සබරගමුව සරසවියේ දූ පුත්තු ඉවර කරනවද නිලබල ඇති සත්තු


දිවයින පුවත් පතින් උපුටා ගන්නා ලද්දකි. ලිපිය ලියන ලද්දේ නිලන්ත මදුරාවල විසිනි. සබරගමු සරසවිය සහ සරසවි සිසුන් මුහුනදී ඇති ගැටළු පිලිබදව ජනමාධ්‍ය මගින් කරන්නාවු කාර්යය අගට කිරීම සදහා මෙන්ම සබරගමුවේ ඇත්ත පිළිබදව ඔබගේ අවදානය යොමුකිරීමද මෙම ලිපිය නැවත ඉදිරිපත් කිරීමට හේතුවවේ.

සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පසුගිය ජනවාරි මස තිස්‌වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යෑව්වේය. “ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුළ නිසි සැලසුමට සහ ප්‍රමිතියට ඉදිකර නොමැති ක්‍රීඩාපිටිය සහ ගොඩනැඟිලි සිසු අයිතියට පත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධවයි” යන ශීර්ෂය යටතේ යවන ලද එම ලිපියෙන් විශ්වවිද්‍යාල පරිපාලනයේ අක්‍රමිකතා රැසක්‌ අනාවරණය කර තිබිණි. මහා ශිෂ්‍ය සංගමය එම අක්‍රමිකතා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්‌ කිරීමට ද හේතුවක්‌ තිබිණි. එනම් සබරගමුව විශ්වවිද්‍යාලයේ “විශ්වවිද්‍යාල දිනය වන පෙබරවාරි මස 02 වැනිදා” සැලසුමකින් සහ ප්‍රමිතියකින් තොරව ඉදිකරමින් පවතින ක්‍රීඩාපිටිය හා ගොඩනැඟිලි මහෝත්සවාකාරයෙන් සිසු අයිතියට පත්කිරීම සඳහා සියලු විධි විධාන යොදා තිබීමය. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වීමට සූදානම් වූයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාය. ඒ වන විටත් ඉදිවෙමින් පැවැති ක්‍රීඩාපිටිය හා භූ විඥපන පීඨ සංකීර්ණය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් විවෘත කරන ලද බව සඳහන් සමරු ඵලකය අදටත් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වෙයි. බැසිල් රාජපක්‍ෂ මහතා පය නොතැබූ විශ්වවිද්‍යාල භූමියේ ඒ මහතා විවෘත කරන ලද බව සඳහන් සමරු ඵලකය සාක්‌ෂි දරන්නේ කුමක්‌ද?

“නොයෙකුත් අධ්‍යයන හා සුභසාධන දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් වන අප මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් යම් ප්‍රමාණයකට විසඳුම් ලෙස භූ විඥාපන පීSඨ සංකීර්ණය, ක්‍රීඩාපිටිය, ක්‍රීඩාගාරය සහ පිරිමි නේවාසිකාගාරය ඉදිකිරීම් කටයුතු මේ වන විටද සිදුවෙමින් පවතී. නමුත් මෙම ඉදිකිරීම් සියල්ල සම්බන්ධයෙන් මේ වනවිටත් දැඩි ගැටලුකාරී තත්ත්වයක්‌ පැන නැගී ඇත. ඒ… මෙම ඉදිකිරීම් සැලසුමට අනුකූල නොවන බවත්, ප්‍රමිතියෙන් තොර බවත් විවිධ අවස්‌ථාවන්හි ලිපි මගින් සාකච්ඡාවලදී, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැනුම් දුන්නද එය බිහිරි අලින්ට වීණා වයන්නාක්‌ පමණක්‌ වීමය.

වසර ගණනාවක සිට සිදුකෙරුණු ශිෂ්‍යයන්ගේ අඛණ්‌ඩ ඉල්ලීම්, ශිෂ්‍ය ක්‍රියාමාර්ග, ආචාර්යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල පරිපාලනයේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස භූ විඥපන පීඨ සංකීර්ණය, ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරයත්. පිරිමි නේවාසිකාගාරයත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට උරුම වූ බව අපි විශ්වාස කරන්නෙමු. මෙලෙස ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි සහ ක්‍රීඩාපිටිය නිසි සැලසුමට සහ ප්‍රමිතියකට නිම නොකර ඇති තත්ත්වයක්‌ තුළ එළඹෙන පෙබරවාරි 02 වැනිදා බලහත්කාරී විවෘතයකට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරමින් සිටියි. නමුත් මෙම ඉදිකිරීම් සියල්ල සිසු අයිතියට පත් කිරීමට නම් නොවිසඳී ඇති මෙම ගැටලුකාරි තත්ත්වයන් නිරාකරණය කර ගත යුතු අතර එම කරුණු ඔබතුමාගේ දැඩි අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු,.

