යහපාලනයක් සඳහා වන ප්‍රමිතියකින් යුතු මානවයෙකු බිහි වන අධ්‍යාපනයක් තුළින් දරුවාට සපයන අවම පොදු නිපුනතා 5..

images (18)   ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලියේ පටන් ම මෙම නිපුනතා 5 මානවයාට ලබාදීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ 1992 දී   පළ     වූ වාර්තාවෙන් යෝජනා කර ඇත. එය එසේ කර තිබෙන්නේ අධ්‍යාපන මනෝ විද්‍යානුකූලව ය. ළමා සංවර්ධන අවධීන්ට අනුකූලව ය. අධ්‍යාපන විද්‍යාවට අදාළ ප්‍රධාන විෂය පථ දහතුනකට අනුකූලව ය. මෙම අවම පොදු නිපුනතාවයන් වෙත පැමිණි මානවයා මූලික මානව ප්‍රමිතීන් තිරසාර ලෙස තමන් සන්තක කරගත් මානවයෙකි.

  1. සන්නිවේදනය පිළිබඳ නිපුනතාව
  2. පරිසරයට අදාල නිපුනතාව
  3. ආචාරධර්ම වලට අදාල නිපුනතාව
  4. ක්‍රීඩා හා විවේකය පිළිබඳ නිපුනතාව
  5. ඉගෙනීමට ඉගෙනීම පිළිබඳ නිපුනතාව

සන්නිවේදනය පිළිබඳ නිපුනතාව

මෙය, සාක්ෂරතාවය, ගණනය  හා මානනය, රූපනය යන නිපුනතාවයන් තුනෙන් සමන්විත ය. මෙම නිපුනතාවයන්  තුන ද නැවත කොටස් කරමින් වර්ධනය කරමින් අනාගත පරපුර සතු කිරීම අධ්‍යාපනඥයන් සතු වගකීමකි.

  • සාක්ෂරතාවය

කල්පනා කිරීම, සවන් දීම, පැහැදිලි උච්චාරණය, අර්ථය අවබෝධ වන පරිදි කියවීම, නිවැරදි හා පැහැදිලි ලිවීම යන නිපුනතාවයන් පහ හුවමාරු කරගැනීම     සාක්ෂරතාවයට අයත් ය.

  • ගණනය  හා මානනය

ඉලක්කම් භාවිතය, කාලය හා අවකාශය ගණන් කිරීම, ගණන් බැලීම, ක්‍රමානුකූලව මැනීම යන නිපුනතාවයන් පහ හුවමාරු කරගැනීම ගණනය හා මානනයට ඇතුළත්  වනු ඇත.

  • රූපනය

රූප සටහන් අවබෝධ කරගැනීම, රූප සටහන්  භාවිතයෙන් අදහස් ඉදිරිපත් කිරීම, රූප සටහනකින්- ආකෘතියකින්- වර්ණ වලින්- විස්තර, උපදෙස් හා අදහස් ප්‍රකාශ කිරිම  සහ සටහන් කිරීම යන නිපුනතාවයන් හය රූපනයට ඇතුළත් වනු ඇත.

පරිසරයට අදාල නිපුනතාව

මෙම නිපුනතාවය සමාජයීය, ජීව විද්‍යාත්මක, භෞතික පරිසර වශයෙන් කොටස් තුනකි.

  • සමජයීය පරිසරය

පොදු සමාජයේ සාමාජිකයෙකු ලෙස, සමාජ සම්බන්ධතා, පෞද්ගලික හැසිරිම්, සාමාන්‍ය හා නීතිමය සම්මානයන්, අ‍යිතිවාසිකම්, නෛතික පැවරුම්, වගකීම්, යුතුකම් යන නිපුනතාවයන් හත පිලිබඳ දැනුවත්  භාවයකින් යුතු සංවේදී හැගීම් ඇතිකර ගැනීම.

  • ජීව විද්‍යාත්මක පරිසරය

සජීවි ලෝකය, මනුෂ්‍යත්වය, පරිසර පද්ධතිය, ගස්, කැලෑ, මුහුදු ජලය, වායුව හා ජීවය, පැළෑටි, සත්ව හා මනුෂ්‍ය ජීවය යනාදි බොහෝ දෙයට සම්බන්ධ වූ හැගීම් හා කුසලතා අත්පත් කරගැනිම.

