භානු

Bhanu Prasanna

 

මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ
ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ
රාත්රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ
සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමය

පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට
නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද
මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට
පින් බිමක් කොහිද බං පින්වතුන් සමුඅරන් ගිය දාට

අතීතයෙ ‘මල’ රඟයි සොඳුරු අවසන් පෙත්ත ගිළිහෙන්ට
පිපාසය සනහන්න කාඩිදිය දෙන මත්ත විඳගන්ට
හිනාවක් තියේවිද තරු අතර උඹ ගත්ත තැන ගන්ට
රිදී රැය නළුවන්ට, මරණෙ විතරයි ඇත්ත මිනිසුන්ට

මේනුවෙන් බලා මේ ජීවිතය තෝර ගත්තා නොවෙයි
සානුවක හමුවෙන්න දුෂ්කර ම මඟ ගෙවූවා හැඟෙයි
සාධුජන හඞ මැකී වේදනාව ම නිනද නැඟෙයි
භානුවෙනි අවසාන කඳුළු බිඳුවට පවා රිදෙයි

2013 ජූනි 25

One thought on “භානු”

  1. .
    උණුසුමක් තිබුනාද මතක නැති ඒ දිනේ
    නිකමටද මංදා උඹ කතා කර වෙලේ
    බලානම උන්නාට උඹ නැතුව මේ පැයේ
    පණිවිඩ නම් එපා අයියේ නොයෙනා බවේ…

    ස්තුතියි මංජුල අයියේ…..

ප්‍රතිචාර වසා ඇත.