ජනවාරි මස 30 දාතමින් මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියේ ඉහත කරුණු සඳහන් කරමින් අනාවරණය කළේ පරිපාලනයේ අක්‍රමවත් බව හැර වෙනත් යමක්‌ නොවේ. ගලින් නෙළන ලදුව නොසිදුවූවක්‌ සඳහන් කරමින් විශ්වවිද්‍යාල භූමියේ දැකිය හැකි සමරු ඵලකය සාක්‌ෂි දරන්නේද එයමය.

මහා ශිෂ්‍ය සංගමයේ මෙම ක්‍රියාමාර්ගය නිසා මහෝත්සවය නතර කිරීමට පාලනාධිකාරියට සිදුවිය. බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා විශ්වවිද්‍යාලයට නොපැමිණියේය. වැඩ අවසන් නොවූ ව්‍යාපෘතියක්‌ කඩිමුඩියේ විවෘත කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලන අංශ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි දෝෂදර්ශනයට ලක්‌විය. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා විශ්වවිද්‍යාලයට ගෙන්වා පසඟ පිහිටුවා වැඳීමට තිබූ අවස්‌ථා මගහැරී යාමේ වේදනාව වෛරයක්‌ බවට පෙරළී සිසුන්ට එරෙහි අවි අමෝරා යැමේ ආරම්භය සනිටුහන් වන්නේ එම අවස්‌ථාවේ සිටය. වත්මන් උපකුලපතිවරයාගෙන් පසුව එම පුටුවට පොරකන්නෝa තම තමත් ලකුණු දමා ගැනීමේ “මෙහෙයුමක්‌” ද ගොඩනැඟිලි විවෘත කිරීමේ මහෝත්සවයේ අනිවාර්ය, අන්තර්ගතයක්‌ ලෙස සැලසුම් වී තිබිණි. මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාමාර්ගය නිසා එම මෙහෙයුම ද අසාර්ථකව විනාශයට පත්විය. මෙම තත්ත්වය යටතේ වත්මන් උපකුලපති මහාචාර්ය මහින්ද එස්‌. රූපසිංහ මහතා ද ඇතුළු උපකුලපති සිහිනයේ පාවෙමින් සිටි කිහිපදෙනා ද සිසුන් දෙස බැලුවේ වෛරය මුසු හැඟීමකිනි. ඔවුන් එවැනි මානසික තත්ත්වයකින් සිසුන් දෙස බැලුවද මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාමාර්ගය නොවන්නට අදටත් සිසුන්ට පාවිච්චි කිරීමට සිදුවන්නේ නිසි සැලසුමකට හා ප්‍රමිතියකට අනුව ඉදි නොවූ ගොඩනැඟිලි ප්‍රමාණයක්‌ හා ක්‍රීඩාපිටිය බව අමතක නොකළ යුතුය.

