයෙන් ළමා වියේ දී මානසික වූත්, ශාරීරික වූත් හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයත්, ආබාධ – බෝවන රෝග ආදියටත්, පීඩනයට හා කම්පනයටත් ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනගා ගැනීම.
  • අපතේ හැරීම් හා වෙනත් අනවශ්‍ය ප්‍රතිඵල පාලනය කරගැනීමේ ශක්තිය.
  • දූෂණ හා දුක් ගැනවිලි මතු වන බව දැන සිටීම හා ඒවා නිවැරදි කිරීමට සුදුසු ප්‍රතිකර්ම යෙදීමේ හැකියාව.
  • නීතිමය සහන සහ නෛතික ආරක්ෂාව පිළිබඳ අවබෝධය, ඒ සම්බන්ධයෙන් දක්ෂ හා ක්‍රියාශීලී පියවර ගැනීමේ හැකියාව.
  • අප්‍රමාදව හා අපක්ෂපාතීව අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට හා අවශ්‍ය වූ විට අභියාචනා පටිපාටීන් සුලබ ව ලබා ගැනීමට හා ඒ සඳහා වියදම් දැරීමට ඇති හැකියාව.

ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් අත් පත් කර ගැනීම.

  • ජාත්‍යන්තර ප්‍රජාව පිළිබඳ අවබෝධය හා බලය, ආර්ථිකය, වෙළ හෙළඳාම් ආදී අංශ වලින් තම රට අන්තර් ජාතික ක්ෂේත්‍රයේ හිමි කර ගන්නා තැන ගැන හැඟීම.
  • මිනිස් ජීවිතය හා මානව අයිතීන් පිළිබඳ අවබෝධය.
  • ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල ඵලදායී බව, උද්දීප්තිමත් බව ගැන දැන සිටීම.
  • නොයෙක් කොටස් වලට අයිති සංස්කෘතික හා සමාජයීය ජීවන රටාවන් හි විවිධත්වය හා සාරවත් භාවය අවබෝධ කර ගැනීම.
  • අන්තර්ජාතික සහයෝගීතාව හා තරඟකාරීත්වයේ වැදගත්කම හඳුනා ගැනීම.
  • නොයෙක් අංශයන්ගෙන් උසස් ජීවන තත්වයන් අත්පත් කර ගැනීම.
  • ජාතික ප්‍රතිපත්ති වල යෝග්‍යතාව අදාලත්වය හා සීමාවන් පිළිබඳ අවබෝධය.
  • ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වන භාණ්ඩ වල හා සේවා වල තත්වයේ වැදගත්කම හඳුනා ගැනීම.
  • රට වෙනුවෙන් අන්තර්ජාතික සමුළු වලදී පෙනී සිටින කළමණාකරුවන්, තාක්ෂණඥයින්, තානාපතිවරුන්, දේශපාලනඥයින් හා ආගම්, සාහිත්‍ය, කලා, විද්‍යාව, අධ්‍යාපනය කර්මාන්ත හා වෙළඳාම් යන අංශයන් නියෝජනය කරන අය තුළ අවංකභාවය, නිපුණත්වය හා බුද්ධිමය උසස් තත්වය පවත්වා ගැනීම.

ඇත්ත වශයෙන්ම රටක අධ්‍යාපන ක්‍රමය පවතින්න ඕන රටේ දියුණුවට ශක්තියක් වෙන දරුවො හදන්න මිසක් කියවන්න – ලියන්න විතරක් දන්න, කුසලතා රහිත, රට ගැන කිසිම හැඟීමක් නැති අර්ධ රොබෝවරු හදන්න නෙවෙයි. ඒක එහෙම නම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට සිදුවෙනවා, අනිවාර්යයෙන්ම මේ ප්‍රමිතීන් 60 අපේ දරුවන්ට ලබා දෙන්න. ඒ, මේ ප්‍රමිතීන් 60 මඟ හැරලා ජාතික අරමුණු දිහාවට හැරෙන්න කොහොමටවත් ම බැරි නිසා. අවුරුදු 13 ක් ඉස්කෝලෙ යන අපේ දරුවන්ට, හැබෑ මිනිස්කම හඳුනන – රටට වැඩක් ඇති දරුවො වෙන්න, ඉස්කෝලෙන් ලබා දිය යුත්තේ මේ ප්‍රමිතීන් 60 විතරයි. අවුරුදු 13 ක් තිස්සේ ප්‍රමිතීන් 60ක් විතරක් ලබා දෙන්නට අපේ අධ්‍යාපන ක්‍රමයට හැකි වෙනවා නම් ඇත්තටම මේ රට, උණ්ඩ – ගල් වලින් මිදිලා මල් වැහි වහින රටක් බවට පත් වේවි.

Leave a comment

Filed under විශේෂ

Leave a comment