  • භෞතික පරිසරය

අවකාශය- බලශක්තිය- ඉන්ධන හා ද්‍රව්‍ය පිළිබඳ නිපුනතාවය හා ඒ පිළිබඳ අවබෝධය ද, මිනිස් ජීවිතයට සම්බන්ධ භාණ්ඩ- ආහාර- රෙදි පිළි- නිවාස- සෞඛ්‍යය- නින්ද- ගිමන් හැරීම- විවේකය යනාදී බොහෝ දෙයට සම්බන්ධ වූ හැඟීම් හා කුසලතාවන් ද, ඉගෙනීමට හා ජීවත් වීමට කොතෙකුත් දේ සකස් කරගැනීම පිණිස උපකරණ භාවිතා කිරීමේ කුසලතාවය ද අත්පත් කරගැනීම.

ආචාරධර්ම වලට අදාල නිපුනතාව.

මෙම නිපුනතාවය මිනිසුන් ශීලාචාර කිරීමේ හා සමාජය ශිෂ්ට සම්පන්න කිරීමේ ආකල්ප සංවර්ධනයට බොහෝ දුරට අදාල වනු ඇත. මිනිසාගේ ගුණාත්මකභාවය වර්ධනය කරන සදාචාරධර්ම, වෙනස් ආගමික ඉගැන්වීම්, මතවාද, වත් පිළිවෙත්, පුද පූජා, එදිනෙදා පැවැත්වෙන සිරිත් විරිත්, විවිධ ගති පැවතුම් හා ඒවාට අනුකූල වන පරිදි වෙනස්කම් වලට ගරු කරමින් හා වෙනස්කම් වින්දනය කරමින් කටයුතු කිරීමට තමා තුළ ඇති කරගත යුතු වර්ධනයන් මෙම නිපුනතාවය සාක්ෂාත් කිරීමට අවශ්‍ය අවම සාධක වෙති.

ක්‍රීඩා හා විවේකය පිළිබඳ නිපුනතාව.

සතුට හා එවැනි මානසික පෙළඹවීම් සපුරාලීම සඳහා වන සහභාගීත්වය මෙම නිපුනතාවය හා සම්බන්ධ වේ. විවිධ ක්‍රීඩා පිළිබඳව ද, ක්‍රීඩා කිරීම් පිළිබඳව ද, විවේක අවස්ථා ගත කිරීම පිළිබඳව ද, ශාරීරික හා මානසික සංවර්ධනය සඳහා එම අවස්ථා යොදාගැනීම පිළිබඳව ද මෙම නිපුනතාවය අදාල වේ. කණ්ඩායම් වශයෙන් ජීවිතයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ද, සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ද, ජීවිතය වින්දනය කිරීම සඳහා ද, ජීවිතය පවත්වාගෙන යාමේ දී සාධාරණ තරඟකාරීත්වයක් පවත්වාගෙන යාම සඳහා ද, සෞන්දර්ය- අධ්‍යයන- කලා- නාට්‍ය- සාහිත්‍යමය පර්යේෂණ හා වෙනත් නිෂ්පාදනාත්මක කාර්යයන් සඳහා ද මෙම නිපුනතාව සාක්ෂාත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

ඉගෙනීම පිළිබඳ නිපුනතාව.

නිරන්තරයෙන් වෙනස් වන සංකීර්ණ නව ලෝක රටාව තුළ ජගත් මිනිසෙකු වීම යන සංකල්පය සමඟ මෙම නිපුනතාව සෘජුවම සම්බන්ධ වේ. අභියෝග වලට එළඹීම සඳහා  මූලික සංකල්ප මත පදනම් ව අභියෝග අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම, සංස්ලේෂණය කිරීම, නිගමන වලට එළඹීම, නිගමන පිළිබඳ නැවත අධ්‍යයනය කිරීම, නිගමන ක්‍රියාවන් බවට පත් කිරීම, ක්‍රියාවන් සඳහා ක්‍රමෝපායන් සහ උපක්‍රම සැලසුම් කිරීම, ප්‍රතිඵලය පිළිබඳ පූර්ව අවබෝධයක් ඇති කර ගැනීම, ප්‍රතිඵල සැලසුම් කිරීම, වෙනස් කිරීම, උගත් දේ නැවත සමීක්ෂණය කිරීම, යාවත්කාලීන කිරීම, ඒ පිළිබඳ දිගටම සිත යොමුකර සිටීමේ ශක්තිය පිළිබඳ අවබෝධය, ඕනෑම අවස්ථාවක ඉතාම සුළු දේ සම්බන්ධව පවා සැලකිලිමත් වීමට ඇති දැඩි කැමත්ත හා ජීවිත කාලය පුරාම කුමක් හෝ යමක් ඉගෙනීමට ඇති සූදානම ඉගෙනීම පිළිබඳ නිපුනතාවයේ ප්‍රධාන ලක්ෂණයන් වෙති.

– ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව ඇසුරෙනි –

Leave a comment

Filed under විශේෂ

Leave a comment