කාලය ක්‍රමයෙන් ගත වෙද්දී නවක සිසුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවීම ආරම්භ කෙරිණි. 2011 වසරේ උසස්‌ පෙළ ප්‍රතිපල අනුව සමස්‌තයක්‌ ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව පන්දහසකට අධික ප්‍රමාණයකින් වැඩිවූ අතර එම වැඩි විම ඒ ඒ විශ්වවිද්‍යාලවලට බෙදනු ලැබිණි. ඒ අනුව සෑම විශ්වවිද්‍යාලයකටම ඇතුළත් වීමට නියමිත වූ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි විය. ඇතැම් පීඨවල ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණ විය. එහෙත් සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව පෙර වසරටත් වඩා අඩු වී තිබිණි. එලෙස අඩුවීමට ප්‍රධාන හේතුව වී තිබුණේ විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ ඒ ඒ පාඨමාලාවන්ට සුදුසුකම් ලැබීමේ පරීක්‍ෂණවලින් සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමය. විශ්වවිද්‍යාලයේ ඇතැම් පාඨමාලාවන්ට ඇතුළත් වීමට නම් සුදුසුකම් ලැබීමේ පරීක්‍ෂණය සමත්වීම අනිවාර්යය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යොමුකරන්නේ එම පරීක්‍ෂණයෙන් සමත් වූ සිසුන් පමණි. විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ නවක සිසුන් සංඛ්‍යාව අඩු වීමට හේතු වූයේ එම තත්ත්වයය. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් උද්ඝෝෂණ වැනි ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන්ට යොමුවන්නේ නවකයන් පැමිණෙන කාලවකවානුවේදී යෑයි කීම නිවැරැදිය. මන්ද විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සපුරා ගැනීම වෙනුවෙන් සටන් කරන බව හුවාදක්‌වමින් ශිෂ්‍ය සංගම්වලට නවකයන් ළං කර ගැනීමට හැකියාව ලැබෙන හෙයිනි. විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන්ගෙන් මෙතෙක්‌ අය කළ ගාස්‌තුව රුපියල් දෙදහස්‌ පන්සියය දක්‌වා වැඩි කිරීමට ද පරිපාලන අංශ පියවර ගෙන තිබූ අතර නේවාසිකාගාර ගාස්‌තුව ද වෙනම ගෙවිය යුතු විය. මෙතරම් මුදලක්‌ අය කිරීම සම්බන්ධයෙන් තමන්ගේ දූ දරුවන් සමඟ පැමිණි ඇතැම් දෙමව්පියෝ වික්‍ෂිප්ත වූහ. ප්‍රමාණවත් ලෙස සිසුන් බඳවා නොගැනීම, ලියාපදිංචි ගාස්‌තු ඉහළ දැමීම මෙන්ම විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සම්පූර්ණ නොකිරීම යන කරුණු මුල්කර ගනිමින් මහා ශිෂ්‍ය සංගමය උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශ සමඟ සාකච්ඡා ආරම්භ කළේය.

මේ අතර ශිෂ්‍ය සංගම් රැස්‌වීම් සම්බන්ධයෙන් නව නීති මාලාවක්‌ ද උපකුලපතිවරයා විසින් නිකුත් කරනු ලැබිණි. එනම් මහා ශිෂ්‍ය සංගම් රැස්‌වීම කැඳවිය හැක්‌කේ සිකුරාදාවන්හි දහවල් දොළහේ සිට රාත්‍රි හත දක්‌වා පමණක්‌ බවත් සමාජ විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය බදාදාවන්හි පමණක්‌ රැස්‌විය යුතු බවත් එහි සඳහන් විය. එමෙන්ම රාත්‍රි දහයෙන් පසු සියලුම සිසුන් නේවාසිකාගාරවලට යා යුතු බවට ද නියෝග කර තිබිණි. සිසුවියන් පෙර පරිදිම රාත්‍රි අට වන විට නේවාසිකාගාරවලට යා යුතු විය. මෙම නව නීති මාලාවට අනුව සියලු පීඨ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන් සහභාගි වන මහා ශිෂ්‍ය සංගම් කාරක සභාව කැඳවීමට සිසුන්ට නොහැකි විය. ඊට හේතු වූයේ සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය රැස්‌විය යුත්තේ බදාදා පමණක්‌ය යන නියෝගය ය. මෙම තත්ත්වය මත සිය නිදහස අසීමිත ලෙස උල්ලංඝනය වන නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය මාර්තු මස 12 වැනිදා මහා ශිෂ්‍ය සංගම් මහා සභාවක්‌ කැඳවීමට පියවර ගැනිණි. සිසුන් බහුතරයකගේ ඉල්ලීම පරිදි 1988 අංක 26 දරන විශ්වවිද්‍යාල පනතේ 112 වැනි වගන්තිය ප්‍රකාරව මහා සභාව කැඳවූ බව සිසුහු පවසති.

