Image 

 

ලංකාදීප – 2013.07.23 – මිලින්ද මොරගොඩ 

ප‍්‍රධාන නගර වටා ජනගහනය එකතුවීම සෑහෙන කාලයක සිට අඛණ්ඩව සිදුවන කි‍්‍රයාවලියකි. එය අප රටට පමණක් නොව ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් ද මුහුණ පෑ යම් ගැටලූවකි. සංක‍්‍රමණය සීමාකරන්නට නගරයේ තරමට ගම ද සංවර්ධනය කළ යුතු බවට මතයක් කලකට ඉහත තිබිණි. එය වෙනස්වී තිබේ. නගර වටා ජනතාව එකතුවීම පිළිගැනීම අද පවතින ප‍්‍රතිපත්තියයි. ශ‍්‍රී ලංකාවේ ද නාගරික සංවර්ධනය අලූත් මුහුණුවරක් ගැනීම එහි එක් ප‍්‍රතිඵලයකි.

ජනගහනය වැඩිවීම සහ අවස්ථා සොයා නගරයට පැමිණෙන පිරිස ඉහළයාම හමුවේ නගර සැලසුම් වෙනස් කරන්නට සිදුව තිබේ. අධිවේගී මාර්ග, විශාල ගොඩනැගිලි සහ සේවා ආර්ථිකය පුලූල්වීම එහි නොනවතින වෙනස්කම් වල කොටසකි. දකුණ සහ බස්නාහිර පලාත් යා කරන අධිවේගී මාර්ගය දැන් ප‍්‍රයෝජනයට ගැනේ. කොළඹ කටුනායක මාර්ගය නුදුරු කාලයේ දී ප‍්‍රයෝජනයට ගත හැකිවනු ඇත. කොළඹ නගරය වටා අලූත් අධිවේගී මාර්ගයක් ඉදිවෙයි. රට මැද හා උතුර නැගෙනහිර ද අධිවේගී මාර්ග පද්ධතියකට යා වෙනු ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස කඩුවෙල, කඩවත සහ කොට්ටාව යන නගර ප‍්‍රධාන සංධිස්ථාන වනු ඇතැයි සැලකේ. එය අද පවතින ආකාරයට වඩා සහ මුලින්ම වෙනස් එකකි. මීළඟ පරම්පරාව මෙම නගර දැකගනු ඇත්තේ අද පවතින අසංවිධිත තත්ත්වයෙන් නොවේ. ආණ්ඩුව අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. ජපානය මෙම නාගරීකරණ සැලසුම් වෙනුවෙන් සහය දී ඇත. චීන රජය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ආධාර කරයි. පොදු පහසුකම් සහිතව ආදර්ශ නගර වශයෙන් ඒවා දියුණු කිරීම ප‍්‍රායෝගික අවශ්‍යතාවයයි.

ආණ්ඩුව කරන සැලසුම් වලට පුද්ගලික අංශය ද එකතු විය යුතුය. ව්‍යාපාරිකයන් ද ව්‍යවසායකයන් ද ඉදිරි කාලයේ දී නගර වටා ගොඩනැගෙන අලූත් ආර්ථිකයට සම්බන්ධවීම අවශ්‍යය. නාගරිකකරණය සමග බිහිවන අලූත් යුගයට පදනම සකස් වන්නේ එවිටය.

ශ‍්‍ර‍්‍රී ලංකාව මැදි ආදායම් රටක තත්ත්වයට පත්වෙමින් සිටී. දියුණුවෙමින් පැවැති රටක ජනතාවගේ බලාපොරොත්තු වලට වඩා මැදි ආදායම් රටක ජීවත්වන ජනතාවගේ ආකල්පවල පැහැදිලි වෙනස්කමක් තිබිය යුතුය. යතාර්ථය එයයි. මහජනතාවගේ අපේක්ෂා ඉටු කළ යුතුව තිබේ. නගරයට සංක‍්‍රමණය වන සහ රට තුළ වේගයෙන් වැඩිවන ජනගහනයේ උවමනා එපාකම්  ඉටු කරන්නට නම්  ආණ්ඩුව සහ සමාජය අතර මනා අවබෝධය වැදගත්ය.

නගර සංවර්ධනය වන විට එය වටා ආර්ථිකය සහ ව්‍යවසායකත්වයට ඉඩ පාදා ගැනීම ප‍්‍රමුඛ කාරණයකි. පවතින රාමුවට වෙනස් ආකාරයට එහිලා නියැලෙන්නට අවශ්‍යය. කුඩා ඉඩ ප‍්‍රමාණයකින් පවා වැඩි නිෂ්පාදනයක් කළ හැකි ආකරය ගැන විමසිලිමත්වීම වටී. තාක්ෂණය උපයෝගී කර ගත හැකි ආකාරය ගැන අධ්‍යයනය කළ යුතුය. ප‍්‍රවාහනයේ දී ඇතිවන අධිවේගී මාර්ග වලට සමාන්තරව මුහුද සහ ගංගා ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන ද සැලසුම් සකස් කළ හැකිය.  අලූත් ව්‍යාපාර සහ සේවා අවශ්‍යතා මුහුද සහ ගංගා ආශි‍්‍රතව ඇති කරන්නට පසුබිම සැකසී තිබේ. කඩුවෙල, කඩවත සහ කොට්ටාව යන නගර වලට නව ප‍්‍රවේශයක් ඇතිවන විට එය ඔස්සේ යමක් අලූතින් හිතන්නටත්,  නව ව්‍යවසාය ගොඩනගා ගන්නටත් ඉඩකඩ තිබේ. නාගරික සංවර්ධනය ජනතාවට ප‍්‍රයෝජනවත් වන්නේ එවිටය.