විශ්වවිද්‍යාලය මහා අර්බුදයකට ගමන් කරවීමට පරිපාලන අංශ හේතු කර ගන්නේ මෙම මහා සභාව කැඳවීමය. මහා සභාව කැඳවීමෙන් පසු දින දෙකකින් මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේය. ඊට දින දෙකකට පසුව මහා සභාවට සහභාගි වූ බව කියා මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම්, භාණ්‌ඩාගාරික, උප සභාපති හා සංස්‌කාරක යන සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට ද පරිපාලන අංශ කටයුතු කළේය. පදනම් විරහිත චෝදනා නගමින් මෙම සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවා ඇති බව කියමින් ඊට එරෙහිව සියලු සිසුන්ගේ අත්සනින් යුත් පෙත්සමක්‌ ද සිසුහු උපකුලපතිවරයාට භාර දුන්හ. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ දෙන්නැයි සිසුහු උපකුලපතිවරයාගෙන් කළ ඉල්ලීම්වලට ද ප්‍රතිචාරයක්‌ නොලැබිණි. එහෙයින් විශ්වවිද්‍යාලයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට තීරණය කළ සිසුහු රත්නපුර, බලංගොඩ, බදුල්ල, බණ්‌ඩාරවෙල, මහනුවර හා මාතර යන නගරවලදී අඩි සියයක බැනර් මත අත්සන් තැබීමේ විරෝධතාවක ද නියෑළුණහ. මේ අතර ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනයට එරෙහිව අනධ්‍යයන සේවක එකමුතුව ද උපකුලපතිවරයාට ලිත දැනුම්දීමක්‌ කර තිබිණි. ඒ අතර විරෝධතාවන්ට සහභාගි වූ තවත් සිසුන් පස්‌දෙනකුට උපකුලපතිවරයා අවවාදාත්මක ලිපි නිකුත් කිරීමට පියවර ගත්තේය. පරිපාලන අංශවල අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි එසවීමට සිසුන් පියවර ගත්තේ ඉන් අනතුරුවය. දිගින් දිගටම සිදුවන්නා වූ මර්දනකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අඛණ්‌ඩ උද්ඝෝෂණ මාලාවක්‌ ආරම්භ කළ සිසුහු අඛණ්‌ඩ පන්ති වර්ජනයක්‌ ද ප්‍රකාශයට පත්කළහ. මේ අතර තවත් සිසුන් දෙදෙනකුගේ පන්ති තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේය. ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව සිසුහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ද කළහ. ඒ… පසුගිය අප්‍රියෙල් මස 11 වැනිදාය. ඉන් පසුව යළි මැයි මස 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට ගිය සිසුහු පැමිණිලි කර සිටියේ පන්ති තහනමට ලක්‌කර සිටින සිසුන්ගේ විනය පරීක්‍ෂණ කඩිනම් නොකිරීම සම්බන්ධවය. ශිෂ්‍යභාවය අත්හිටුවන ලද මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පස්‌ දෙනා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු සංගමයේ සංස්‌කාරකට හැර සෙසු සිසුන් සිවු දෙනාට මාස අටකට ශිෂ්‍යභාවය තහනම් කිරීමට පියවර ගැනිණි. සංස්‌කාරක ලෙස කටයුතු කළ ශිෂ්‍යයා සිද්ධියට සම්බන්ධ නොමැති බව අනාවරණය වීම නිසා ඔහුට දඬුවම් නියම නොකළ බව එහි ආරංචි මාර්ග කීවේය. මෙලෙස මාස අටක දඬුවමකට ලක්‌වූ සිසුන් විසින් තමන්ට සමාසික අවසාන විභාග සඳහා පෙනී සිටීමට අවස්‌ථාව දෙන්නැයි මැයි මස 9 වැනිදා පරිපාලන අංශවලින් ලිතව ඉල්ලා සිටින ලදී. ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු අතර සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව සියලු සිසුන්ගේ අත්සනින් යුත් පෙත්සමක්‌ මැයි මස 16 වැනිදා උපකුලපතිවරයාට භාර දෙනු ලැබිණි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 18 වැනිදා පාලක සභාව කැඳවනු ලද නමුත් සිසුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගෙන නොතිබිණි.

එම සිසුන්ගේ විභාග අයිතිය ඉල්ලමින් සියලුම සිසුන් සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ මැයි මස 21 වැනිදාය. සිසුන් සත්‍යග්‍රහය ආරම්භ කළේ උපකුලපති කාර්යාලය ඉදිරිපිට හෙයින් පසුදිනම කාර්යාලය වසා දමා උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් විය. සිසුන් සත්‍යග්‍රහයේ යෙදී සිටියදී 24 වැනිදා අලුයම 1.20 ට පමණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්‌ටුව අසලට වාහනයකින් පැමිණි කිහිප දෙනෙක්‌ ආරක්‌ෂක අංශවලින් යමක්‌ විමසා එතැනින් ඉවත් වී ඇත්තේ අහසට වෙඩිල්ලක්‌ද තබමිනි. මෙම වෙඩි ප්‍රහාරයට හා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොකිරීමට එරෙහිව සිසුහු උද්ඝෝෂණයක්‌ ද කළහ.

පන්ති තහනමට ලක්‌ කර සිටින සිසුන් සිවු දෙනාට විභාගවලට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් සිසුන් සිවු දෙනෙක්‌ අඛණ්‌ඩ උපවාසයක්‌ ආරම්භ කළේ සත්‍යග්‍රහ කියාමාර්ගයෙන් කිසිදු විසඳුමක්‌ නොලැබුණ හෙයිනි. ඉන්පසුවත් කිසිදු ප්‍රතිචාරයක්‌ නොලද හෙයින් අඛණ්‌ඩ උපවාසය මාරාන්තික උපවාසයක්‌ දක්‌වා තීව්‍ර කිරීමට සිසුන් පියවර ගත්තේ සහෝදර සිසුන්ගේ විභාග අයිතිය වෙනුවෙනි. මාරාන්තික උපවාසයේ යෙදී සිටි සිසුන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වෙද්දී සෙසු සිසුහු කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැවැන්ත විරෝධතාවක්‌ ආරම්භ කළහ. මාර්ගයෙන් ඉවත් වන්නැයි කිහිපවරක්‌ පොලිසිය කළ දැනුම් දීමට සිසුන් අවනත නොවීම නිසා අවසානයේ සිදුවූයේ මාර්ගය යුද පිටියක්‌ බවට පත් කරවමින් කඳුළු ගෑස්‌ ගසා සිසුන් විසුරුවා හැරීමය. ඒ මේ අත සී සී කඩ විසිර යන සිසු සිසුවියෝ පොලිසියේ බැටන් ප්‍රහාරයට ද ගොදුරු වූහ. සිසුහු සැලකිය යුතු සංඛ්‍යාවක්‌ තුවාල ලදහ. තුවාල ලැබූවන් අතර පොලිස්‌ නිලධාරීහු ද වූහ.

පසුගිය කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය උපදේශකවරයාගේ නිවසට පහරදී වාහනයට ද අලාභහානි කිරීම වැනි බරපතළ සිද්ධියකදී වුවද සිසුන්ට දඬුවම් කිරීමට පියවර නොගත් පරිපාලන අංශ මහා සභාවක්‌ පැවැත්වීමේ “වරදට” සිසුන්ගේ ශිෂ්‍ය භාවය මාස අටකට අහෝසි කිරීමට තරම් දරුණු වීම උද්ගතව ඇති අර්බුදයට මූලිකම හේතු ව බව නොකිවමනාය. පෙබරවාරි මස දෙවැනිදාට නියමිතව තිබූ වන්දනාමාන කටයුත්ත අසාර්ථක වීමද පරිපාලන අංශ එතරම් දරුණුවීම කෙරෙහි බලපාන්නට ඇත.

මෙම සිද්ධිදාමයේ ලස්‌සනම සිදුවීම වන්නේ කොළඹ – බදුල්ල මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළ සිසුන්ගේ පන්ති තහනම් කිරීමේ සිද්ධිය ය. හොරාට කලින් කෙසෙල් කැන වැට පනින්නාසේ උද්ඝෝෂණයට සම්බන්ධ වීම නිසා පන්ති තහනමට ලක්‌ කෙරෙන සිසුන් සංඛ්‍යාව ගැන විශ්විද්‍යාල පරිපාලනයෙන් නිවේදනය කිරීමටත් පෙර උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලය මාධ්‍ය වෙත කරුණු දැක්‌වීමය. ඒ පිළිබඳ විශ්වවිද්‍යාලයෙන් විමසූවිට දැනගැනීමට ලැබුණේ එම සිසුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.

සබරගමු විශ්වවිද්‍යාල පරිපාලනය මෙතරම් දේශපාලනීකරණය වූ කාලවකවානුවක්‌ තවත් නොමැති තරම්ය. සරලව විස¹ගත හැකිව තිබූ ගැටලුවක්‌ සිසුන්ගේ පමණක්‌ නොව පොලිසියේද හිස්‌ පැළී රුධිරය ගලන තැනට රැගෙන ආවේ ඉහළින් ලද උපදෙස්‌ පරිපාලන අංශ දෝතින්ම වැළඳගෙන පිළිපැදීමේ ලැඡ්ජා සහගත ක්‍රියාමාර්ගය නිසාය. ස්‌වේච්ඡාවෙන්ම කොන්ද සිඳගෙන සිටින පරිපාලන අංශවල මේ ක්‍රියාකාරිත්වයන්හි ප්‍රතිඵල තවතවත් භයානක විය හැකිය. සියල්ලන්ම උත්සාහ කරමින් සිටින්නේ තම තමන්ගේ පුටු රැකගැනීමටය. ඉහළින් ලැබෙන උපදෙස්‌ එලෙසින්ම ක්‍රියාවේ යොදවන්නේද විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීම් ඉටුකිරීමට අමාත්‍යාංශ නිලධාරීන් පොර බදන්නේද ඒ නිසාය. ඒ හැර අන් කිසිදු අවශ්‍යතාවක්‌ ඔවුන්ට නැත.

මෙම සිද්ධිදාමයේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ටද යම් වගකීමක්‌ තිබිණි. එනම් එක්‌ අවස්‌ථාවක දී පරිපාලන අංශ සිසුන්ට දැනුම් දී තිබුණේ පන්ති තහනමට ලක්‌වූ සිසුන් සමාව ගන්නේ නම් විභාග සඳහා පෙනී සිටීමට අවස්‌ථාව දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවය. එම පණිවුඩය ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ලැබී තිබුණේ ආචාර්ය සංගමය හරහාය. එහෙත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනා ඒ බව සිය සහෝදර සිසුන්ගෙන් විමසා පොදු තීරණයක්‌ ගනු වෙනුවට එකඑල්ලේම එය ප්‍රිතික්‌ෂේප කර තිබිණි. බොහෝ සිසුහු ඒ පිළිබඳ නොදැන සිටියහ. සමාව ගැනීමේ ක්‍රියාමාර්ගයට යොමු වූයේ නම් ගැටලුව තරමකින් හෝ නිරාකරණය වීමට ඉඩ තිබිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සේම සාමාන්‍ය ශිෂ්‍යයන්ද අවබෝධයෙන් සිටිය යුත්තේ පැහැදිලි දිය කළඹා හෝ සිය අරමුණු ඉටුකර ගන්නා දේශපාලනය සම්බන්ධයෙනි.

කෙසේ වුවද අශ්ලීල බව විසින් ඔද්දල් කරනු ලැබ සිටින මුග්ධ රැලකගේ අධම ක්‍රියාදාමයන් උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ක්‍රියාවට නැගෙමින් තිබේ. ඒ මුග්ධ රැල හමුවේ සටන් කිරීම අනුවණ කමක්‌ ලෙස දකිමි. මන්ද උන්ට ජීවිතයක වුව වටිනාකම පිළිබඳ අංශු මාත්‍රයක හැඟීමක්‌ නොදැනෙන බැවිනි.

නිලන්ත මදුරාවල

දිවයින

2 thoughts on “සබරගමුව සරසවියේ දූ පුත්තු ඉවර කරනවද නිලබල ඇති සත්තු

  1. අවසරයකින් තොරව සබරගමුව විශ්වවිද්‍යාලය තුළ පෙරේදා මධ්‍යම රාත්‍රිය තෙක් රැස්වීමක් පැවැත්වීම සහ බලහත්කාරයෙන් සිසුන් සහභාගී කරවා ගැනීම ඊට ආසන්නතම හේතුව බව ද ඔහු සඳහන් කළේ ය.‍ ‍‍ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යාවන් මධ්‍යම රාත්‍රිය වනතෙක් අදාළ රැස්වීමට සහභාගී කරවා ගැනීමට මහා ශිෂ්‍ය සංගමය ක්‍රියා කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න